“මැරෙන්න එපා. ඇස් අරින්න… ඇස් අරින්න” මේ හද කම්පා කළ වචන කිහිපය මුමුණන්නේ බාල සහෝදරයන් දෙදෙනාව තුරුලු කරගත් වයස අවුරුදු 12ක්වත් කිව නොහැකි වැඩිමහල් සොහොයුරායි.
කෙළිදෙළෙන්, සහෝදරකමින් උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලේ ඇඳක් උඩට වී සිටින මෙම දරුවන් තිදෙනාව වෛද්‍යවරුන් පරීක්ෂා කර බලන්නේ විසක් ශරීරගත වී ඇත්දැයි යන සැකයෙනි.
තැලසීමියාවෙන් මියගිය සිය සැමියාගේ දේහය නිෙවසේ තිබියදීම සිය දරු තිදෙනා සමඟ වස පානය කළ කාන්තාවක් පිළිබඳ මේ ඛේදනීය පුවත වාර්තා වෙන්නේ උඩුදුම්බර ප්‍රදේශයෙන්.
“මල්ලිලා හිටියේ නිදාගෙන. මාත් නිදාගෙන හිටියේ. අම්මා ඇහැරවලා කෝප්පයකින් අරගෙන හැන්දකින් කිරි දුන්නා. මම කටින් එළියට දැම්මා. ඒ කිරි නෙමෙයි කියලා. කිරිවලට මොනවද දාලා. තිත්ත රසක් ආවා. මම කිවුවා මේවා කිරි නෙමෙයි කියලා. ඊට පස්සේ අම්මා ඒක බිව්වා. ඊට පස්සේ අම්මා ඇඳට වැටුණා.”
මල් වන් මේ දරුවන් පිටුපස ඇති කතාව බොහොම අවාසනාවන්ත එකකි. මේ දරුවන් තිදෙනාම තැලසීමියා රෝගයෙන් පෙළෙන අතර, මීට දෙදිනකට පෙර දරුවන්ගේ පියා මියයන්නේත් තැලසීමියා රෝගයෙන්.
එවන් පසුබිමකයි 34 හැවිරිදි මව සිය දරු තිදෙනාටත් වස දී වස පානය කර තිබුණේ. ඇය මානසික රෝගයකින් පෙළුණු බවත්, ඇයගේ ඥාතීන් සඳහන් කර තිබුණා. මව ජීවිතයෙන් සමුගත්තත් වාසනාවකට දරු තිදෙනාගේ දිවි ගැලවී තිබුණා.
ප්‍රශ්නය කුමක් වුවත්, දැනෙන පීඩනය කුමක් වුවත් තමන්ගේ ජීවිතය වගේම දරුවන්ගේ ජීවිතත් බිල්ලට දිය හැකි ද? මේ ඒ පිළිබඳ අදහස් දක්වන්නේ මනෝ විශේෂඥ සුමුදු වීරවන්නි.
මේ සිද්ධිය වළක්වාගන්න තිබුණ සිද්ධියක් විදිහටයි මම දකින්නේ. මේ මව හැසිරුණ විදිහ, එයාගේ ක්‍රියාකලාපය ගැන ගත්තොත් වැඩි දෙනෙක් දකින්නේ මෙය මවගේ වරදක් විදිහටයි. “එයාට තව ඉවසන්න තිබුණා. දරුවන්ගේ ජීවිත නැති කරන්න එයාට අයිතියක් නැහැ. ජීවිතය නැති කරගන්න තරම් ප්‍රශ්නද මේවා”. ඒ වගේ ගොඩක් දොස් පැවරීම් තමයි අපිට සමාජයෙන් මේ වගේ සිද්ධියකින් පස්සේ අහන්න ලැබෙන්නේ.
කායික රෝගී තත්ත්වය
හැබැයි මේ සිද්ධිය ගැන අපි වෙනම විදිහකට බැලුවොත් ඇත්තටම ඇය අවදානමක හිටපු බවට සාධක ගොඩාක් පෙනෙන්න තියෙනවා. මූලික වශයෙන් ගත්තොත් ඇයගේ සැමියාගේ කායික රෝගී තත්ත්වය. ඊළඟට ජානමය බලපෑමත් එක්ක ඔවුන්ගේ දරුවන් තුන්දෙනාමත් ඒ රෝගයට ගොදුරු වෙලා තියෙනවා. ඇය මානසික රෝගයකින් පෙළෙන බවත් මේ සිද්ධියේදී අනාවරණය වෙනවා. ඒ වගේම පවුල් පසුබිම දිහා බැලුවම ආර්ථික ගැටලුවලිනුත් මිරිකිලා සිටිය බවක් පේන්න තියෙනවා. සැමියට තිබුණ රෝගී තත්ත්වය අනුව, ඔහුට තිබුණ කායික ශක්තිය අනුව ඔහුගේ රැකියාව වුණත් හරියට කරගන්න බැරි වෙන්න ඇති.
ඉන්නෙත් අවුරුදු අවුරුදු 5 – 12 අතර දරුවෝ තුන්දෙනෙක්. එතකොට දරුවන්ගේ වියදම්, සැමියාගේ රෝගී තත්ත්වය අනුව ඔහුගේ බෙහෙත් හේත්, දරුවන්ගේ පෝෂ්‍යජනක ආහාර… මේ හැමදේම එක්ක බලද්දී, ගොඩාක් ආර්ථික ගැටලුවලට ඇය දීර්ඝ කාලයක් භාජනය වුණා කියන එක කතාව අහන ඕෙනම කෙනෙක්ට තේරෙනවා.
ප්‍රතිකාර මඟහැරීම
ඊළඟට තියෙන විශේෂම කාරණය තමයි රෝග විනිශ්චයක් හරි, ප්‍රතිකාර ලබාගත් කාලයක් හරි ගැන සඳහන් නොවුණත් අපි දන්නවා ඇය කිසියම්ම මානසික රෝගී තත්ත්වයක හිටියා කියලා. එතකොට රෝගී සැමියෙක් බලාගනිද්දි එයාගේ ප්‍රතිකාරවලට යුහුසුලු වෙද්දී කුඩා දරුවෝ තුන්දෙනෙක් බලාගන්නත් ඇය වෙහෙසෙද්දී එයාට එයාව මඟහැරෙන්න ඇති. මම කාට වුණත් කියන්නේ තමන්ට තමන්ව මඟහැරෙන්න දෙන්න එපා කියලා. මම හිතනවා ඇය රජයේ රෝහලකින් මානසික රෝගයට ප්‍රතිකාර ගන්න ඇති කියලා. ඒ නිවෙසේ තිබුණ තත්ත්වයත් එක්ක එයාට ඒ දේවල් මඟහැරෙන්න ඇති. තමන්ගේ රෝගී තත්ත්වයක් ගැන වෙහෙසෙන්න එයාට කාලයක් තිබුණේ නැහැ. නමුත් එයා ඊට වඩා එයාගේ පවුල ගැන වෙහෙසෙන්න ඇති.
මානසික පීඩනය
සැමියා හදිස්සියේම ජීවිතෙන් සමුගන්න බව ඇය කිසිවිටෙක නොසිතන්න ඇති. ඇය ඒ දේ බලාපොරොත්තු නොවෙන්න ඇති. ඒ දේ වෙනකොට පීඩාකාරි පරිසරයක ඇය දිගු කාලයක් ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම ඇගේ මානසික රෝගයට ප්‍රතිකාරත් මඟහැරලා තිබුණ පසුබිමක තමයි ඔහුගේ හදිසි වියෝව වෙන්නේ. ඔහුගේ වියෝවෙන් ඇය දැඩි ලෙස කම්පනයකට පත් වෙන්න ඇති. උහුලගන්න බැරි තනිකමක් ඇයට දැනෙන්න ඇති. සැමියකුත් නැතුව පොඩි දරුවෝ තුන්දෙනෙක් රැක බලා ගන්න එක ගැන ඇය හිතන්න ඇති. මේ වෙලාවේ මුදල් ඉපයීම ඇයට තනිවම කරට ගන්න වුණ වෙලාවක්. තාත්තා නැති දරුවෝ තුන්දෙනා ඇයගේ ඇගේ වෙළෙනකොට “මේ වගේ වගකීමක් මට දරන්න පුළුවන් ද? මට මේ ශක්තිය තියෙනව ද?” ඒ සිතුවිලි තදින් දැනෙන්න ඇති. ඒකෙන් හිතට අධිකව දැනෙන මානසික පීඩනයත් එක්ක සියදිවි නසාගැනීම තමයි තමන්ට තියෙන එකම විසඳුම කියන එක හිතට නැඟෙන්න ඇති. තමන් විතරක් මැරුණොත් දරුවෝ තුන්දෙනෙක් තනි වෙනවා කියන එකත් ඇය හිතන්න ඇති. ඊට පස්සේ හිතන්න ගන්නවා මං යනකොට මගේ දරුවෝ තුන්දෙනාවත් අරගෙන යනවා කියලා.
අනික මේ වෙලාව ගෙදර අවමංගල්‍යයකට ලෑස්ති වෙන වෙලාවක්. මිනිස්සු හරි කලබලෙන් එහෙට මෙහෙට යන්න ඇති. ඒ අතර ලොකු පිරිසක් මැද සද්ද බද්ද මැද එයාව හැමෝටම මඟහැරිලා තියෙනවා. එයාගේ හිත හැදෙන්න වචනයක්.. ජීවත් වෙන්න සහනයක් බලාපොරොත්තුවක්, ඉඟියක් එයාට ලැබුණද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එයාට තිබුණ මානසික රෝගයත් එක්ක මේ ඇති වුණ තත්ත්වය එයාව ලොකු මානසික අවදානමකට යොමු වෙලා තියෙනවා. එයා ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ කියලා පවුලේ කාටවත් අවධානයක් තිබුණේ නැහැ.
මනසට සුවයක්
දැන් එයා ජීවිතයෙන් සමු අරගෙන ඉවරයි. සියල්ල හමාරයි කියලා හිතුවට දරුවෝ තුන්දෙනෙක්ට මවුපිය රැකවරණය ඒ හැමදේම අහිමි වෙනවා. අපි කාටත් මේ වගේ අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. ශාරීරිකව අපිට දැනෙන වේදනා, කැපුම් තුවාලයක් වගේ නම් කරන්න ඕනේ දේ අපි දන්නවා. ඒත් හැබැයි මනස රෝගී වුණහම ඊට කළ යුතු දේ ගැන අපි දැනුම්වත් ද? කය ලෙඩ වෙනවා වගේම මනසත් ලෙඩ වෙනවා. හැබැයි අපි කයට දෙන සැලකිල්ල මනසට දෙනව ද? ඒ නිසා මනස ලෙඩ වුණාම දෙන ප්‍රථමාධාර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හදිස්සියකදී ඔයා කාටද කතා කළ යුත්තේ කියන දුරකතන අංක කිහිපයක් ඔයා ළඟ තියෙන්න ඕනේ. ඒකට මානසික රෝගයක් තියෙන්නම ඕනේ නැහැ. හැබැයි මානසික රෝගයක් තියෙන කෙනෙක් විශේෂයෙන්ම ඒ ගැන හිතන්න ඕනේ.
වර්තමානය දිහා බැලුවම ලොකු පිරිසක් අතර තමන් තනිවෙන අවස්ථා කාට වුණත් තියෙන්න පුළුවන්. ඒ නිසා මගේ මනසට මොකක් හරි කරදරයක් තියෙනවා නම් මම උදවු ගන්න ඕනේ කොතැනින් ද කියලා හිතලා දුරකතන අංක කිහිපයක් ළඟ තියාගන්න. එහෙම නැති වුණොත් ඒ මොහොතට දැනෙන අසරණ බව වඩාත් තියුණු වෙලා ඊළඟ මොහොතේ එයා ජීවිතය අත්හරින්න සූදානම් වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒක හරිම වටිනා කාලයක්. ඒ නිසා ඒ මොහොතට දැනෙන පීඩනය තනිව දරා ගන්නේ නැතුව ඒ අවශ්‍ය උදවු ගන්න.
කොහොම හරි මේ සිද්ධිය නිසා ලෝකයක් ඉස්සරහ තනි වුණේ හයක් හතරක් නොදත් පුංචි දරුවන් තුන්දෙනෙක්. ඔවුන්ව බලාගන්න දැන් ඥාතීන් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි ඒ අම්මා ඒ වගේ තීරණයක් ගන්න කලින් ඒ නැන්දා මාමලා, සහෝදර සහෝදරියන්ට කියන්න පුළුවන් වුණා නම් “දරුවන්ගේ තාත්තා නැති වුණාට බය වෙන්න එපා. අපි ඉන්නවා ඔයා වෙනුවෙන් ඕෙන දේකට කියලා.” මේ අම්මා එහෙම තීරණයක් නොගෙන ඉන්නත් තිබුණා. ඒ නිසා සමාජමය වශයෙන් අනෙක් අයටත් වගකීමක් තියෙනවා.
දරුවන් වෙනුවෙන් කාලයක්
ළමයි වෙනුවෙන් කාලයකුත් ඒ අයට තියෙන්න නැතුව ඇති. ඒ නිසා දරුවොත් එක්ක ගත කරන කාලය ගුණාත්මක කාලයක් වෙන්න ඕනේ. ඒ කාලය එක දවසකට විනාඩි 10ක් වෙන්න පුළුවන්. ඒ පුංචි කාලයත් හොඳටම ඇති. මොන කරදර තිබුණත් අම්මා පුතත් එක්ක ඉන්නවා. තාත්තා පුතත් එක්ක ඉන්නවා. ඒ වගේ දරුවන්ට රැකවරණය, ආරක්ෂාව අම්මා තාත්තා ළඟ තියෙනවා කියන හැඟීම දනවන්න මවුපියන්ට පුළුවන්. ඒකට ලොකු වියදමක් දරන්න ඕනේ නැහැ. ලොකු කාලයක් වෙන් කරන්න ඕනේ නැහැ. හවසට අම්මා තාත්තා වැඩ ඇරිලා ගෙදර ගිහින් දරුවාගේ ඇස් මට්ටමේ ඉඳගෙන විනාඩි 5ක් කතා කළානම් ඇති. එතකොට එයාලා හිතනවා අම්මා තාත්තාට කොච්චර වැඩ තිබුණත් මං වෙනුවෙන් කාලයක් තියෙනවනේ කියලා. දරුවෙක්ට අම්මා තාත්තා නැතිවෙනවා කියන එක තරම් ඛේදවාචකයක් තවත් නැහැ. ඒ වගේම අම්මා තාත්තා මොකක් හරි මානසික රෝගයකින් පෙළෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ලබා ගන්න. නැත්නම් ඒ හැමදේටම වන්දි ගෙවන්න වෙන්නේ මේ පුංචි මල් කැකුළුවලට.
උපදෙස්
මනෝ විද්‍යාඥ සුමුදු වීරවන්නි
MSc (Clinical &
Health Psych.) UK GMBPsS