සිඟිත්තියක් සිඟිත්තෙක් ගෙදර ඉන්නවා කියන්නේ මුළු ගෙදරම හරි සිරියාවයි. ඉතින් ගෙදරට සිරියාව ගෙනෙන පුන්චි පැටියගේ, සෙල්ලම් බඩු අපිටම හදා ගන්න පුළුවන්නම් කොච්චර වටිනවද? අම්මා කෙනෙක්ට ඒ තරම් සතුටක් වෙන කොහෙන්ද. එන්න එහෙනම් අපි අද පුංචි පැටියට ඔයාගේ අතින්ම ෆින්ගර් පපෙට්ස් හදමු. අඬන බබාලාව නළවගන්නත් කියාපු ක්‍රමයක් තමයි මේ පපෙට්ස් සෙල්ලම.
මේ සඳහා ඔයා කැමැති ඕනෑම සත්ත්ව මූහුණක්, පලතුරක්, එළවළු හෝ වෙනත් ඕනෑම හැඩයක් එක්කර ගත හැකියි.
අවශ්‍ය දේවල්
කැමති වර්ණයකින් ෆ්ලීස් රෙදි
පොලියෙස්ටෙර් ෆෙල්ට්
ග්ලු ගන්
නිර්මාණය කර ගන්නා ආකාරය
පළමුව කඩදාසි කොළයක් ගෙන රූප සටහනේ පරිදි සතාගේ මුහුණ ඇඳ ගන්න. ඉන්පසු යට කොටසත් ඇඳ ගන්න. මුහුණ සහ ඇඟෙහි සතාගේ පෙනුමට ගැළපෙන ආකාරයටම ඇස් කන් සියල්ලම ඇඳ බ්ලොක් කපා ගන්න. ඇඟිල්ලට දමා ගන්නා රෙදි කොටස සඳහා දිග අඟල් 3 .5 පමණ කොටුවක් කොටස් දෙකකට කපා ගන්න. ඉන්පසු පතරොම්වලට අනුව පොලියෙස්ටර් ෆෙල්ට් රෙද්දෙන් මුහුණු කොටස් දෙකක් කපා ගන්න. ඇඟ කොටස් දෙකක් ද කපා ගන්න. ඇඟ කොටස වටේට බ්ලැන්කට් මැස්මෙන් මසාගෙන ගොස්, ඇඟිල්ල දමා ගන්නා කොටස ඉතිරි කර ගන්න. පසුව කපාගත්, සතාගේ මුහුණු කොටස් දෙක එකට තබා වටේට බ්ලැන්කට් මැස්මෙන් මසා ගෙන පැඩින් පුරවා ගන්න. ෆ්ලීස් රෙද්දෙන් කපා ගත් කන් දෙක මුහුණ දෙපසින් අලවා ගන්න. ඇස් තිබෙන තැන් ලකුණු කර එවාටත් ෆ්ලීස් රෙද්දෙන් කළු පාටින් ඇස් කපා ගන්න. නහය, කට සියල්ලක්ම රෙදිවලින්ම කපා ගන්න. මුහුණේ ඇස් කන් නහය අලවා පළමුව සාදා ගත් ඇඟ කොටසට සත්ත්ව මුහුණ අලවා ගන්න. මේ විදිහට වර්ග කිහිපයකින් සත්ත්ව රූප සකසා ඇඟිලිවල දමා පෙන්වමින් පුංචි බබාව විනෝදයෙන් තියන්න.
නිලක්ෂි ආරියරත්න
උපදෙස් – අත්කම් නිර්මාණ ශිල්පිනී
අක්ශානි උද්දීපා
විදුමිණි දිසාකරුණා