Monday, October 13, 2025
Epaper
Home වෛද්‍යගැහැනු-පිරිමි  දෙගොල්ලන්ටම වැලඳෙන ගොනෝරියා

ගැහැනු-පිරිමි  දෙගොල්ලන්ටම වැලඳෙන ගොනෝරියා

by Thanushika

ප්‍රවීන් කියන්නෙ අවුරුදු 28ක කඩවසම් තරුණයෙක්. ප්‍රවීන්ගේ පෙම්වතිය නිම්නා. තව මාස කිහිපයකින් විවාහය සඳහා සූදානම් වන නිසාම මේ දිනවල දෙන්නම හරිම කාර්යබහුලයි. ඒත් දැන් දවස් කිහිපයක ඉඳලා ප්‍රවීන් ඉන්නෙ තරමක අසනීප තත්ත්වයකින්. නිම්නාට නම් කිව්වෙ “මගේ ඇඟට හරි නෑ. උණ ගැනෙන්න එනවා වාගෙයි” කියලා.

ඒත් ඇත්ත කතාව ඒත් ප්‍රවීන් හිටියේ කාටවත්ම කියාගන්න බැරි, මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි රෝගී තත්ත්වයක. දැන් දින කිහිපයක්ම තිස්සෙ ඔහුගේ මූත්‍රා මාර්ගයෙන් සැරව ගලනවා. මූත්‍රා පිට වෙද්දි පුදුමාකාර වේදනාවක් දැනෙන්නෙ. මේ ගැන නිම්නාට කියන්නත් බෑ. ඒත් අන්තිමේ දී ඩොක්ටර් කෙනෙක් මුණගැහුණේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙච්චි නිසා.

“ඩොක්ටර් දැන් දවස් හතරක පහක ඉඳලා මගේ මූත්‍රා මාර්ගයෙන් සැරව පිට වෙනවා. හරිම දැවිල්ලයි. හරියට මූත්‍රා මාර්ගය දිගේ වීදුරු කටු යනවා වගෙයි දැනෙන්නෙ. මේ සැරව ගොඩාක් යන නිසා ඇඳුමක් අඳින්නත් බෑ. මේකට හේතුව මොකක්ද ඩොක්ටර්. මේක මොකක් හරි බරපතළ රෝගයක පෙර නිමිත්තක් ද?”

” මට පෙනෙන විදිහට නම් මේක ගොනෝරියා කියන රෝගී තත්ත්වය. මොකද ගොනෝරියා ආසාදනය කියන්නෙම ලිංගාශ්‍රිත ප්‍රදේශවල ශ්‍රාවයක් ඇති කරන රෝගයක්. මේ රෝග ලක්ෂණවලින් පෙළෙන සැලකිය යුතු පිරිසක් මට මුණ ගැහිලා තියෙනවා. ඒ හැමෝම කිව්වෙ මූත්‍රා මාර්ගයෙන් සැරව පිට වෙද්දි හරිම දැවිල්ලයි. හරියට මූත්‍රා මාර්ගය දිගේ වීදුරු කටු ගමන් කරනවා වගේ දැනෙනවා කියලා. සමහර පිරිමි රෝගීන් මේ තරලය ගොඩක් වෑස්සෙන නිසා රෙද්දකින් හරි බැන්ඩේජ් එකකින් හරි ශිශ්නය ඔතාගෙනයි ආවේ. ඒ අය පුදුමාකාර විදිහට බය වෙලයි හිටියේ.”

” ඒ කියන්නෙ මේක පිරිමි අයට හැදෙන හොඳ කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයිද ඩොක්ටර්.”

” එහෙම නෑ. ගොනෝරියා කියන්නෙ ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයටම හැදෙන ලිංගික සමාජ රෝගයක්. කාන්තාවන්ට නම් මේක ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ රහිතව තමයි පවතින්නේ. සමහර වෙලාවට ඔවුන්ට සුද යාමක් හැටියටත්, කලාතුරකින් යටිබඩේ වේදනාවක් හැටියටත් රෝග ලක්ෂණ ප්‍රකාශ කරනවා.

මෑතකදී මාව හමුවෙන්න ආපු පිරිමි දරුවෙක්ට මේ රෝගය බෝ වෙලා තිබුණේ ශිශ්න-මුඛ  සම්බන්ධයකින්. බීමතින් ඉන්න වෙලාවක ආගන්තුක තරුණයෙක් සමඟ වුණු ඒ සම්බන්ධයෙන් පස්සෙ මූත්‍රා මාර්ගයෙන් සැරව යන්න පටන් ගත්තා කියලයි කිව්වෙ. ඒ කියන්නෙ ශිශ්න – මුඛ සංසර්ගයෙනුත් මේ තත්ත්වය බෝ වෙනවා.

ඊට අමතරව සමහර වෙලාවල්වලදී ආසාදිත මවකගේ කුසෙන් යෝනිය හරහා බිහිවෙන දරුවකුට ඇස්වල ආසාදනයක් ලෙසත් මේ රෝගය ඇතිවිය හැකියි. ඉතාම කලාතුරකින් මේ රෝගය ශරීරය පුරා පැතිරී යන ආසාදන තත්ත්වයක් ලෙසත් ඇති වෙන්න පුළුවන්.”

“මේ රෝග තත්ත්වයට හේතුව කුමක්ද?”

“ඇත්තටම මේ රෝගය හැදෙන්නේ, නයිසීරියා ගොනෝරියා (Neisseria gonorrhoea) කියන බැක්ටීරියා ආසාදනය නිසා. ආසාදිත අයෙක් සමඟ සිදු කරන ලිංගික සම්බන්ධයකදී එනම් යෝනි, ගුද, මුඛ වැනි ඇතුළු කිරීමේ සංසර්ගයකදී මෙම බැක්ටීරියාව එම ප්‍රදේශ ආසාදනය කරනවා.

සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධයෙන් දින 2ත් 10ත් අතර කාලය ගතවන විට අලුතෙන් ආසාදනය වූ පුද්ගලයාට රෝග ලක්ෂණ මතු වෙනවා. නමුත් විශේෂයෙන් කාන්තාවන්ට මෙහි රෝග ලක්ෂණ ඇතිවීම පැහැදිලි නැහැ. එසේම ගුද හෝ උගුරේ ආසාදනවල රෝග ලක්ෂණ ඇතිවෙන්නේ 10%කට පමණයි.”

“ඇත්තටම ඩොක්ටර් මේ රෝගය ලංකාවේ බහුලව පවතින රෝගයක්ද?”

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව නම් වසරකට මිලියන 80ක් පමණ මෙම ආසාදනයට ගොදුරු වෙනවා. මෑත කාලයේ ලංකාවේ දත්තවලට අනුව, (ඒ කියන්නෙ 2023 වසරේ දත්ත) ජනගහනය 100,000කට ගොනෝරියා රෝගීන් පස්දෙනකු පමණ වර්ෂයකට වාර්තා වෙනවා. 2023 වසරේ රෝගීන් 1,128 රජයේ ලිංගික සෞඛ්‍ය සේවා සායනවලට වාර්තා වෙලා තියෙනවා. නමුත් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නා සංඛ්‍යාව සැලකීමේදී සැලකිය යුතු කොටසක් මෙම රෝගයට ගොදුරු වෙන බවක් තමයි පෙනෙන්නට තියෙන්නෙ.”

” මේ රෝගයට ප්‍රතිකාර තියෙනවාද?”

“ඔව්, වාසනාවකට වගේ ලිංගිකව බෝවන අනෙක් රෝගවලට වඩා මේ තත්ත්වය ප්‍රතිකාර මඟින් සුව කළ හැකියි. යෝනියේ හෝ පිරිමි මූත්‍රා මාර්ගයේ ආසාදනය ඇති විට ගිලින බෙහෙත් පෙති මඟින් ප්‍රතිකාර කළ හැකියි. නමුත් උගුරේ හෝ ගුද මාර්ග ආසාදන ඇති බවට සැක සහිත නම් එන්නත් ප්‍රතිකාර ලබාදීම අවශ්‍යයි. ඒ සඳහා දිවයින පුරා ඇති ප්‍රධාන රෝහල් ආශ්‍රිත ලිංගික සෞඛ්‍ය සේවා සායන වෙත යොමු විය යුතුයි.”

“මේ රෝගවලින් වැළකී සිටීමට කළ යුත්තේ මොකක්ද කියලත් කියන්න ඩොක්ටර්.”

1. ලිංගික සම්බන්ධතා විවාහය තෙක් ප්‍රමාද කිරීම. විවාහයෙන් පසු වෙනත් සම්බන්ධතාවලට නොයා සිටීම.

2. අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාසවන්තව එක් අයෙක් සමඟ පමණක් ලිංගික සබඳතා පැවැත්වීම.

3. එසේත් නැත්නම් අනෙක් සියලුම ලිංගික සම්බන්ධතාවලදී නිවැරදි ලෙස කොන්ඩම් භාවිත කිරීම.

4. සැක සහිත ලිංගික සම්බන්ධයකින් පසු, ඒ පිළිබඳ ලිංගික සෞඛ්‍ය සේවා සපයන වෛද්‍යවරයකු හෝ සායනයකට ගොස් පරීක්ෂා කර ගැනීම අවශ්‍යයි. මෙහිදී ලිංගික සම්බන්ධයකින් බෝවිය හැකි අනෙකුත් රෝග පිළිබඳ ද සොයා බලා අවශ්‍ය ප්‍රතිකාර කරනවා.

මොකද සැකයෙන් හෝ මානසික පීඩනයෙන් සිටිනවාට වඩා, ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් වලින් සහනයක් ලබා ගැනීම තමයි වඩාත් වැදගත්.”

 

උපදෙස් –

විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට

(ලිංගිකව බෝවන රෝග, එච්.අයි.වී. හා ලිංගික සෞඛ්‍යය)

අනුරාධපුර ශික්ෂණ රෝහල

චම්පා වරුසප්පෙරුම

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?