තාක්ෂණයේ දියුණුවත් සමඟ ඇතිවූ පරිවර්තනය හමුවේ නිරූපණ ශිල්පය ද සාම්ප්‍රදායික රාමුවෙන් මිදී නවකයන් සඳහා අවස්ථා රාශියක් නිර්මාණය වී තිබේ. නිරූපණ ශිල්පය කලාවකි. ඒ නිසාම මේ සඳහා පළපුරුද්ද පුහුණු හා සහජ හැකියාව තිබිය යුතුමය.
ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව සටහන් කිරීමේදී අපට මුලින්ම මතකයට නැඟෙන නමක් වන්නේ වාසනා දන්තනාරායනයි. ඇය නිරූපණ ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් ලැබූ ප්‍රවීණ ශිල්පිනියකි. එසේම විවිධ රංගන ශිල්පියෙකි. දක්ෂ ව්‍යාපාරික කාන්තාවකි. ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට රැගෙන යමින් නවක ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් බිහි කළ අැය මේ ක්ෂේත්‍රය තුළ එදා මෙන්ම අදත් එකම අයුරින් තම අනන්‍යතාව රැකගෙන සිටින්නේ මහත් අභිමානයෙනි.
ක්ෂේත්‍රයේ අභියෝගාත්මක මොහොතේ නැවතත් නවකයන් හට අත දීමට සමාජ සත්කාරක වැඩසටහනක් ආරම්භ කරන්නේ උදාර පරමාර්ථයක් පෙරදැරි කර ගනිමිනි.
මේ දැවැන්ත වූ කටයුත්ත ගැන ඇය මුලින්ම තරුණියට කියන්නට අප සමඟ පිළිසඳරට එක් වූයේ එදා මෙන්ම අදත් එක ලෙසින්ම බැඳි ළෙන්ගතු හිතවත්කම නිසාමය.
ඉතින්…….වාසනා..කොහොමද ඔබේ තොරතුරු? ඔබ කාලයකට පසු නැවතත් ලොකු කටයුත්තක් ආරම්භ කරනවා කියලා අපට දැනගන්න ලැබුණා. මොකක්ද ඒ අලුත් වැඩේ?
ඇත්තටම මම වසර ගණනාවක් නිහඬව අපේ නිරූපණ ක්ෂේත්‍රය ගැන බලාගෙන හිටියා. දැන් සමාජ මාධ්‍ය තුළ නිරූපණ ශිල්පය උගන්වන ශිල්පීන් රාශියක් ඉන්නවා. නමුත් මේ උගන්වන කවුරුවත් ක්ෂේත්‍රය තුළින් දිගටම රැඳෙන්නේ නැහැ. අතළොස්සක් විතරයි මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳෙන්නේ.මට පේනවා මේ කලාව දවසින් දවස පිරිහෙන තත්ත්වයට පත්වෙමින් තිබෙනවා කියලා. අලුතෙන් නිරූපණ ශිල්පී ශිල්පිනියන් බිහි වුණාට ඒ අයට නිරූපණ ක්ෂේත්‍රයේ ඉස්සර වගේ තරග, ප්‍රදර්ශන නැහැ.
බොහෝ දෙනෙක් උගන්වනවා විතරයි.ගුරුවරයෙක් ලෙස ඉගැන්වීම විතරක් කිරීම ප්‍රමාණවත් නැහැ. මේ තරුණ තරුණියන්ගේ දක්ෂතාවන් එළිදැක්වීමට තරග, ප්‍රදර්ශන පැවැත්වීමට ගුරුවරයා උනන්දු විය යුතුයි. ඒ වගේම ක්ෂේත්‍රයේ අපේ රටට ආවේණික තාක්ෂණික ක්‍රම තිබෙනවා. එම තාක්ෂණික ක්‍රම යුරෝපීය රටවලට වඩා වෙනස්. ඒ වගේම ඉදිරිපත් වන ශිල්පීන්ට හොඳ පුහුණුවක් තිබිය යුතුයි. මම පසුගිය කාලය පුරාම මෙවැනි ප්‍රදර්ශන, තරගවල අඩුපාඩු රාශියක් දැක්කා. ඒ අඩුපාඩු දැකපු නිසා මේ ක්ෂේත්‍රයට තිබෙන ආදරය, ගෞරවය උනන්දුව හා ආසාව නිසා නැවත වරක් නිරූපණ ශිල්පී පාඨමාලාවක් මගේ ඇකඩමිය වන V ඇකඩමිය මඟින් නොමිලේ ආරම්භ කරන්න මම තීරණය කළා.
ඔබ මේ ඇකඩමිය පටන් ගත්තේ මොන වගේ අරමුණක් ඇතිව ද ?
අද සමාජයේ තරුණ පරපුර ඉදිරිපත් වීමේ පසුගාමී බවක් පෙනෙනවා. ඔවුන් සමාජය සමඟ ගනුදෙනු කරන කලාව හරිම වෙනස්. වත්මන් තරුණ පරපුර තුළ මම අඩුපාඩු රැසක්ම දකිනවා. මට අවශ්‍ය වුණේ නිරූපණ ශිල්පිෙයක් හෝ ශිල්පිනියක් බිහි කිරීමට වඩා හොඳ පෞරුෂයක් ඇති සමාජයට වැඩදායි පුද්ගලයකු ලෙස ඒ දරුවාට සමාජයට මුහුණ දෙන අයුරු කියාදීමයි. අඩුම වශයෙන් මේ දරුවන්ට සමාජ සාරධර්ම ටික හෝ කියා දිය යුතු බව මට හැඟුණා.
ඔබට මේ කටයුත්තට විශාල පිරිවැයක් දරන්න වෙනවා නේද?
ඔව්, මම 2005 මුලින්ම මේ පාඨමාලා පටන් ගත්තේ රුපියල් 5000ක් වැනි කුඩා මුදලකට. දරුවන්ට ඒ මුදල පවා කොටස් වශයෙන් ගෙවන්න මම අවස්ථාව දුන්නා. මම නැවත V ඇකඩමිය මඟින් ආරම්භ කරන මේ පාඨමාලාව සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ මගේ සැමියාගේ පෞද්ගලික ආයතනය වන V&R සමාගමයි.එම සමාගමෙන් ලැබෙන මූල්‍ය අනුග්‍රහය මත තමයි මේ පාඨමාලාව මම නොමිලේ පවත්වන්න තීරණය කළේ.
මේ කටයුත්තට ඔබේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවද ?
ඇත්තටම දැන් නවක පරපුරේ අය අපේ වැඩ ගැන දන්නේ නැහැ. නමුත් බොහෝ ප්‍රවීණ අය මේ කටයුත්තට මට හදවතින්ම සුබ පැතුවා.
මේ පාඨමාලාව හදාරන්නට තිබිය යුතු සුදුසුකම් මොනවද?
අපි මේ සඳහා වයස් සීමාව අවුරුදු 10 සිට 35 දක්වා වෙන්කර තිබෙනවා.මේ වයස් සීමාවේ තරුණ පිරිස තමයි අපේ රටේ ඉදිරියට එන අනාගතය භාරගන්න පිරිස. ඒ අය තමයි රටේ වැඩදායිම පිරිස.නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්න රූපය පෙනුම වැදගත්. අපට ඕනෑම තරුණයෙක් හෝ තරුණියක් පුහුණු කරන්න පුළුවන්. මෙම පාඨමාලාවට ඇතුළත් වීමට වඩාත්ම වැදගත් වෙන්නේ වයස් සීමාව තමයි. මෙය මාස 03ක පාඨමාලාවක්.
වර්තමානයේ නිරූපණ ශිල්පී තරග විදේශ රටවල පවත්වමින් විශාල මුදල් උපයන ව්‍යාපාර බවට පත් වී තිබෙනවා. ඔබ මේ ගැන මොකද හිතන්නේ?
මම මේ තත්ත්වය දැක්කේ 2005 වසරේ මගේ පාඨමාලාව ආරම්භ කරන කාලයේ. මම ඒ කාලෙ ඇකඩමිය පටන් ගත්තට පස්සේ හැමෝම වගේ රූපලාවන්‍ය ප්‍රදර්ශන, නිරූපණ ශිල්පී තරග ප්‍රදර්ශන පැවැත් වූවා.කාලයෙන් කාලයට මේ වගේ දේවල් ඉස්මතු වෙනවා. නමුත් වැඩි කාලයක් මෙවැනි දේවල් පවතින්නෙ නැහැ. නැවත වරක් මම මේ පාඨමාලාව ආරම්භ කළාට පස්සේ නැවතත් මේ ක්ෂේත්‍රයේ හොඳ දක්ෂ තරුණ පිරිසක් බිහි කරන්න හැකි වෙයි.
ඔබගේ දියණිය විහාරා මේ ක්ෂේත්‍රයට එනවට ඔබ දක්වන ප්‍රතිචාරය මොකක්ද?
මගේ දුව මේ ක්ෂේත්‍රයට එනවට මම හරිම කැමතියි. ඒත් එයා විවිධ ක්ෂේත්‍ර රැසකටම දක්ෂතාව පෙන්වනවා. ගායනයට, වාදනයට වගේම නිරූපණ ශිල්පයටත් එයා දක්ෂයි. ඒ වගේම මගේ සැමියගෙ ව්‍යාපාර ක්ෂේත්‍රයටත් එයා කැමැත්තක් දක්වනවා. අපි එයාට නිදහස දීලා තියෙනවා අනාගතයේදී එයා කැමති ක්ෂේත්‍රයන් තෝරගන්න.
ඔබේ සැමියා මේ කටයුත්තට දක්වන දායකත්වය කොයි වගේද?
ඔහු තමයි හැම වෙලාවකම වගේ සෙවණැල්ල වෙලා ඉන්නේ. රසිකගේ මූල්‍ය දායකත්වයෙන් තමයි මේ හැම කටයුත්තක්ම මට කරන්න ශක්තිය ලැබිලා තියෙන්නේ. අපි දෙන්න හොඳ අවබෝධයෙන් යුතුව මේ කටයුත්ත කරන්න තීරණය කරලා තියෙනවා. ඒක අපි හොඳින්ම සැලසුම් කළා.
හෙට දවස තුළ නිරූපණ ක්ෂේත්‍රයේ ඔබේ භූමිකාව කුමක්ද?
මම හැම වෙලාවකම උත්සාහ කරන්නේ මගේ රට වෙනුවෙන් යමක් කරන්නයි. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ තරුණ පරපුර වෙනුවෙන් යමක් කිරීමට මගේ ලොකු ආසාවක්, උනන්දුවක්, කැපවීමක් තිබෙනවා. මම හැම මොහොතකම හිතන්නේ කාට හරි උදව්වක් කරන්න, මඟ පෙන්වන්න තමයි. මම කැමතියි අපේ තරුණ තරුණියන් හැම කෙනෙක්ම ලස්සනට ඉන්නවා දකින්නට. මම කවුරු හරි කොහේ හරි, කාගේ හරි, අඩුපාඩුවක් දැක්කොත් මං ඒ ගැන උපදෙස් දෙනවා. ඔවුන්ට ඒ ගැන කියනවා. අපි හැමෝම ලෝකයේ ලස්සනට ඉන්න කැමතියි. ඒක නිසයි මම මේ ඇකඩමිය නැවතත් ආරම්භ කළේ.
මෙම පාඨමාලාව හදාරන්නට ඔබත් කැමැති නම් 0777270118 අංකයට වට්ස් ඇප් කරන්න
