Monday, October 13, 2025
Epaper
Home වෛද්‍යනිට්ටාවටම රෝග හඳුනාගත හැකි MRI පරීක්ෂණ

නිට්ටාවටම රෝග හඳුනාගත හැකි MRI පරීක්ෂණ

by Thanushika

ඔයාගේ doctor ඔයාට MRI ස්කෑන් එකක් කරන්න කියලා කිවුවද? සමහරවිට ඔයාගේ හිතට පොඩි බයක්, කුතුහලයක් වගේ දෙයක් දැනෙන්න ඇති. “මොකක්ද මේ MRI කියන්නේ?”, “ඒක රිදෙයිද?”, “ලොකු මැෂින් එකක් ඇතුළට යන්න ඕනෙද?”

ඉතින්, මොකක්ද මේ MRI කියන්නේ? MRI කියන්නේ Magnetic Resonance Imaging කියන එකේ කෙටි නම. මේකෙදි කරන්නේ, හරිම ප්‍රබල චුම්බක බලයක්, රේඩියෝ තරංග සහ පරිගණකයක් පාවිච්චි කරලා, ඔයාගේ ශරීරයේ ඇතුළත තියෙන අවයව, මස් පිඬු, සන්ධි වගේ දේවල්වල හරිම පැහැදිලි, විස්තරාත්මක පින්තූර ගන්න එක.

මේකේ තියෙන ලොකුම වාසිය තමයි, X-ray එකක් හරි CT ස්කෑන් එකක් හරි කරනවා වගේ ශරීරයට අහිතකර විකිරණ කිසිවක් මේකෙදි පාවිච්චි නොකරන එක. ඒ නිසා මේක හරිම ආරක්ෂිත පරීක්ෂණයක්.

ගොඩක් අයට මේ MRI එකයි, CT ස්කෑන් එකයි පටලැවෙනවා. දෙකෙන්ම ඇඟ ඇතුළෙ පින්තූර ගත්තට, මේ දෙකේ ක්‍රමවේද සහ පාවිච්චි කරන අවස්ථා හරිම වෙනස්. CT ස්කෑන් එකක් කරන්නේ X-ray කිරණ පාවිච්චි කරලා. ඒත් MRI එකක් කරන්නේ ලොකු චුම්බක බලයකුයි, රේඩියෝ තරංගයි. ඒ නිසා තමයි MRI එකේදී විකිරණ ශරීරයට එන්නේ නෑ කියල කියන්නේ.

සාමාන්‍යයෙන් CT එකක් කරන්නේ හදිසි අවස්ථාවකදී, ඇටකටු බිඳීමක්, ඇඟ ඇතුළෙ ලේ යනවා වගේ දෙයක් බලන්න. ඒක හරිම වේගවත්, විනාඩි 10කින් වගේ ඉවර කරන්න පුළුවන්. ඒත් MRI එකක් මොළය, මස් පිඬු, කොන්ද, බන්ධනී (ligaments) වගේ මෘදු පටකවල ප්‍රශ්න හරිම පැහැදිලිව බලන්න තමයි හොඳම. ඒකට නම් වෙලාව ටිකක් යනවා, විනාඩි 30ක්, පැයක් විතර වෙන්න පුළුවන්.

MRI එකකින් ඇඟේ ඕනම කොටසක් බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගෙ මොළය ගත්තොත්, නහරවල ප්‍රශ්න, පිළිකා තත්ත්ව, ආඝාතය (stroke) වගේ දේවල් විතරක් නෙමෙයි, කොන්දෙ තියෙන තැටිවල (disks) ප්‍රශ්න පවා හරිම පැහැදිලිව බලාගන්න පුළුවන්. ඒ වගේම හදවතේ තියෙන ප්‍රශ්න, හිරවෙච්ච ලේ නහර වගේ දේවලුත් හොයාගන්න පුළුවන්.

විශේෂයෙන්ම දණහිසේ, උරහිසේ වගේ සන්ධිවල ඇතිවන ආබාධ, බන්ධනී ඉරීයාම් වගේ දේවල් හඳුනගන්න MRI එක නියමයි. මීට අමතරව පියයුරු, අක්මාව, වකුගඩු වගේ අවයවවල රෝග තත්ත්ව හොයාගන්නත් MRI එක ගොඩක් වැදගත් වෙනවා.

හැබැයි MRI එකක් කරන්න කලින් අපි හැමෝම දැනගන්න ඕන හරිම වැදගත් සහ සැලකිලිමත් විය යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි ලෝහ ගැන. MRI මැෂින් එක කියන්නේ හරිම ප්‍රබල චුම්බකයක්. ඒ නිසා ඔයාගෙ ඇඟ ඇතුළෙ හරි, ඇඟෙන් පිටත හරි කිසිම ලෝහමය දෙයක් තියෙන්න බෑ.

ඔයාට පේස්මේකර් එකක් (Pacemaker), මොළේට දාපු ක්ලිප්, කෘත්‍රිම ශ්‍රවණ උපකරණ, කෘත්‍රිම හෘද කපාට, ඇඟ ඇතුළෙ තියෙන ඇණ, ඉස්කුරුප්පු, කෘත්‍රිම සන්ධි වගේ දේවල් තියෙනවා නම්, අනිවාර්යයෙන්ම, ස්කෑන් එක කරන්න කලින් ඔයාගේ ඩොක්ටර්ටයි, එතන ඉන්න කාර්ය මණ්ඩලයටයි කියන්නම ඕන. ගොඩක් අලුත් උපකරණ MRIවලට ගැළපෙන විදිහට හදලා තිබුනත්, ඒ බව කලින් දැනුම් දෙන එක අත්‍යවශ්‍යයි.

ඔයා ගැබිනියක් නම්, ඒ බවත් අනිවාර්යයෙන්ම කියන්න ඕන. ඒ වගේම, සමහර වෙලාවට වඩා පැහැදිලි පින්තූර ගන්න අතේ නහරයකට contrast දියරයක් විදින්න පුළුවන්. ඔයාට ඇලජික් තියෙනවා නම් හරි, දරුණු වකුගඩු රෝග තියෙනවා නම් හරි, ඒ බවත් කලින්ම කියන්න.

ඉතින් ඔයා ස්කෑන් එකට යන දවසෙදි මොනවද කරන්න ඕනෙ? මුලින්ම, කලින් කිවුව වගේ ඔයා ගැබිනියක් නම්, ඇලජික් තියෙනවා නම්, වකුගඩු ලෙඩ තියෙනවා නම්, ඇඟේ ලෝහ කොටස් තියෙනවා නම්, ඒ හැමදේම කලින් කියන්න. ඒ වගේම හිරවෙච්ච, පොඩි තැන්වලට බයක් (claustrophobia) තියෙනවා නම් ඒකත් කියන්න, ඒකට එයාලා ඔයාට උදවු කරයි. පච්ච කොටලා තියෙනවා නම් ඒකත් කියන්න, මොකද සමහර තීන්ත වර්ගවල ලෝහ අඩංගු වෙන්න පුළුවන්.

ස්කෑන් කාමරේට යන්න කලින් ඔයාගෙ ඇඟේ තියෙන කරාබු, මාල, මුදු, ඔරලෝසු, ෆෝන් එක, ක්‍රෙඩිට් කාඩ්, කණ්ණාඩි, කොණ්ඩා කටු වගේ හැම ලෝහමය දෙයක්ම ගලවලා තියන්න ඕන. එදාට ලෝහ බොත්තම්, සිපර් නැති, බුරුල් ඇඳුමක් ඇඳගෙන යන්න. බොහෝවිට එයාලා ඔයාට ඇඳගන්න විශේෂ ගවුමක් දේවි.

ඔයාව ඇඳක් වගේ මේසයක් උඩ හාන්සි කරවලා, ඒක හිමින් සැරේ මැෂිම ඇතුළට යවනවා. පරීක්ෂණය පුරාවටම ඔයා නොසෙල්වී ඉන්න එක හරිම වැදගත්. ස්කෑන් එක පටන් ගත්තම “තඩ තඩ”, “ටොක් ටොක්” ගාලා සෑහෙන්න සද්දයක් ඇහෙනවා. ඒක මැෂින් එකේ සාමාන්‍ය සද්දෙ, බය වෙන්න එපා. ඒ සද්දෙ අඩු වෙන්න එයාලා ඔයාට කන් දෙකට දාන්න දෙයක් දේවි. කාර්ය මණ්ඩලය වෙනම කාමරයක ඉඳන් ඔයාව බලාගෙන ඉන්නවා, ඒ නිසා කිසිම දේකට බය වෙන්න අවශ්‍ය නෑ.

ඉතින්, MRI කියන්නේ විකිරණ නැති, හරිම ආරක්ෂිත, ඇඟ ඇතුළෙ තියෙන දේවල් ගොඩක් පැහැදිලිව පෙන්නන පරීක්ෂණයක්. වැදගත්ම දේ තමයි, ඔයාගෙ ඇඟේ තියෙන ඕනම ලෝහමය දෙයක් ගැන කලින් දැනුම් දෙන එක. ඒ වගේම ඔයාගෙ හිතේ තියෙන ඕනම ප්‍රශ්නයක්, බයක් ගැන ඩොක්ටර් එක්ක හරි, MRI එක කරන කාර්ය මණ්ඩලය එක්ක හරි විවෘතව කතා කරන්න. ඒ අය ඔයාට හැමදේම පැහැදිලි කරලා දේවි.

වෛද්‍ය
ප්‍රියා සම්මානි
MBBS, Pg Dip in Family medicine
සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?