Monday, October 13, 2025
Epaper
Home විශේෂාංගභික්ෂුවට මිනී මස් දුන් කතක්

භික්ෂුවට මිනී මස් දුන් කතක්

by Thanushika

බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ බරණැස් නුවර සුප්පියා නම් සැදැහැති උපාසිකාවක් වාසය කළාය. ඈ සෝතාපන්න වූ ආර්ය ශාවිකාවකි. ඇගේ සැමියා සුප්පිය උපාසක නම් විය.

බුදු දහම ඇසුරින් ජීවිතයේ යථාර්ථය වටහාගත් මොවුහු ඉමහත් ගෞරවයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට උපස්ථාන කළහ. ආවාසයෙන් ආවාසයට ගොස් භික්ෂුන් වහන්සේගේ සුව දුක් විමසා බැලූහ. ගිලන් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය වන බෙහෙත්, ආහාරපාන ආදිය නිරන්තරයෙන්ම සපයා දුන්හ.

දිනක් උදෑසනක සුප්පියා උපාසිකාව සංඝයා වහන්සේලාගේ සුවදුක් විමසා බැලීමට වෙහෙරට ගියාය.

ඒ ගිලන් භික්ෂුන්ට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සලසා දීමේ අදහසිනි.

එහි දී භික්ෂුන් වහන්සේලා අතර දැඩි සේ ගිලන් වූ එක් භික්ෂුන් වහන්සේ නමක් දක්නට ලැබිණි.

ඈ එතුමන් වහන්සේට ඉමහත් ගෞරවයෙන් වන්දනා කොට සුවදුක් විචාළීය. දානයට වැලඳීමට සුදුසු දෙයක් විමසා සිටියාය.

එම භික්‍ෂුව ඒ වනවිට විරේචනයක් සිදුකර තිබුණි. විරේචනයෙන් අනතුරුව වැලඳීමට සුදුසු වන්නේ මස් රසයක් බවට වෛද්‍ය උපදෙස් ලැබී තිබුණි. භික්ෂුන් වහන්සේ උපාසිකාවට ඒ බව දැන්වූ සේක.

කැප වූ මස්්‍ රසයක් පිළියෙල කර ගෙනෙන්නෙමැයි පොරොන්දු වූ ඇය තම නි‍ෙවසට කඩිනමින් පැමිණියාය.

වස්තු, දේපළ, සම්පත් සහිත ධනවත් නි‍ෙවසක ජීවත් වූ ඇය තම සේවකයකුට ඇමතුවාය.

භික්ෂුන් වහන්සේ නමක් විහාරයේ ගිලන්ව ඇති බවත්, උන්වහන්සේට මසින් පිසූ ආහාරයක් ‍සුදුසු වන බවත්, ඒ නිසා වෙ‍ළෙ‍ඳපොළට ගොස් කැප වූ මාංසයක් රැගෙන එන ලෙසත් පැවසුවාය.

බුදු දහම සත්ත්ව ඝාතනයට බෙහෙවින්ම විරුද්ධ දහමකි. සියලු සත්ත්වයින්ට තමාට හා සම සිතින් මෛත්‍රී කිරීමම උගන්වා වදාරයි. එබැවින් කිසි තැනක කිසිවකුට හිංසා කිරීමට ඉඩක් බුදු දහමෙන් ලැබී නැත.

බුදු දහම තුළ කර්මය තීරණය වන ප්‍රධාන තීරකය ලෙස පෙන්වන්නේ චේතනාවයි. චේතනාව අපිරිසුදු වූ විටක සිදුකරන ක්‍රියාව අකුසලයක් වන අතර, චේතනාව පිරිසුදු නම් එය කුසලයකි.

භික්ෂුන් වහන්සේලා දානය වළඳන්නේ බඹසර හැසිරීමටත් නිවන් දක්නා තෙක් ජීවත්වීමටත් අවශ්‍ය උපකාරකය ලෙස සලකාය. එහිදී දානය උන්වහන්සේලාට ලැබෙන්නේ ද අන්‍යයන්ගෙනි. පිඬුසිඟා වඩිනා සමහර භික්ෂුවකට නිර්මාංසික දානයක් ලැබෙන අතර සමහර භික්ෂුවකට මාංස සහිත දානයක් ද ලැබීමට ඉඩ තිබේ.එවිට එම මාංස සහිත ආහාරය වැළඳීමට භික්ෂුවට ඉඩකඩ ලැබෙන්නේ කාරණා තුනක් සම්පූර්ණ වූ විට පමණි.

අදිට්ඨං –

තමා උදෙසා සත්ත්වයකු මැරූ බව නොදුටු.

අසුතං –

තමා උදෙසා මැරූ බව නොඇසූ.

අපරිසංකිතං –

තමා උදෙසා මරා පිළියෙල කළේ දැයි සැකයක් හෝ නොමැති මාංස රසයක් නම් පමණක් එය වැළඳිය හැකිය.

හේතුව එවිට ප්‍රාණඝාතයට සිතකින් හෝ සම්බන්ධ වීමක් භික්ෂුවට සිදු නොවනා බැවිනි.

ආහාරයක් රස තෘෂ්ණාවකින් වැළඳීම භික්‍ෂුවක් විසින් කිසිවිටක සිදු නොකරති. රස තෘෂ්ණාව අකුසලයකි. මස් රසයට ගිජු වීම හෝ වේවා වෙනත් නිර්මාංසමය දෙයකට ගිජුවීම හෝ වේවා දෙකම වැටෙන්නේ අකුසල් පක්ෂයටමය. එබැවින් දායකයා දන් පිදීමේදීත්, භික්ෂුව දන් වැළඳීමේදීත් බෙහෙවින්ම සිත පිරිසුදු විය යුතුය.මෙම ධර්ම විනය කරුණු හොඳින් දැන සිටි සුප්පියා උපාසිකාව තම සේවකයාව ‘ප්‍රවෘත්ත මාංසයක්’ රැගෙන ඒම පිණිස පිටත් කර හැරියාය.’ප්‍රවෘත්ත මාංස’ යනු ඒ වනවිට කඩපිලෙහි තබා තිබෙන මාංසය. එවිට ඒ සම්බන්ධ අකුසල මානසික සම්බධයක් කිසිවිටක ඇති වී නොමැත. එවැනි මාංසයක් වෙ‍ෙළඳසලට ගොස් සොයා බැලූ සේවකයාට හමු වූයේ නැත. එය ‘මාඝාතය’ හෙවත් සතුන් මැරීම තහනම් කළ දිනයකි. කඩපිළෙහි කිසිදු මසක් විකිණීමට නොමැති බව සේවකයා පැමිණ උපාසිකාවට දැනුම්වත් කළේය. උපාසිකාව මෙසේ කල්පනා කළාය.

” මස් රසය නොලබන්නේ නම් භික්ෂුවගේ රෝගය වර්ධනය වන්නට පුළුවන. එසේම ඒ රෝගයෙන්ම උන්වහන්සේ අපවත් වන්නට ද පුළුවන. අනෙක් අතට භික්ෂුවකට වූ පොරොන්දුවක් කඩවීමට ද ඉඩ නොදිය යුතුය.” මෙසේ සිතූ ඈ සිදුකළේ ඉතා පුදුමසහගත දෙයකි. ඒ තමාගේ කාමරයට ගොස් මස් කපන තියුණු ආයුධයකින් තම කලවේ මස් කොටසක් කපා වෙන්කිරීමය. ඇති වූ දැඩි වේදනාව ශ්‍රද්ධා බලයෙන් ඈ යටපත් කර ගත්තාය. සේවිකාවකට එය දී වෙනත් මසක් උයන්නා සේම කලවා මස ද ප්‍රණීත ආකාරයෙන් සකස් කරවා ගැනිණි. පිළියෙල කොටගත් මස් රසය එම දාසිය ලවාම ගිලන් භික්ෂුව වෙත යැවීය.

භික්ෂුන් වහන්සේ ද එම මස කුමක්දැයි කියා හෝ නොවිමසා වැළඳුහ. උපාසිකාව වේදනාවෙන් යුතුව නිදන කාමරයටම වී සිටියාය. උපාසකතුමා ඈ වෙතට ගොස් හේතුව විමසා සිටියේය. නොසඟවා සියලු විස්තර ඈ ප්‍රකාශ කළාය. එවිට උපාසකතුමා ඉමහත් ආශ්චර්යයටත්, සතුටටත් පත්විය. උපාසිකාවගේ ශ්‍රද්ධාවත් පරිත්‍යාගශීලී බවත් ඔහුගේ පුදුමයට හේතු විය. එම මොහොතේම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි උපාසකතුමා පසු දින දානයට තම මැදුරට වැඩම කරන්න යැයි ආරාධනාවක් ද සිදුකළේය. තුෂ්ණිම්භූතභාවයෙන් එම ආරාධනාව භාග්‍යවතුන් වහන්සේ විසින් පිළිගන්නා ලදි.

පසුදා උදෑසන භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා එම මැදුරට වැඩම කළ සේක. එහි දී බුදුරජාණන් වහන්සේ ‘සුප්පියා උපාසිකාව කොහිදැයි විමසූ සේක. උපාසකතුමා ඇය ගිලන්ව නිදන කාමරයේ සිටිනා බව පැවසීය.

‘ඇයට මෙහි එන්නට කියන්න’ යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. තනිව ඇවිදගෙන ඒමට නොහැකි යැයි උපාසකතුමා පිළිවදන් දුන්නේය. ‘එසේ නම් ඇයව ඔසවාගන හෝ එන්න’ යැයි භාග්‍යවතුන් වහන්සේ නැවතත් වදාළහ. සුප්පිය උපාසකතුමා ඇයව ඔසවාගෙන භාග්‍යවතුන් වහන්සේ දෙසට කැඳවාගෙන ආවේය.

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වැඩියා යැයි ඇසූවිටම ඇයට අපමණ ශ්‍රද්ධාවක් ඇති විය. එසේම ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දැකීමත් සමඟම ඇගේ තුවාලය මසින් පිරී සුවපත් විය. ඒ මත රෝම ද වැවිනි. සම ද පැහැපත් විය. ඒ බව දත් ඇයට ප්‍රීතිමත් සිනාවක් පහළ විය. වෙනදා මෙන් පහසුවෙන් ඇවිද ආ ඈ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළාය. එම ප්‍රාතිහාර්යයෙන් ආශ්චර්යයට පැමිණි උපාසකතුමා ඇතුළු පිරිස ඉතාමත් ශ්‍රද්ධාවෙන් දන් පූජා කළහ. දන් වළඳා අවසානයේ භාග්‍යවතුන් වහන්සේ පිරිසට ගැළපෙන පරිදි උතුම් ශ්‍රී සද්ධර්මය වදාළ සේක.

ධර්ම ශ්‍රවණයෙන් එම පිරිස වඩ වඩාත්ම සතුටට පත්වූහ. විහාරයට වැඩම කළ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ අර ගිලන් භික්ෂුවගේ සුව දුක් විමසා බැලූ සේක. තොරතුරු විමසා දායකයකු මාංසයක් පිදූ විට, එම මාංස වර්ගය කුමක්දැයි නොදැන, නොවිමසා වැළඳීම නොකරන ලෙසත්, කිසිලෙසකින් මනුෂ්‍ය මාංසය නොවළඳන ලෙසත් ශික්ෂාපද පනවා වදාළ සේක. සුප්පියා උපාසිකාවට භික්‍ෂු සංඝයා කෙරෙහි, තම මස් කපා දන් දීමට තරම් ශ්‍රද්ධාවක් ඇති වූයේ ඇගේ අතීත පාරමිතා ශක්තියෙනි. එතුමිය මහා කල්ප ලක්ෂයක් පුරා අග තනතුරක් ප්‍රාර්ථනා කරමින් පාරමිතා පිරූ උත්තමාවියකි. පියමතුරා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ ගිලන් භික්ෂුන්ට උපස්ථාන කරන උපාසිකාවන් අතර එක් උපාසිකාවක් අග තනතුරෙහි තබනු දැක එයම පතා දන් දී නියත විවරණ ද ලද්දීය. එතැන් පටන් කල්ප ලක්ෂයක් පුරා දෙව් මිනිස් සැප විඳිමින් පාරමිතා පුරන්නට වූවාය. ඇයට අපමණ පරිත්‍යාග සිතකුත් ශ්‍රද්ධාවකුත් ඇතිවූයේ එම පාරමිතා බලයෙනි. පසුකලෙක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් උපාසිකාවන්ට අගතනතුරු ලබාදෙන මොහොතේ දී, මේ ගෞතම සම්බුදු සසුන තුළ සංඝයාට ගිලන් උවැටන් කරන උපාසිකාවන් අතර සුප්පියා උපාසිකාව අග්‍ර වන්නේ යැයි තනතුරු දී වදාළ සේක.

ඇඟ මස් කපා දන් දීමට තරම් ශ්‍රද්ධාවක් තෙරුවන් කෙරෙහි ඇති වීමම ඉමහත් භාග්‍යයකි. අපට ද ධර්මාවබෝධය පිණිස වීර්යය උපදවා ගැනීමට උතුම් ශ්‍රද්ධා ගුණයම දියුණු වෙවා !

පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි.

( ආණමඩුව , කොට්ටුකච්චිය සිරි උපාලි ධර්මාශ්‍රමාධිපති, ත්‍රිපිටකාචාර්ය ,

ත්‍රිපිටක විශාරද , ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය,

සද්ධර්ම කීර්ති ශ්‍රී කර්ම වාගාචාර්ය, රාජකීය පණ්ඩිත)

 මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?