තිලොවම වසා පැවති අවිද්‍යාව නමැති ඝන අන්ධකාරය දුරු කළා වූ ධර්මාලෝකය ද ප්‍රඥාලෝකය ද වන්නේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේයි. ඒ මහා කාරුණික ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දෙව්. මිනිස් ලෝකයාගෙන් පිදුම් ලැබීමට සුදුසු වූ අරහං ආදී අනන්ත ගුණයන්ගෙන් සමන්විත වන සේක. එබැවින් පින් රැස් කරගනු කැමැති නුවණැත්තෝ බුදුරජාණන් වහන්සේ උදෙසා ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා සිදු කරති.
ආමිස පූජාවන් සඳහා පහන්, සුවඳ මල්, සුවඳ දුම්, කිරි ආහාර, භෝජන, ගිලන්පස ආදී විවිධ දෑ යොදා ගනිති. ඒ සියලු පූජාවන් අතරින් පහන් පූජාවට සුවිශේෂී තැනක් හිමිවේ. පහන් පූජා කිරීමේ අරමුණ වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට උපහාර පිණිස ආලෝකය පූජා කිරීමයි. එහිදී බුදුරජාණන් වහන්සේව ජීවමාන සංඥාවෙන් මවා ගැනීම සිදුකරති.
පහන් පූජාව මහත් අනුසස් අැති ශ්‍රේෂ්ඨ පින්කමකි. අපදානපාලිය තුළ අතීත බුද්ධ ශාසනයක පහන් පූජාව සිදුකළා වූ පුද්ගලයෙක් ලද මහා අනුසස් රාශියක් විස්තර කොට තිබේ. මීට මහා කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර හෙවත් පියතුරා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වූ සේක. එකල ගිහිගෙය කලකිරී තාපස පැවිද්දෙන් පැවිදි වූ සෘෂිවරයෙක් වනයෙහි වාසය කළේය. දිනක් මෙම ඍෂිතුමා උදෑසන ආහාරය පිණිස පලවැල සොයමින් වනයට පිවිසියේය. ආහාරයට ගත හැකි දෙයක් සොයමින් ඇවිදින මොහොතේ දී ලොව්තුරා පදුමුත්තර බුදුපියාණන් වහන්සේ සමාපත්තියට සම වැදී වැඩ සිටිනා අයුරු දැක ගන්නට ලැබිණි.
පැවිද්දා මින් පෙර බුදුපියාණන් වහන්සේ දැක තිබුණේ නැත. නමුත් ඔහු මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව ඇතුළත් දේහ ලක්ෂණ විද්‍යාවෙහි ඉතාමත් දක්ෂයෙකි. මෙවන් මහා පුරුෂ ලක්ෂණ දෙතිසක් සිරුරෙහි පිහිටන තැනැත්තා ඒකාන්තයෙන්ම ලොව්තුරා බුදුවන බව පුරාණ ආචාර්යවරයන්ගෙන් අසා ඔහු ඉගෙනගෙන තිබුණි. එබැවින් මේ ලොව්තුරා සම්මා සම්බුදුවරයාණන් වහන්සේ නමකැයි මැනවින් හඳුනා ගැනීමට තවුසාට හැකියාව ලැබිණි.
මෙවන් මහෝත්තමයකු පිදීම සසරම සුවපත් කරන උතුම් ක්‍රියාවක් බව සිතට ගත් තාපසතුමා වහ වහා තම ආශ්‍රමයට නැවත ගියේය. ඔහු සමීපයේ මී බීජ සිඳ ලබාගත් මීතෙල් තිබුණි. තමන් ඉඳගැනීමට භාවිත කරන ත්‍රිදණ්ඩ ආසනය සහ ලොකු සැලියක් ද ගෙන නැවතත් සම්බුදු පියාණන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණියේය.
තම ත්‍රිදණ්ඩ ආසනය මත සැලිය තබා වැටිය නොවැටෙන අයුරින් සකසා එහි මීතෙල් පුරවා ඉමහත් ගෞරවයෙන් බුදුපියාණන් වහන්සේට පූජා පිණිස පහනක් දැල්වීය. ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ගුණ ස්මරණය කරමින් අට වරක් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළේය. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දින හතක් පුරාම නිරෝධසමාපත්තියට සම වැද වැඩහුන් සේක. එම සතිය පුරාම ඍෂිතුමා ද ඉමහත් ගෞරවයෙන් පහන නිවෙන්නට නොදී දල්වා තබා ගනිමින් භාග්‍යවතුන් වහන්සේට පහන් පූජාව කළේය. සත්වැනි දින අවසානයේ භාග්‍යවතුන් වහන්සේ සමාපත්තියෙන් නැඟී සිටි අතර ඒ මොහොතේ දී මුළු වනයේම වෘක්ෂයන්හි සුගන්ධ පුෂ්පයෝ අකලට පිපෙන්නට පටන් ගත්තේය. සතර දිසාවේ ඇති නොයෙක් සුගන්ධයන් ඒ දෙසට හමා එන්නට විය. සුවඳ මල් ද පාවී පැමිණ බුදු පුදට මෙන් තැන්පත් වුණි. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අදිටනින් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේ ලක්ෂයක් සමඟ ඒ මොහොතේ දී එතැනට වැඩම කළ සේක.
භාග්‍යවත් පදුමුත්තර බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළ සේක. පහන් පූජාවේ ආනිසංස ද වර්ණනා කළ සේක. ඒ අසිරියෙන් තාපසතුමා ඉමහත් සතුටට පත්විය. කාලයාගේ ඇවෑමෙන් එතුමා මරණයට පත් වී දෙව්ලොව උපත ලැබීය.
එදා සිදුකළ පහන් පූජාව නිසා එතුමා මහත් ආනිසංස රාශියක් සසර පුරා ලබාගත්හ.
ඒවා මෙසේය.
1. මහා කල්ප ලක්ෂයක් පුරා කිසි කලෙක සතර අපායක නොඉපදීම
2. මහා කල්ප සැටදහසක් දෙව්ලොවම නැවත නැවතත් අනුපිළිවෙළින් ඉපදීම
3. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහිතව දහස් වරක් චක්‍රවර්ති රාජ්‍යත්වයට පත්වීම
4. තව්තිසා දෙව්ලොව ඉපිද 36 වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර තනතුරට පැමිණීම
5. සත් සිය වතාවක් මහා රාජයකුව පෘථිවියෙහි රජකම් කිරීම
6. ගණනය කළ නොහැකි තරම් වාරයක් ප්‍රාදේශීය රාජ්‍යත්වයට පත්වීම
7. උපන් සෑම තැනකම අවශ්‍යතාව පරිදි ආලෝකය ලැබීම
8. කිසිවකුට පරාජය කළ නොහැකි දිනන්නකු වීම
9. ඉතා පැහැදිලි පෙනීමක් ඇතිවීම 10. ශරීරය ප්‍රභාවත් වීම
11. දෙව්ලොව දී සහ අරහත්වයට පත් වූ ජීවිතයේ දී අසමාන දිවැස් ලැබීම
12. ත්‍රිවිද්‍යාවන් ලැබීම
13. සතර පටිසම්භිදා ඤාණ ලැබීම
14. අෂ්ට විමෝක්ෂයන් ලැබීම
15. ෂඩ් අභිඤ්ඤාවන් ලැබීම
ආදී ආනිසංස රාශියක් පහන් පූජාව හේතුකරගෙන එතුමාට හිමිවිය.ඕනෑම පූජාවක් සිදුකළ යුත්තේ ඤාණ සම්පයුක්ත මහා කුසලයක් රැස්වෙන පරිද්දෙනි. ඒ සඳහා පිනෙහි ආනිසංස ද ගාථාවන්හි අර්ථ ද මනාව පුහුණු විය යුතුය. එසේම පහනේ දැල්ල තමා දෙසට හැරිය යුතුද? බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව දෙසට හැරිය යුතුද? ආදී තේරුමක් නැති ප්‍රලාප නොසිතිය යුතුය. පහන් පූජාවේ සැබෑ අරුත ආලෝකය පූජා කිරීම මිස පහන් දැල්ල පූජා කිරීම නොවනා බැවිනි. බොහෝ දෙනෙක් පහන් පූජා කරන්නේ පහත ගාථාවෙනි.
‘ඝනසාරප්පදිත්තේන
දීපෙන තම ධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමී තමෝනුදං ‘
මෙහි අන්තර්ගත අර්ථය මෙසේය.
‘කපුරෙන් දල්වන ලද අඳුර දුරුකරන පහනෙන්, තුන් ලෝකයකම මෝහාන්ධකාරය දුරුකළ ප්‍රඥා ආලෝකය වූ සම්බුදුරජාණන් වහන්සේ පුදමි’ යන්නයි. මෙය පොල්තෙල් පහන් පූජා කිරීමට භාවිත කරන ගාථාවක් නොවේ. කපුරු දල්වා පිදීමට භාවිත කරන ගාථාවකි.
සුවඳ තෙලින් හෝ පොල්තෙලින් දැල් වූ පහනක් නම් එය පූජා කිරීමට මෙම ගාථාවේම පළමු පදය පමණක් මෙසේ සකසා ගත යුතුය.
‘ගන්ධතේලප්පදිත්තේන’
(සුවඳ තෙලින් දැල් වූ …) වශයෙනි.
විදුලි බුබුළු, විදුලි පහන් පූජා කරන්නේ නම්
‘විජ්ජුල්ලතා පදිත්තේන ‘
(විදුලියෙන් දැල් වූ…)
වශයෙන් සකසා ගත යුතුය.
ඕනෑම ආලෝකයක් පූජා කිරීමට.
‘සද්දාය සම්පදිත්තේන’
( ශ්‍රද්ධාවෙන් දැල් වූ …)
යනුවෙන් මුල් පදය සකසා ගාථාව භාවිත කළ හැකිය.
අතිපූජනීය රේරුකානේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ පුණ්‍යෝපදේශය පොතෙහි පහන් පිදීමට ගාථාවක් දක්වා තිබේ.
‘වෙනේය හදයේ මෝහ
තමොක්ඛන්ධ විනෝදකං
දීපේනේතේන පූජේමි
පඤ්ඤාදීප ධරංජිනං ‘
‘විනේය ජනයන්ගේ සිත්වල අවිද්‍යා අඳුර දුරුකරන, ධර්මය නමැති ප්‍රඥා ප්‍රදීපය දරන, පස්මරුන් දිනූ බුදුරජාණන් වහන්සේට මේ පහන් ආලෝකය පූජා කරමි.’
යන්න එහි අදහසයි.
කෙසේ හෝ අවබෝධයෙන් තොරව අර්ථය නොදැනීමෙන් සිදුකරන පූජාවෙන් ඇතිවන්නේ ඤාණවිප්පයුක්ත දුර්වල කුසලයකි. එයින් සුගතියක උපන්නත් ධර්මය අවබෝධ කරන්නට අවශ්‍ය වූ ගැඹුරු නුවණ නොලැබේ.
එබැවින් සසර දුකින් මිදීමට අපේක්ෂා කරන සියලු පින්වතුන් ඤාණ සම්පයුක්ත කුසල් රැස් කිරීම පිණිස ගාථාවන්හි සහ එම පූජාවන්හි අර්ථ හා ආනිසංස දැනගෙනම ඒවා කළ යුතු යුතුවෙයි.
පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි.
( ආණමඩුව , කොට්ටුකච්චිය සිරි උපාලි ධර්මාශ්‍රමාධිපති, ත්‍රිපිටකාචාර්ය ,
ත්‍රිපිටක විශාරද , ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය,
සද්ධර්ම කීර්ති ශ්‍රී කර්ම වාගාචාර්ය,
රාජකීය පණ්ඩිත)