Sunday, February 15, 2026
Epaper
Home විශේෂාංගනායකත්වය ඔබ නොනවතින මිනිසකු කරයි

නායකත්වය ඔබ නොනවතින මිනිසකු කරයි

by Thanushika

වේගයෙන් වෙනස් වන වර්තමාන ලෝකයේ, නායකත්වය තවදුරටත් ආයතනික කාර්යාල, රජයේ ආයතන හෝ විධිමත් බලතලවලට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒ වෙනුවට, එය ඕනෑම කෙනෙක්ගේ වයස, වෘත්තිය හෝ සමාජ තත්ත්වය නොසලකා අත්‍යවශ්‍ය ගු ණාංගයක් බවට පත්වෙලා තියෙනවා. සරලව, නායකත්වය යන්නෙහි අදහස අන් අයට ආශීර්වාදයක් වීම, දැනුවත් තීරණ ගැනීම සහ කෙනකුගේ වටපිටාවේ ධනාත්මක වෙනසක් ඇති කිරීමයි.

නායකයින් උපත ලබන්නේ සහජ හැකියාවන් සමඟ බව සමහරු හිතුවත්, පර්යේෂණ සහ අත්දැකීම් නිරන්තරයෙන් පෙන්නුම් කරන්නේ ඵලදායී නායකත්ව ගුණාංග කාලයත් සමඟ ඉගෙනීම සහ පුහුණව මඟින් වර්ධනය කළ හැකි බවයි. අම්මා නි‍ෙවස තුළ තමන්ගේ දරුවන්ගේ ජීවිත මෙහෙයවීම, ඔයා පාසල තුළ ශිෂ්‍ය නායකයෙක් හෝ නායිකාවක් වීම, ගමේ සමිතියක යම් කිසි නිලධාරී තනතුරක කටයුතු කිරීම පමණක් නෙවෙයි, ඔයා ඔයාව නිවැරදි දිශාවකට මෙහෙයවීම සහ ඔයාගේ ජීවිතේ නිවැරදි කළමනාකරණයක් සමඟ ඉදිරියට යන එකත් නායකත්වයේ එක් අවස්ථාවක්. පිරිසක්, රටක්, ලෝකයක් මෙහෙයවන්න, ශක්තියක් වෙන්න හැකියාව තිබුණත් තමන් නිවැරදි මාර්ගයේ මෙහෙයවා ගැනීම තමයි ලෝකයේ අසීරුතම නායකත්ව භූමිකාව. නමුත් අපි එය ජය ගත යුතුම අවස්ථාවක්. කෙසේ වෙතත් නායකත්ව ගුණාංග වර්ධනය කිරීම අපි අවට සිටින අයට ප්‍රයෝජනවත් වගේම, අපේ පෞද්ගලික වර්ධනය, විශ්වාසය සහ ජීවිතයේ අභියෝග අතර සාර්ථකව සැරිසැරීමේ හැකියාව ශක්තිමත් කරනවා.

අන්න ඒ නිසා, මේ නායකත්ව ගුණාංග ඔයාගේ ජීවිතේ පුරාවට පුහුණු කරන්න. වර්ධනය කරගන්න.

නිවැරදි දැක්ම සහ අරමුණක් සහිත වීම

සෑම ඵලදායී නායකයෙක්ටම පැහැදිලි දැක්මක් තියෙනවා. දැක්ම කියන්නේ අනාගතය දැකීම පමණක් නෙවෙයි, ඕනෑම ක්‍රියාවක් සහ ඉලක්ක‍යක් පිටුපස ඇති අරමුණ තේරුම් ගැනීම. දැක්මක් ඇති පුද්ගලයින්ට ක්ෂණික තත්ත්වයන් ඉක්මවා දැකීමට සහ අන් අයට නොපෙනෙන හැකියාවන් සිතින් මවා ගැනීමට හැකියාවක් තියෙනවා. ඔවුන් යම්කිසි කාර්යයක් හෝ ඉලක්කයක් අර්ථවත් වන්නේ මන්දැයි නිවැරදිව හඳුනා ගන්නවා. එදිනෙදා ජීවිතයේදී පවා, අරමුණ පිළිබඳ හැඟීමක් තිබීම තමන් ගමන් කරන දිශානතිය තේරුම් ගැනීමට අවස්ථාවක් ලබා දෙනවා වගේම ඔයාව අනුගමනය කරන කණ්ඩායම දිරිමත් කරන්නත් ඒක හේතුවක් වෙනවා. රැකියාවේ දී ව්‍යාපෘතියකට නායකත්වය දීම, ප්‍රජා මුලපිරීමක් සංවිධාන කිරීම හෝ පවුලේ උත්සාහයකට සහාය වීම වගේම ඔයාගේ ජීවිත ඉලක්කවලට පැහැදිලි කළ හැකි තේරුමක් තිබීමත් ඔයා නිවැරදි දැක්මක් ඇති පුද්ගලයෙක් බවට පත් කරනවා.

අඛණ්ඩතාව සහ අවංකභාවය සහිතව ක්‍රියාත්මක වීම.

විශ්වාසය කියන්නෙම සියලුම ශක්තිමත් සබඳතාවල පදනම. එය නොමැතිව කිසිදු නායකයකුට සාර්ථක විය නොහැකියි. සම වයසේ මිතුරන්, සගයන් සහ අනුගාමිකයින්ගේ ගෞරවය දිනා ගැනීම සඳහා අඛණ්ඩතාවයෙන් හා අවංකභාවයෙන් ක්‍රියා කිරීම මේ නිසා අත්‍යවශ්‍යයි . අඛණ්ඩතාව ඇති නායකයින් තම පොරොන්දු ඉටු කරනවා. වැරදි පිළිගන්නවා වගේම සාධාරණ හා විනිවිද පෙනෙන තීරණ ගන්නවා. කෙටිකාලීන වාසි හෝ පෞද්ගලික අවශ්‍යතා මඟින් ඔවුන් නොසැලී සිටින අතර, ඔවුන්ගේ සදාචාරාත්මක ප්‍රවේශය ඔවුන් නායකත්වය දෙන අය අතර පක්ෂපාතිත්වය සහ විශ්වාසය වර්ධනය කරනවා. ඉතින් ඔයත් කියන වචනෙ දෙපාරක් හිතලා කියන්න පුරුදු වෙන්න. කරනවා කිවුවොත් දෙයක් අන්තිම තත්ත්පරේ හරි ඒ දේ කරලා දෙන්න පුරුදු වෙන්න. විශ්වාසය මත ඔයාගේ ආත්මාභිමානය තව තවත් වර්ධනය වෙනවා වගේම ඔයා ඇතුළෙ ඉන්නේ නායකයා අනිත් මිනිස්සු අතරෙ ගෞරවයට ලක් වෙන්න ඒ පුංචි යහ පුරුද්ද හේතුවක් වෙනවා.

නිවැරදි සන්නිවේදන කුසලතා පුහුණු කර ගැනීමෙ

නායකත්වයේ වඩාත්ම තීරණාත්මක අංගයක් තමයි ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව. ඒකෙන් අදහස් වෙන්නේ, නියෝග ලබා දීම හෝ අදහස් ප්‍රකාශ කිරීම නෙවෙයි, ක්‍රියාශීලිව සවන් දීම සහ අන් අයගේ දෘෂ්ටිකෝණ තේරුම් ගැනීමේ හැකියාවයි. ශක්තිමත් සන්නිවේදකයින්ට තම දැක්ම පැහැදිලිව ප්‍රකාශ කරන්න. සංවාදය දිරිමත් කරන්න සහ හැම පුද්ගලයකුටම ඇසෙන සහ අගය කරන බවක් දැනෙන දෙයක් සමාජයට ලබා දීමේ හැකියාවත් තියෙනවා. හොඳ සන්නිවේදනයට අන් අයගේ හැඟීම් හඳුනා ගැනීමට සහ සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීමටත් පුළුවන්. වාචික සාකච්ඡාව, ලිඛිත පණිවුඩ හෝ වාචික නොවන ඉඟි හරහා වේවා, සන්නිවේදනය නායකත්වයේ මූලිකම පදනමක් විදිහට පවතින්නක්. ඒ හරහා සහයෝගිතාව සක්‍රිය කිරීම පුළුවන් වගේම වරදවා වටහාගැනීම් අඩු කිරීමටත්, ශක්තිමත් අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනැඟීමටත් අවස්ථාව ලැබෙනවා. අන්න ඒ නිසා, ඉවසිලිවත්ව සවන් දෙන්නෙක් සහ පැහැදිලිව අදහස් ප්‍රකාශ කරන්නෙක් වෙන්න. ඒ සඳහා ඔයා ඇතුළෙ පැහැදිලි අදහසක් හැමදෙයක් ගැනම හැම මොහොතකම තියාගන්න.

තීරණාත්මක බව සහ වගවීම සහිත පුද්ගලයකු වීම

ඵලදායී නායකත්වයක් සඳහා දැනුවත් හා කාලෝචිත තීරණ ගැනීමේ හැකියාව අත්‍යවශ්‍යයි. තොරතුරු ප්‍රවේශමෙන් ඇගයීමට ලක් කිරීම, ලැබෙන ප්‍රතිඵල සලකා බැලීම සහ අවිනිශ්චිත අවස්ථාවන්හිදී පවා විශ්වාසයෙන් ක්‍රියා කිරීම ජීවිතේ ඕනෑම මොහොතක අත්‍යවශ්‍ය දෙයක්. කෙසේ වෙතත්, තීරණාත්මක බව වගවීම සමඟ සමතුලිත විය යුතුමයි. ශක්තිමත් නායකයකු තම තීරණ සාර්ථක වුණත් නැතත්, ඒවායේ ප්‍රතිඵල සඳහා සම්පූර්ණ වගකීම භාර ගන්න කෙනෙක්. වගවීම නායකයෙක්ගේ පරිණතභාවය සහ අඛණ්ඩතාව පෙන්නුම් කරන හොඳ සාධකයක්. අන් අයට අනුගමනය කරන්න සපයන ආදර්ශයක්. ඔයත් නිරන්තර තමන් කරන දේට වගවීමක් තියෙන මනුස්සයෙක් වෙන්න. ඔයාට ලැබෙන හෝ නොලැබෙන දේවල් තව අයකුගේ වැරැද්දක් හෝ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස නොගෙන ඔයාගේ ක්‍රියාත්මක වීම්වල ප්‍රතිඵලයක් ලෙස භාර ගැනීමට තරම් ආත්ම විශ්වාසයක් සහිත අයෙක් වෙන්න.

අනුවර්තනය වීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත වීම

ජීවිතයේ හැම විනාඩියක්ම වෙනස් වන අතර ඒ වෙනස් වීම නොවැළැක්විය හැකියි. සමෘද්ධිමත් නායකයෙක් කියන්නෙම නව තත්ත්වයන්ට ඉක්මනින් හා ඵලදායී ලෙස අනුවර්තනය විය හැකි අයෙක්. අනුවර්තනය වීමේ හැකියාව නායකයින්ට අනපේක්ෂිත අභියෝගවලට නිර්මාණශීලිව සහ නම්‍යශීලිභාවය සහිතව ප්‍රතිචාර දැක්වීමට ඉඩ සලසන්නක්. අනෙක් අතට, ඔරොත්තු දීමේ හැකියාව ඔවුන්ගේ අභිප්‍රේරණය අඩු නොකරන බව හෝ ප්‍රගතියට බාධාවක් නොවන බවට වන සහතිකයක්. මෙම ගුණාංගය පුහුණු කළ නායකයින් දුෂ්කර කාලවලදී පවා ධනාත්මකව බලාපොරොත්තු සහිතව සිටින්නන්. ලෝකයේ බොහෝ කඩාවැටීම් ජයග්‍රහණයක් දක්වා ගෙන යෑමට මේ හැකියාව උපකාරී වී තිබෙනවා. අභියෝග කියන්නෙම බාධකවලට වඩා වර්ධනයට සහ නවෝත්පාදනයට ඇති අවස්ථාවක් බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. ඔබේ ජීවිතයෙත් වෙනස් වීම්, බාධා අලුත් අවස්ථාවක් කරගන්න. ඝෘතුවලට අනුව ජීවිතේ හැඩගස්වාගන්න අපිට ජීවිතේ කඩාවැටීම්වලට ශක්තිමත්ව මුහුණ දෙන්න ඒ පුහුණුව ප්‍රායෝගිකව ලැබෙන අවස්ථාවක්.

ආදර්ශයෙන් මඟපෙන්වීමට හැකි වීම

නායකත්වයේ වඩාත් බලගතුම දේ ආදර්ශයෙන් මඟපෙන්වීමයි. තමා වටා සිටින මිනිසුන් තම වචනවලට අනුකූල වන ක්‍රියාවන් අනුගමනය කිරීමට වැඩි ඉඩක් තියෙන නිසාවෙන්ම කැපවීම, කඩිසරකම සහ සදාචාරාත්මක හැසිරීම් පෙන්නුම් කරන නායකයින් අන් අයව දිරිමත් කරන්නන් වෙනවා. ඔයාටත් පුංචි කාලේ ඉඳලම ආදර්ශයට ගන්න පුද්ගලයෙක් ඉන්න ඇති. ඔයා ආදරේ කරන, ඔයාට විශ්වාසයක් හැදුණ පුද්ගලයින් ඉන්න ඇති. ඒ වගේ කෙනෙක් වෙන්න ඔයා ආසා කරන්න ඇති. අන්න ඒ ඔවුන්ගේ හැසිරීමේ බලවත්කමයි. ආදර්ශයෙන් මඟපෙන්වීම විශ්වසනීයත්වය සහ ගෞරවය ද පෝෂණය කරනවා වගේම නායකත්වය, අන් අය කෙරෙහි බලය ක්‍රියාත්මක කිරීම නොව ඔවුන්ට මඟපෙන්වීම, සහාය දීම සහ ආස්වාදයක් ලබා දීම බව තහවුරු කරනවා. ඒ සඳහා අපි කතා කළ සියලුම කරුණු උපයෝගී වෙනවා.

ඔයත් නිවැරදි දැක්මක් සහිත, අරමුණු – ඉලක්ක පැහැදිලිව තියාගත්ත කෙනෙක් වෙන්න. අභියෝගයන්ට අභියෝගයක් වෙන ගමන් ජීවත් වෙන්න. තව කෙනකු මත වරද පටවන්නෙක් වෙනුවට තමන්ගෙන් වරදක් නොවීමට වගබලා ගන්න. ඔයාගේ පවුල, ඔයා වටා රොක් වෙන පුංචි නංගිලා, මල්ලිලාට ජීවිතේ අරමුණු බලාපොරොත්තුවලට යන්න මඟපෙන්වන සුහදශීලි මනුස්සයෙක් වෙන්න. නායකයෙක් වෙන්න රටක ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියාම වීමට අවශ්‍ය නැති බව සිහි තබාගන්න. ඔයා පුහුණු කරන නායකත්ව ගුණාංග ඔයාගේ ජීවිතේ ශක්තිමත් වගේම උසස් තැනකට ඔයාව ඔසවා තබාවි. විශ්වාස කරන්න! ජීවිතේ නඟින ඉණිමඟක් බව! නොනවත්වා ගමන් කරන්න, ඔයාගේ බලාපොරොත්තු සැබෑවක් කරගන්නා ඉලක්කයන් වෙත !

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?