ජාත්‍යන්තර නිරූපණ ශිල්පී තරග සඳහා අපේ රට නියෝජනය කරන තරගකරුවන් තෝරාගැනීමේදී තරග නිර්නායක වන්නේ මොනවාද යන්න අද සමාජය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. රූපයට පමණක් නොව, දැනුම, බුද්ධිය, ආකල්ප සහ රටේ අභිමානය රැකගත හැකි ගුණාංගවලින් ද පරිපූර්ණ තරගකරුවන් තෝරාගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.
අතීතයේදී මෙම ක්ෂේත්‍රයේ සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් විශාල ගැටලු හා කැලැල් නිර්මාණය විය. ඇතැම් අවස්ථාවලදී ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වූ අපේ රටේ තරගකාරියන් ඔවුන්ට හිමිවූ පදවි පිළිබඳව පවා පසුව සමාජය තුළ දැඩි කතාබහක් ඇති විය. විශේෂයෙන්ම නිසි අධ්‍යාපනික සුදුසුකම් නොමැති සමාජයට ආදර්ශයක් විය නොහැකි තරගකාරියන් ජාත්‍යන්තර තරග සඳහා තෝරාගැනීම රටේ කීර්තිනාමයට විශාල හානියක් විය. උදාහරණයක් ලෙස එක්තරා ජාත්‍යන්තර රූපලාවණ ශිල්පී තරගයකට සහභාගී වූ තරගකාරියකගේ අධ්‍යාපන සුදුසුකම් හා ඇගේ චර්යාවන් පිළිබඳ පසුව සමාජ මාධ්‍ය තුළ හා ජනමාධ්‍ය තුළ ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය, ජාතික වශයෙන් අපහසුතාවට පත්වීමට හේතුවක් විය. ඒ පිළිබඳ සමාජයේ විවිධ පාර්ශ්ව දැඩි ලෙස විවේචනය කළ අතර, එය එම ක්ෂේත්‍රයටම නරක ආදර්ශයක් විය.
මීට අමතරව තරග සඳහා ඉදිරිපත් වන ශිල්පීන් සතුව තිබිය යුතු නිශ්චිත නිර්ණායක පිළිබඳ ද ගැටලු මතුවූ අවස්ථා ඇත. නිරූපණ ශිල්පය යනු සරලවම රූපය ප්‍රදර්ශනය කිරීමක් පමණක් නොවේ. එය තම රටේ සංස්කෘතිය, සාරධර්ම හා සමාජීය වටිනාකම් විදහා දැක්වීමට ඇති විශිෂ්ට අවස්ථාවකි. එහෙත් ඇතැම් තරගකරුවන්ගේ හැසිරීම් රටා හා ඔවුන්ගේ ක්‍රියාකලාපයන් එම වටිනාකම්වලට හානියක් වන ආකාරයක් දක්නට ලැබුණු අවස්ථා ද විය. ජාත්‍යන්තර තරගයකදී අපේ රට නියෝජනය කරන සෑම තරගකරුවෙක්ම ශ්‍රී ලංකාවේ අභිමානය විදහා දක්වන්නෙකු විය යුතුය. තරගයක ජය පරාජය කුමක් වුවත්, ඒ සඳහා නියම සුදුස්සෙකු ඉදිරිපත් කිරීම අපේ රටේ වගකීමකි.
මෙම අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා නිරූපණ ශිල්පය හා රූපලාවණ ශිල්පී තරග සඳහා තරගකරුවන් තෝරාගැනීමේදී විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වේ. මෙම ක්‍රමවේදය සඳහා අධ්‍යාපනික සුදුසුකම්, දැනුම, ආකල්ප, පුද්ගලිකත්වයේ ගුණාංග හා සමාජීය වගකීම් පිළිබඳ පැහැදිලි නිර්ණායක ඇතුළත් විය යුතුය. තරගයකදී ජයග්‍රහණය කිරීමට පමණක් නොව, සැබෑ ශ්‍රී ලාංකික අභිමානය ලොවට විදහා දැක්වීමට හැකි දක්ෂයන් බිහිකිරීමට මෙය මහෝපකාරී වනු ඇත.