Friday, October 3, 2025
Epaper
Home Recipeතේ මොහොතට රස සාගරයක්

තේ මොහොතට රස සාගරයක්

by Thanushika

තේ වෙලාව කියන්නේ හරි සුන්දර මොහොතක්. ඉතින් මේ වෙලාවට හැමෝම එකට එකතු වෙලා, ස්නැක් එකක් රස බලන්නත් අපේ අය අමතක කරන්නේ නැහැ. මේ මොහොත රසවත් කරන්න වැඩි වැඩ දාන්නේ නැතුව සරලව හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කට්ලට් වර්ග කිහිපයක් මෙවර තරුණී වෙතින් ඔබට තිළිණ කරන්න හිතුවා. මේ මාළු මිරිස් පිරවුම ස්නැක් එකක් විදිහට වගේම බත් වේලටත් කදිමයි. මේ ආහාර වට්ටෝරු සාමාන්‍ය ආහාර වට්ටෝරු වගේ පෙනුණට සූපවේදී පබිලිස් සිල්වාගේ ක්‍රමයට සැකසුණු විශේෂිත ආහාර වට්ටෝරු නිසා රසයෙන් වගේම ගුණයෙනුත් වෙනස්. ඉතින් තේ වෙලාව සතුටින් පුරවන්න ඔබත් මේ ආහාර වට්ටෝරු සකසා වෙනසක් එක් කරන්න.

මස් කට්ලට්

අඹරන ලද මස් ග්‍රෑම් 500ක්

තම්බා පොඩිකරගත් අල ග්‍රෑම් 200ක්

ලූනු ග්‍රෑම් 50ක්

පාන් කුඩු ග්‍රෑම් 200ක්

තෙල් තේ හැඳි 2ක්

සිහින්ව කපාගත් සුදුලූනූ තේ හැඳි 1/2ක්

කපාගත් අමුමිරිස් කරල් 3ක්

මිරිස් කුඩු තේ හැඳි 2ක්

කරි කුඩු තේ හැඳි1ක්

ගම්මිරිස් කැබලි තේ හැන්දක්

කහකුඩු තේ හැඳි 1/4ක්

ලියාගත් කරපිංචා තේ හෑඳි 1ක්

කුරුඳුපොතු අඟල් 1/2ක කෑල්ලක්

කරදමුංගු 2ක්

කරාබුනැටි 2ක්

තළාගත් ඉඟුරු ස්වල්පයක්

සියඹලා යුෂ තේ හැන්දක්

බැටර් මිශ්‍රණය ලීටර් 1/2ක්

ලුණු රස අනුව

භාජනයක් ළිප තබා තෙල් මේස හැඳි 2ක් එක්කර රත්වුණු පසු ලූනු, කරපිංචා, කරාබුනැටි, කරදමුංගු, අමුමිරිස්, කුරුඳුපොතු දමා රන්වන් පැහැයට බැදෙන්න හරින්න. ඉන්පසු කරි කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, සුදුලූනූ, ඉඟුරු දමා තරමක් බැදෙන්නට හරින්න. අඹරාගත් මස් හා සියඹලා දමා කැටි ලිහෙනතුරු හැඳිගා ඉස්ම සිඳෙනතුරු තම්බා ගන්න. ඉස්ම හොඳින් වියළුණු පසු අල දමා කලවම් කරන්න. මෙම මිශ්‍රණය බෝල සාදා බැටර් මිශ්‍රණයේ දවටා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

—————

මාළු පුරවන ලද මාළු මිරිස්

පොඩි මාළු මිරිස් කරල් 25ක්

බැටර් මිශ්‍රණය ග්‍රෑම් 500ක්

පාන් කුඩු ග්‍රෑම් 400ක්

විනාකිරි තේ හැඳි 3ක්

තම්බා පොඩිකරගත් මාළු මිශ්‍රණය ග්‍රෑම් 500ක්

ලුණු රස අනූව

බැටර් මිශ්‍රණය සඳහා

පාන් පිටි ග්‍රෑම් 200ක්

කෝන්ෆ්ලා ග්‍රෑම් 50ක්

බිත්තර 2ක්

කිරි තේ හැඳි 1 1/4ක්

බේකිං පවුඩර් තේ හැන්දක්

ලුණු රස අනූව

මාළු මිරිස් නැට්ට සමඟ යන්තමින් පළා ඇට ඉවත් කරගන්න. වතුර ටිකක් ළිප තබා ලුණු, විනාකිරි දමා උතුරන විට මාළු මිරිස් ඇති භාජනයට ඒ උණු වතුර වත්කර විනාඩියක් පමණ තබා වතුර පෙරාගන්න. හොඳින් වතුර පෙරා මාළු මිශ්‍රණය පුරවාගන්න. ඉන්පසු බැටර් මිශ්‍රණයට අවශ්‍ය සියලු දේ එකතු කර බැටර් එක සකසා ගන්න. දැන් පුරවා ගත් මාළු මිරිස් බැටර් මිශ්‍රණයේ තවරාගන්න. ඉන්පසු පාන් කුඩු තවරා නැවතත් පිටි මිශ්‍රණයේ බහා දෙවැනි වරටත් පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

——————–

එළවළු කට්ලට්

කැරට් ග්‍රෑම් 100ක්

ගෝවා ග්‍රෑම් 100ක්

අල ග්‍රෑම් 200ක්

ලීක්ස් ග්‍රෑම් 100ක්

බෝංචි ග්‍රෑම් 100ක්

කපාගත් ලූනු ග්‍රෑම් 50ක්

කපාගත් සැල්දිරි දඬු ග්‍රෑම් 25ක්

කපාගත් අමුමිරිස් කරල් 2ක්

මිරිස් කුඩු තේ හැන්දක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

තෙල් මේස හැඳි 2ක්

ලියාගත් කරපිංචා තේ හැන්දක්

කුරුඳුපොතු අඟල් 1/2ක කෑල්ලක්

දෙහි යුෂ තේ හැඳි 1/2ක්

ගම්මිරිස් කුඩු තේ හැන්දක්

පිටි මිශ්‍රණය (බැටර් මිශ්‍රණය)

ලීටර් 1/2ක්

පාන් කුඩු ග්‍රෑම් 200ක්

ලුණු රස අනුව

අල ග්‍රෑම් 100ක් පොතු හැර තම්බා පොඩිකර ගන්න. ඉතිරි අල තීරුවලට කපා ගැඹුරු තෙලේ බැදගන්න. කැරට්, ලීක්ස්, බෝංචි, සැල්දිරි, ගෝවා සිහින්ව කපාගන්න. භාජනයක් ළිප තබා තෙල් හැඳි දෙකක් දමා රත්කර ලූනු, කරපිංචා, අමුමිරිස් දමා රන්වන් පැහැයට බැදෙන්න හරින්න. මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු එක් කොට තරමක් බදින්න. එයට එළවළු සහ තම්බා පොඩිකරගත් අල දමා දෙහි ද මිශ්‍රකර බැඳගත් අල ද එක්කර තරමක් දිගට සාදාගන්න. ඉන්පසු බැටර් මිශ්‍රණයේ තවරා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

——————-

මාළු කට්ලට්

තම්බා පොඩිකරගත් මාළු ග්‍රෑම් 500ක්

තම්බා පොඩිකරගත් අල ග්‍රෑම් 250ක්

කපාගත් ලූනූ ග්‍රෑම් 50ක්

පොඩියට කපාගත් අමුමිරිස් කරල් 3ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/2ක්

පොඩියට කපාගත් කරපිංචා මේස හැන්දක්

දෙහියුෂ තේ හැන්දක්

පොල්තෙල් ලීටර් 1ක්

පාන් කුඩු ග්‍රෑම් 200ක්

බැටර් එක සඳහා පිටි මිශ්‍රණය ලීටර් 1ක්

දෙහි යුෂ තේ හැඳි 2ක්

ලුණු රස අනුව

භාජනයක් ළිප තබා තෙල් මේස හැඳි 2ක් එක්කර, ලූනු, කරපිංචා දමා හොඳින් බැදෙන්නට හරින්න. එයටම අමුමිරිස්, ගම්මිරිස්, මිරිස් කුඩු, ලුණු දමා මඳ ගින්නේ බැදෙන්නට හරින්න. තම්බා පොඩිකරගත් මාළු සහ අල ද දෙහි ස්වල්පයක් ද එක් කොට මිශ්‍රණය සාදාගන්න. බෝල කර තරමක් තළා කට්ලට්ස් සාදාගන්න. සාදාගත් කට්ලට් බැටර් මිශ්‍රණයේ දවටා පාන් කුඩුවල තවරා ගැඹුරු තෙලේ බැදගන්න. කට්ලට් මිශ්‍රණය සෑදීමේදී අතට බුරුලක් දැනේ නම් දෙවරක් පාන් කුඩු දවටා ගන්න.

 

උපදෙස්

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය දේශබන්දු

පබ්ලිස් සිල්වා

විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?