Friday, October 3, 2025
Epaper
Home Recipeතැඹිලි මදයෙන් ආහාර පාන

තැඹිලි මදයෙන් ආහාර පාන

විස්මිත ගුණ ඇති තැඹිලි

by Thanushika

‘පුංචි ළිඳේ වතුර රසයි’ අතීතයේ සිට ලාංකීය සමාජය තුළ පැවත එන ප්‍රසිද්ධ තේරවිල්ලකි. මෙම තේරවිල්ල විසඳු විට පිළිතුර වන්නේ තැඹිලි ය. එනම් මෙය ගැමියන්ට වඩාත් සමීප පලතුරකි. පලතුරක් පමණක් නොව ආගමික, ඖෂධීය මෙන්ම සංස්කෘතික වශයෙන් ද විවිධාකාරයෙන් භාවිත වේ. තැඹිලි ශාකය 19 වැනි සියවසෙන් පසු බ්‍රිතාන්‍ය පාලනයත් සමඟ ම තවත් වර්ධනය තව විය. පසුව වෙළල නැව්, වෙළඳුන් හරහා ලොව පුරා ව්‍යාප්ත විය. වර්තමානය වන විට ලොව පුරා බොහෝ රටවල තැඹිලි, විවිධ ඇසුරුම්වල දමා අලෙවි කරමින් පලදායී ආර්ථිකයක් ළඟා කර ගනියි.

තැඹිලි ‘විටමින් සී’ ගුණයෙන් අනූන පලතුරක් නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. එමෙන් ම එහි අඩංගු ‘පොටෑසියම්’ මඟින් ශරීරයේ තරල මට්ටම් සමතුලිත කරයි. තව ද එහි ඇති ‘ඉලෙක්ට්‍රොයිට්’ ජලය සිසිලන ගුණ ඇති නිසා ආයුර්වේදය තුළ දැවිල්ල සමනය සඳහා ඖෂධයක් ලෙස ලබා දෙයි. එමෙන් ම තැඹිලි ආහාර දිරවීම පහසු කරවන ඖෂධයකි. එසේ ම දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග සඳහා ද කදිම ඔසුවකි. තව ද තැඹිලි කහකඩ විදුරුමස් රෝග,ආමාශ රෝග,අම්ල පිත්ත රෝග ඇත්තන්ට බෙහෙවින් ම ගුණදායී වේ. කෙසේ නමුත් සෙම් රෝග නිතර වැලඳෙන රෝගීන් හට තැඹිලි ලබා දීම නුසුදුසු වේ.

තැඹිලි ගෙඩියෙහි විවිධ අංගවලින් රසවත් ආහාර පාන රැසක් නිපදවා ගත හැකි ය. එනම් තැඹිලි ලොකු කස්ටඩ්, තැඹිලි කහකඩ ව්‍යංජනය, තැඹිලි ස්මූති, තැඹිලි කේක්, තැඹිලි ෂේක්, තැඹිලි පානය ආදිය මෙන් ම තැඹිලි, කුරුම්බා වුණු පසු එහි මද මිරිසට පිස ගත් විට එය ද රසවත් අාහාරයකි.

තැඹිලි ස්මූති


තැඹිලි ලොඳ වංගෙඩියකට දමා තැඹිලි වතුර අවශ්‍ය පමණට එයට එක් කර හොඳින් අඹරා ගන්න. දැන් එයට තැඹිලි වතුර, ලුණු, සීනි අවශ්‍ය පමණට එක් කර රස බලන්න. මෙයට ගනකම රැඳෙන සේ මඳක් අඹරා ගත් අඹ යුෂ එක් කිරීමෙන් රසවත් බව තවත් වැඩි කර ගත හැකි ය.

එමෙන් ම තැඹිලි හා බැඳුණු විවිධ විශ්වාස ද ගැමි සංස්කෘතිය තුළ පුරාණ කාලයේ පැවත එයි. එනම්, මෙය සෙත් ශාන්ති සඳහා පූජා භාණ්ඩයක් ලෙස භාවිතා කරයි. එසේ ම තැඹිලි ගෙඩියට ඇදුරෙකු විසින් මතුරා එහි වතුර පානය කිරීම මඟින් ද විවිධ ලෙඩ රෝගවලින් මිදීමට හැකි බව ගැමි විශ්වාසය යි. එම පානයෙන් අනතුරුව දින හෝ හෝරා කිහිපයක් ගත වන තුරු පිළී වර්ග ආහාරයට ගැනීමෙන් ද වැළකී සිටීම සිරිත යි.

කෙසේ නමුත් ආසියාතික කලාපයේ වැඩි වශයෙන් දැක ගත හැකි තැඹිලි ශාකයෙහි සෑම අංගයකින් ම පාහේ ප්‍රයෝජන ඇත. ආසියාවේ නිවර්තන කලාපයේ මැණික යනුවෙන් එය හඳුන්වන්නේ ද එබැවින් ම ය.

තැඹිලි ලොඳ කස්ටඩ්


මුලින් ම තැඹිලි ලොඳ (මද) හොඳින් ගලවා ගන්න. දැන් මුට්ටියක් ගෙන නැවුම් කිරි රත් කර ගන්න. එයට සීනි දමා කළවම් කර ගන්න. මඳ වේලාවකින් දිය කර ගත් තැඹිලි ලොඳ (මද) එයට එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් කෝන් පිටි සහ නැවුම් කිරි අවශ්‍ය පමණට භාජනයකට දමා හොඳින් මිශ්‍ර කර ගන්න. හොඳින් කිරි රත් වූ පසු එම කෝන් පිටි හා කිරි මිශ්‍රණය එයට දමා හොඳින් කළවම් කර ගන්න. කුඩු කර ගත් කරදමුංගු දැමීමෙන් එහි රස, ගුණ තවත් වැඩි කර ගත හැකි ය. එය හොඳින් රත් වූ පසු ලිපෙන් ඉවත් කර වැනිලා ස්වල්පයක් එක් කර මිශ්‍ර කර ගන්න. දැන් අවශ්‍ය පරිදි බඳුනකට දමා සකසා ගෙන රස බලන්න.

 

තැඹිලි කහකඩ ව්‍යංජනය

තැඹිලි කහකඩ යනු මදය ඉවත් කර ගත් විට ලෙල්ලට සවි වී ඇති කහට පැහැයක් ගන්නා කොටස යි. පළමු ව එම කොටස ගලවා කුඩා කැබලිවලට කඩා ගන්න. දැන් හොඳින් සෝදා ගොරකා, ලුණු, කහකුඩු, ජලය දමා තම්බා ගන්න.

දැන් ලූනු, සුදු ලූනු අමු මිරිස්, සේර, කුරුඳු, කපා සකස් කර ගන්න. ව්‍යංජනය පිසින බඳුනට පොල් තෙල් දමා රත්කර කපා ගත් සියල්ල තෙලෙන් බැද ගන්න. මීළගට තම්බා ගත් කහකඩවල ජලය ඉවත් කර එයට එක් කරන්න. දැන් බැදපු තුනපහ, මිරිස් කුඩු ද එයට එක් කොට හොඳින් කළවම් කර ජලය ස්වල්පයක් දමා වසා තබන්න.

කබලකට හාල්, සුදු ලූනු බීක් කිහිපයක්, සුදුරු, අබ දමා බැද ගන්න. එයට ගා ගත් පොල් ස්වල්පයක් එක් කරන්න. පසුව එම මිශ්‍රණය හොඳින් අඹරා පේස්ට් එකක් සේ සාදාගෙන පොල් කිරි සමඟ මිශ්‍ර කර කහකඩ ව්‍යංජනයට එක් කර හැඳි ගා ගන්න. අවසානයේ රම්පේ, අවශ්‍ය පමණට ලුණු එක් කර රස බලන්න.

පියුනි හිමායා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?