Saturday, October 18, 2025
Epaper
Home නවකතාවඔයා කෙළින් තීරණයක් ගන්න

ඔයා කෙළින් තීරණයක් ගන්න

by Thanushika

වසරකටත් වැඩි කාලයක් තිස්සේ නිගූ කහතුඩුවේ ගෙදරට ආගන්තුකයෙක් වී සිටියි. තමා එහි යන්නේ සාරා නිසා පමණක් බව අම්මා ද දනියි.

පසුගිය සති අන්තයක නිගූ සාරා බලන්නට ගිය විට ගේට්ටුවෙන් ඇතුළු වෙත්ම කිසියම් වෙනසක් වී ඇති බව නිගූට දැනෙයි. තාප්පය අයිනෙහි තිබුණු කරඳ ගස කපා දමා තිබෙයි. එය තමා ඉතා ආසාවෙන් සිටු වූ කරඳ ගසකි. කරඳ ගස් හෙවණේ බංකුවක් තියන්නටත්, හැන්දෑ වරුවල එහි සිට පොත පත කියවන්නටත් ඔහු ආසා කළ අතීතය සිහිපත් වෙයි. වත්ත වටේටම වැවී ගෙයි බිත්ති පවා අතපත ගාන්නට තරම් ළං වී තිබුණු වැල් ගාල කැපී තිබෙයි. ගරාජයේ මුල්ලක ගොඩ ගසා තිබුණු පරණ පොත්, පත්තර ගොඩවල් ඉවත් වී සුද්ද බුද්ද වී තිබෙයි. නිගූ ඒ දෙස විමතියෙන් බලන විට සාරා යමක් තේරුම් ගනියි.

” අශාන් අන්කල් ඇවිත් ඔක්කොම සුද්ද කළා ..දැන් ශෝක් නේද තාත්තී.. තාත්තිට ඉතින් හැමදාම වැඩ නිසා අමාරුනේ..”

විසල් සන්දර්භයකින් යුත් අපූර්ව ප්‍රබන්ධයක් ගෙතෙමින් ඇති බව නිගූට වැටහෙයි. ගේ පුරාම සර්ප හැවක සුන්බුන් ඇත්දැයි නොසිතාම පිරික්සෙයි. තමා මේ නිවෙසට කොතරම් ආගන්තුකයකු වී ඇත්දැයි සිතෙයි.

අම්මාත්, පුතාත් බත් කා බැල්කනිය අසල පුටු දෙකක වාඩි වෙයි. වෙල් යායත්, ඊට එපිටින් ඇති දෙණිපෙතත් අවු රශ්මියෙන් නැහැවෙයි. එය ගමත්, නගරයත් වෙන් කෙරෙන ඉම් රේඛාවක් බඳු යැයි නිගූට සිතෙයි.

සන්ධ්‍යා වනිගසුන්දර මේ නිමේෂය බොහෝ කල් සිට සොයමින් සිටි එකකි. නිගූ සමඟ කලබලයක් නැතිව කතා කරන්නට පුළුවන් වීම ඇයට සතුටකි. එකෙල මෙකෙල වෙමින් තිබෙන නිගූගේ ජීවිතයට හසරක් සොයා දිය හැකි දැයි ඈ සිතයි. මෙතෙක් තම පුතු ආ ගමන ගැන ඇයට ආඩම්බරයි. ඇයට නිගූ වන් පුතෙකු සිටීම සැනසීමකි. එහෙත් දැන් සිටින තත්ත්වයෙන් ඔහු ගලවා ගත යුතුය.

” නිගූ දැන් ඔයා කෙළින් තීරණයක් ගන්න ඕනෙ.. මම කැමැති නෑ ඔයා මෙහෙම තනිකඩයෙක් වගේ ජීවත් වෙනවට.. ඔයාගේ තත්තාගේ ජීවිතෙත් ඔහොම කෑල්ලක් තිබුණා.. ඒත් ටික කාලෙකට ඒක මං නිසා වෙනස් වුණා..”

අම්මා මඳ වෙලාවක් නිහඬ වෙයි. නිගූගේ ඇස් දෙණිපෙත් ඉමේ සැරිසරයි.

“නිගූ ඔයා තීරණයක් ගන්න ඕනෙ.. ඔයාට ඉන්න බැරිනම් ඔයා කාංචනාගෙන් නීතියෙන්ම අයින් වෙන්න..”

“ඒ කිව්වෙ අම්මා..”

“ඒ කිව්වෙ ඔය දෙන්න ඩිවෝස් වෙන්න.. මං කැමැති නෑ දරුවෙක් හින්දවත් මෙහෙම තැවි තැවී ජීවත් වෙනවට..”

අම්මාගේ වචනවල වෙන කවරදාකවත් නොතිබුණු හයියක් සහ විශ්වාසයක් ඇතැයි නිගූට සිතෙයි.

නිගූට කාංචනාගෙන් වෙන් වෙන්නැයි අම්මා යෝජනා කරන්නේ හදිසියේ හටගත් හැඟීමක් නිසා හෝ පෙලඹවීමක් නිසා නොවන බව නිගූ දනියි. අවුරුද්දකටත් වැඩි කාලයක් නිගූ ගෙදරින් දුරස්ව සිටින අයුරුත් කාංචනාගේ හැසිරීමත් ගැහැනු ඉවකින් නිරීක්ෂණය කිරීමෙන් පසු අම්මා මේ තීරණයට එළඹෙන්නට ඇති බව නිගූ දනියි. ” මම නම් කැමැති නෑ ඔයා දරුවෙක් හින්දවත් මෙහෙම තැවි තැවී ජීවත් වෙනවට ” යනුවෙන් අම්මා කියූ දෙයම දිනක් සාලින්ද අයියා ද කී බව ඇල්කොහොල්මය මීදුමාරයේ කිඳී ගිය මතකයක්ව තිබී ඇවිළෙයි.

“මං උඹට එක දෙයක් කියන්නම්. මං කැමැතියි උඹව හරියටම තේරුම් ගත්ත ගෑනියකුගේ ආදරේ උඹ විඳිනවට.. ළමයා හින්දවත් උඹ ජීවිතේ විඳවනවට මම නම් කැමැති නෑ..”

නීතියෙන් වෙන් වී මවුපියන් දෙපසට වී ගිය පසු ඔවුන්ගේ දරුවන් එය දරා ගන්නේ කෙසේදැයි යන්න නිගූ පාසලේ හය වසරේ දී පමණ සිතූ දෙයකි. හයේ පන්තියේ දී හමු වී මේ වනතුරුත් පයුරු පාසානයේ යෙදෙන පියල් ඒ කාලයේ පටන් “අපේ අම්මයි, තාත්තයි ඩිවෝස් වුණා” යන්න නොපැකිළ කියයි. සමහර සිකුරාදා දවස්වල පියල් තාත්තා දකින්නට පෙරමඟ බලා සිටින්නේ, ” අද මාව ගන්න එන්නෙ අපේ තාත්තා”යි උජාරුවෙන් කියමිනි. එහෙත් එදවස පියල්ගේ පවුල තුළ සිදුවෙමින් තිබුණු දේ නිගූට නොවැටහෙයි. තාත්තා දැකීමෙන් පියල්ට අමුතු සොම්නසක් උපදින්නේ තාත්තා වෙනම ගෙදරක සිටින නිසා බව නිගූ පසුව දැන ගනියි. සුබෝධාරාම ළමා නිවාසයේ සිට පාසලට එන ළමයි පෝලිමෙන් හයේ පන්ති පැත්තට හැරෙන සම්පත්, නිගූට එහා ඩෙස් එකේ සිටින මිතුරා වුවද කිසි දිනෙක ඔහුගේ අම්මා ගැනවත් තාත්තා ගැනවත් සඳහන් කර නැත.

නිගූට නිගූගේ තාත්තා සිහිපත් වෙයි. කුඩා කාලයේම තාත්තා නිගූව ගුවන් විදුලියට එක්ක යයි. තාත්තා වැඩසටහන් කරන තුරු තමා අනෙක් මැදිරියේ වීදුරු කවුළුවෙන් ඒ දෙස බලා සිටි අයුරුත් ඔහුට මතකයි. එහෙත් තාත්තා ගෙදර එනතුරු බලා සිටින පුරුද්දක් නිගූට කිසිදා තිබී නැත. ඇතැම් විට තාත්තා සතියක් තිස්සේ දකින්නට නොලැබෙයි. අම්මා ද ඒ ගැන කිසිවක් නොකියයි. තාත්තාගේ රස්සාව හා ජීවිතය සමඟ බැඳුණු වැඩ අතර ඔහු අතරමංව සිටින්නට ඇතැයි දැන් නිගූට සිතෙයි. තාත්තා කොපමණ දින ගණනක් පමා වී ආවද අම්මාත්, තාත්තාත් දබර කරගනු නිගූ කිසිදා දැක නැත. මීවිතෙන් මත්ව බමමින් පැමිණෙන ඇතැම් දවසක මැදියම වනතුරු සිංහබාහු නාට්‍යම ඔහු කටපාඩමින් ගයයි. එබඳු රැයකට පසුදින පමා වී අවදිවන තාත්තා නාන ළිඳ ළඟ ශවර් එක යටට වී රැවුල කපමින් කාරමින් පැයක් පමණ ගතකර ඇඳුම් මැදගෙන ඇඳගෙන යන්නට සූදානම්ව නිගූ පේන මානයක ඇත්නම් ” නිගූ පුතේ මං යනෝ..” කියයි. තාත්තා සදහටම ඔවුන්ගෙන් සමුගන්නා විට නිගූ සරසවියේ දෙවැනි වසරෙහි සිසුවෙකි. තාත්තාගේ මරණ සහතිකයෙහි මරණයට හේතුව ලෙස සඳහන් වූයේ “සිරෝසීස්” යනුවෙනි.

මවුපියන්ගේ වෙන්ව යෑම පිරිමි ළමයකුට දැනෙන විදිහට වඩා වෙනස් විදිහකින් ගැහැනු ළමයකුට දැනෙනවා ඇතැයි නිගූට සිතෙයි. අම්මාත්, තාත්තාත් නොයෙක් පලහිලව් පඹගාල්වල පැටලී උනුන් මරා ගන්නා තරම් අඬදබර කොට අවසානයේ වෙන්ව යන අවස්ථාවකදී පවා දරුවන් කැමැති වන්නේ අඬදබර කරමින් හෝ තම මවුපියන් එකට සිටින අයුරු දැකීමට නොවේදැයි ඔහුට සිතෙයි.

නිගූට සාරා මතක් වෙයි. රාස්සිගේ අව්ව හෙවණැලි මවන හැන්දෑ වරුවල ඈ ගෙතුළ මොනවා හෝ කපමින් අඳිමින් තනිව සෙල්ලම් කරමින් පාළුවෙන් සිටින අයුරු මැවී පෙනෙයි. බොහෝ දිනවල ඈ පාසල් ඇරී රෑ බෝ වනතුරු පන්ති ගොස් කාංචනා සමඟම ගෙදර එයි.

“අපි යමුද සාරා බලන්න.. අම්මව දැක්කම එයා සන්තෝස වෙයි.”

 

තවත් කොටසකින් හමුවෙමු

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?