Friday, October 3, 2025
Epaper
Home ස්වයං රැකියාබුලත්විට වෙනස් කර ධනවතෙක් වූ හැටි

බුලත්විට වෙනස් කර ධනවතෙක් වූ හැටි

by Thanushika

ඔහු හැමදාම බසයට නඟින්නේ කොස්ගම හන්දියෙන්. වයස අවුරුදු තිහ තිස්පහ තරම් වයස මේ තරුණයා බසයට නැග්ග ගමන්ම රියැදුරු මහතාගේ සුක්කානම ඉදිරියේ පොඩි පාර්සලයක් තියනවා. ඊට පස්සේ ඔහු රැගෙන ආ එයාගේ බෑග් එක බොනට් එක උඩ තියලා තමයි බසයේ පිටිපස්සට යන්නේ.

ඔහු රියැදුරු මහත්තයාගේ අතේ තියන්නේ බුලත් විටක් වැනි පාර්සලයක්. මේ සිදුවීම මා දින ගණනාවක් දැක්කා. හැබැයි මේ ඒ තරම් ලොකු සිදුවීමක් නොවන නිසා ඒ තරම් තැකීමක් කළේ නැහැ.

දවසක් මේ තරුණයා බෑග් එක තියලා පස්සට ඇවිත් හිඳගත්තේ තවත් ඔහුගේ මිතුරෙකු අසලින්. දෙන්නාගේ සංවාදය යාන්තමට මට ඇහෙනවා.

“ඔව් මචං… මගේ පඩිය බස් එකටම ඉවරයි. මේ බිස්නස් එක නිසා තමයි අපි පොඩියට හරි ගෙදර ගේමක් ගහ ගන්නේ.” ඔහු මිත්‍රයාට කියනවා.

එවිට ඔහුගේ මිත්‍රයා අහනවා “මචං දැන් ඔය වැඩේ හැමදාම කරන්න බැහැනේ. office එකට මාට්ටු වුණොත් ලෙඩෙක්නේ.” “නෑ මචං මම මේවා ඔෆිස් එකට ගෙනියන්නේ නැහැ. අපේ ඔෆිස් එකේ කොහෙද අපට උදවු කරන උන් ඉන්නේ. අපිට හිනා වෙන්න තමයි හැම එකාම බලාගෙන ඉන්නේ.”

මෙහෙම කියපු ඒ තරුණයා ඔරුගොඩවත්තෙන් බැහැලා යනවා මම බලාගෙන හිටියා. ඇත්තටම මොකක්ද මේ බිස්නස් එක කියලා මටත් පොඩි සැකයක් ආවා. තව දින දෙක තුනක් ගත වුණා.

දවසක් ඔහු හරියට මගේ අසුනේ අනෙක් පැත්තේ වාඩි වුණා. මම හැමදාම දකින මුහුණක් නිසා ඔහුට හිනාවෙලා “මල්ලි මොනවද ඔයා විකුණන්නේ” කියලා ඇහුවා.

ඔහු ගත් කටටම කිව්වා “ආ… මම පාට් ටයිම් බුලත්විට බිස්නස් එකක් කරනවානේ කියලා.” ටිකක් දුර යද්දි මේ තරුණයා මට හිතවත් වුණා.

ඔහුගේ බිරිය රැකියාවක් කරන්නේ නැති නිසා අමතර මුදලක් හොයන ක්‍රමයක් ගැන හිතලා තමයි මේ බුලත් විට බිස්නස් එක පටන් අරගෙන තියෙන්නේ.

මාස කිහිපයක් ගත වුණා. දැන් අර තරුණයා බසයට නඟින්නේ තරමක ලොකු පෙට්ටියක් අරගෙන මේ පෙට්ටියේ ඔහු පුරවලා බුලත් විට ගේනවා. මේ බුලත් විට ඔහු රැකියාව කරන ස්ථානයට යන්න කලින් කඩ කිහිපයකට බෙදලා තමයි යන්නේ. ඒ නිසා ඔහුගේ මේ රැකියාව ඔහුගේ කාර්යාලයේ හුඟක් දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා කිසිම කරදරයක් නැතිව ඔහුට මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් වෙලා තිබුණා.

මේ මාස කිහිපයට ගතවන විට ඔහු මා සමඟ හිතවත් වුණා. ඔහුගේම බිස්නස් එක ගැන ඔහු තව තොරතුරු මට කිව්වා. මේ තරුණයා බුලත්විට විකිණීමේදී කුඩා පාර්සලයක් ඒ විට එකට එකතු කරනවා. ඒ කුඩා පැකට්ටුවේ එනසාල්, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, ඉඟුරුපියලි යොදා තමයි මේ ඖෂධීය බුලත්විට සකස් කරන්නේ.

ටික කාලයක් ගත වුණා. මේ තරුණයා සුපුරුදු පරිදි මේ බස් රථයේ දකින්න නැති වුණා. මම ඒ ගැන කොන්දොස්තර මහත්තයාගෙන් විමසුවා. “දැන් එයා ලොකු මුදලාලි කෙනෙක්නේ. එයා දැන් යන්නේ ත්‍රීවිල් එකක හැමදාම උදේට බස් එකේ ගෙනියන්න බැරි තරම් බිස්නස් එකක් එයාට තියෙනවා.” ඔහු කිව්වේ හරිම සතුටින්.

මේ තරුණයා සෑහෙන කාලයකට පසුව ආයේමත් මට හමුවුණේ ටවුන් එකේදී. මම ඔහුගේ ව්‍යාපාරය ගැන විමසුවා. “ඇත්තටම දැන් මගේ මේ බිස්නස් එක නැගලා යනවා. ඒනිසා ත්‍රිවිල් එකක පෙට්ටි දෙක තුනක් දාගෙන තමයි යන්නේ. අපට මේ වැඩේ තනියම කරන්න බැරි නිසා තවත් කිහිපදෙනෙක් සම්බන්ධ කරගත්තා. ඒ අය අපට බුලත්විට හදලා දෙනවා. අපි ඒ විට එකතු කරලා හදන අයට මුදල් දීලා ගේනවා. බුලත් විට හදන්න බුලත්, පුවක්,‍ හුණු, දුම්කොළ, පහේ පැකට් ඔක්කොම දෙනවා. අපිත් එක්ක වැඩ කරන අයට තියෙන්නේ පුවක් කපලා හදලා දෙන එක විතරයි.”

මේ තරුණයාගේ මේ කුඩා ව්‍යාපාරය සැබෑම ස්වයං රැකියාවක්. ඔහු කාටවත් කරදරයක් නොවී අමතර ආදායමක් සොයාගත්තා. එය ටික කලකින් හොඳ දියුණු මට්ටමට පත්වුණා.

තවත් කිහිප දෙනකුටත් රැකියා අවස්ථා ලබා දුන්නා. මේ තමයි සාර්ථක ස්වයං රැකියාවක ස්වභාවය. තවත් කෙනෙක් කරන රැකියාවක් බලාගෙන ඒ රැකියාවම පටන් ගැනීම නෙවෙයි පුද්ගලයකුගේ සාර්ථකත්වය. ඕනෑම ව්‍යාපාරයක් හෝ රැකියාවක් සාර්ථක වෙන්නේ ඒ වෙනුවෙන් කරන කැපවීමයි.

ඒ වගේම සාම්ප්‍රදායික රටාවටම ව්‍යාපාරයක් නොකර තමුන්ගේ නිර්මාණත්මක හැකියාවත් ඒ කටයුත්තට යොදා ගැනීම තමයි සාර්ථකත්වයට හේතුව. මේ තරුණයා බුලත්විට විකිණීමට අගය එකතු කරමින් එයට ඖෂධීය ගුණයක් එකතු කළා. ඒ ගුණාත්මක වටිනාකමක් ඇති ඕනෑම ව්‍යාපාරයක් සාර්ථකවීම හොඳම උදාහරණයක්.

අපට මේ බුලත් විට ව්‍යාපාරය ආරම්භ කළ තරුණ යුවළගේ සිදුවීම එයට කදිම සාක්ෂියක්. තමුන්ට තිබෙන ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා වැරදි ව්‍යාපාරයකට යොමු නොවී තමුන්ගේ උත්සාහයෙන් නැඟී සිටින්න පුළුවන් නම් ඒ තමයි සැබෑම හැකියාව. ඒ හැකියාව සෑම කාන්තාවකටම තිබෙනවා. ඔබ ජීවත්වන පරිසරය අනුව වෙනස් ආකාරයෙන් සිතන්න. ඔබේ නැවුම් සිතිවිලි නිරායාසයෙන්ම සාර්ථකත්වය කරා රැගෙන යනු ඇත.

දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?