බඩඉරිඟු වගාව හා සමානම වගාවක්
ෆොටෝ ෂූට් සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා
ඉර හැරෙන පැත්තට හැරෙමින් ඉරට සිනාසෙන සොඳුරු කුසුම් කුමාරියක් තමයි සූරියකාන්ත. එක යායට කහ පැහැයෙන් බබළන මේ සුන්දර මල් කුමාරියන් වැඩි වශයෙන් මෙරට දක්නට නොලැබුණත් සූරියකාන්ත කියන්නෙ ඉහළ ආදායමක් ලැබිය හැකි වගාවකි. ඉතින් මේ සූරියකාන්ත වගාව ගැන අපි අමරජීව ගොවි මහතාගෙන්ම අසා දැන ගනිමු.
සූරියකාන්ත අපේ රටේ වගා කරන්න පුළුවන්ද?
ඔව්. විදේශ රටවල වගේම ශ්‍රී ලංකාවෙත් ඉතාමත් හොඳින් වවන්න පුළුවන් මල් වගාවක් තමයි සූරියකාන්ත කියන්නේ. වියළි කලාපීය ප්‍රදේශවල ඉතාමත් හොඳින් වැවෙනවා. ලංකාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නේ භෝග වගා කරන්න පුළුවන් කලාපීය වශයෙන් කියලා. ඒක ඉතාමත් වැරදි වැටහීමක්.
මේ වගාව සිදු කරන්නේ කොහොමද?
බඩ ඉරිඟු වගාව සිදු කරන අයකුට මේ වගාව ඉතාමත් පහසුවෙන් සිදු කරන්න පුළුවන්. සූරියකාන්ත මල් වගාව කියන්නේ බඩඉරිඟු වගාව හා සමානම වගාවක්. සාමාන්‍යයෙන් අඟල් තුනක වගේ වළක් තමයි මේ සඳහා සකසා ගන්නේ. එක් වළකට තනි බීජයක් දානවා නම් ඉතාමත් හොඳයි. හේතුව තමයි එමඟින් ශක්තිමත් ගසක් වවාගන්න පුළුවන්.
කොපමණ කාලයකින් පමණ අස්වැන්න ලබාගන්න පුළුවන්ද?
අප්‍රේල් මාසයේ අවසානයට වගේ සූරියකාන්ත මල් වගාව ආරම්භ කරනවා නම් මාස තුනහමාරෙන් වගේ ඉතාමත් හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන්. සූරියකාන්ත ගසක් උස යන්නේ අඩි දෙකහමාරක් තුනක් අතර ප්‍රමාණයක්. හොඳ ශක්තිමත් මලකින් බීජ ග්‍රෑම් 250ක් වගේ ගන්න පුළුවන්. සූරියකාන්ත මල කියන්නේ ඉතා විශාල මලක්. ඒ වගේම තමයි බඩඉරිඟු හෙක්ටයාර් එකකට වැඩිය අස්වනු ප්‍රමාණයක් සූරියකාන්ත වගාවෙන් ලබාගන්න පුළුවන්.
මේ වගාවට යොදන විශේෂිත පොහොර වර්ග තිබෙනවාද?
අපේ රටේ විශේෂිත පොහොර වර්ග කියන්නේ අධික මිලක් ඇති පොහොර වර්ගවලට. නමුත් මේ වගාව සඳහා බඩඉරිඟු වගාවට යොදන පොහොර යොදන්න පුළුවන්. හැකියාවක් තිබෙනවා නම් අධික මිලක් සහිත පොහොර වර්ග යෙදුවද ප්‍රශ්නයක් නැහැ. බඩඉරිඟුවලට වගේ පළිබෝධ හානි වැඩි වශයෙන් මේ භෝගය සඳහා එල්ල වෙන්නේ නැහැ.
ශ්‍රී ලංකාව තුළ සූරියකාන්ත මල් වගාවට තිබෙන වටපිටාව කෙසේද?
ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම සූරියකාන්ත ගෙන්වන්නේ හෝටල් කර්මාන්තය සඳහා. ලංකාව තුළ ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනයක් නොවන නිසා ආනයනික සූරියකාන්ත තෙල් තමයි මේ සඳහා භාවිත කරන්නේ. යන්ත්‍ර සූත්‍රවල ලිහිසි ද්‍රව්‍යයක් ලෙසද, සූරියකාන්ත බීජ ආහාර සඳහා ද භාවිත කරනවා.
යම්කිසි කෙනෙක් සූරියකාන්ත මල් වගා කරනවා නම් බාහිරට පෙනෙනවාට වඩා වෙෙළඳපොළ තත්ත්වය ළඟා කරගන්න පුළුවන්. දවස් පහළොවක වගේ කාලයක් තමයි මේ මල් ඉතා හොඳින් පිපිලා තියෙන්නෙ. ඒ කාලයට ඉතාමත් අලංකාරයි. ඒ අවස්ථාවලදී ෆොටෝ ෂූට් සඳහා ද හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසා බඩඉරිඟුවලට නැති වාසි සහගත තත්ත්වයක් සූරියකාන්ත මල්වලට තිබෙනවා.
ඔබ සූරියකාන්ත මල් වගාවට යොමුවීමට විශේෂ හේතුවක් තිබෙනවාද?
පහුගිය කාලෙ ලංකාවේ පොල්වල ලොකු ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා. තෙල්වලට ගන්න පුළුවන් හොඳම ආදේශකයක් විදිහට මම සූරියකාන්ත මල් වගාව පිළිබඳ තොරතුරු හොයන්න ගත්තා. විදේශ රටවල බහුලව සූරියකාන්ත තෙල් භාවිතයට ගන්නවා. ඒ වගේම තමයි මාස තුනහමාරක වගේ කෙටි කාලයකින් අස්වැන්න ලබාගන්න පුළුවන් හින්දා මම මේ වගාවට යොමු වෙන්න හිතුවා.
ලංකාවේ සූරියකාන්ත තෙල් සඳහා තිබෙන අවශ්‍යතාව මෙරට තුළම සපුරා ගන්න අපට පුළුවන්ද?
ඔව්. අනිවාර්යයෙන්ම. මේ සඳහා තිබෙන එකම ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවට මේ සූරියකාන්ත බීජ ගෙන්නන්න හරිහැටි ක්‍රමයක් නැහැ. මේ ගැන ජනතාවට නිසි දැනුමක් නැහැ. ලංකාවේ මිනිස්සු වැඩිපුර සත්ත්ව තෙල්, ෆාම් ඔයිල් තමයි පාවිච්චි කරන්නේ. ඒ සඳහා කෙටිකාලීන විසඳුමක් විදිහට සූරියකාන්ත තෙල් භාවිත කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවට මෙම බීජ ගේන්න නිසි ක්‍රමවේදයක් අත්‍යවශ්‍යයි. සූරියකාන්ත බීජ කිලෝ එකක් වෙන්නේ රුපියල් හත්දාහක් වගේ මිලක්. මේක මට පෞද්ගලිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිසි පරිදි බීජ ලංකාවට ගෙනාවොත් මිනිස්සු අනිවාර්යයෙන්ම මේ සඳහා යොමු වෙයි.
උපදෙස්:
ටී.පී.අමරජීව ගොවි මහතා
බුද්ධිකා සංජීවනි