මල් අපේ නෙතට රසඳුනක් වනවාසේම මනසට සුවයක් ගෙන දෙන අමිල ඖෂධයකි. ලොව කොතැනක පිපුණත්, හැම මලකම සුවිශේෂී බවක් දකින්නට ලැබීමත් ඒ මහිමයේ වාසනාවකි. බුදුන් පුදන්නට, දෙවිඳුන් යදින්නට ගන්නා මල් අපේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවලදී අපට නැතිවම බැරිය. අලුත උපන් බිලිඳකු බලන්නට යෑමේදීත්, මනාලියකගේ ගත සරසන්නටත්, මරණයකදී අවසන් ගෞරව දක්වන්නටත් යනාදී වශයෙන් අපේ ජීවිතයේ සැපතේදී මෙන්ම විපතේදීත් මල් සමඟ ඇති සබැඳියාව ඈතට දිව යන්නකි. මෙලෙසින් අසීමිත බැඳීමක් මල් හා අප අතර පවතී. සොබාදහමින් ද අප රටට ලැබී තිබෙන්නේ බොහෝ මල් වර්ගයන් සඳහා උචිතම දේශගුණයකි.
අපේ රටේ වැවෙන මල් අතරින් ආදායමක් ලබාගත හැකි මල් වර්ගයක් ලෙස ඕකිඩ්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
රටේ සංවර්ධනයට උරදෙන ස්වයං රැකියාලාභීන්ට අතහිත දීම රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද වගකීමකි. එසේම මෙය කාලීන අවශ්‍යතාවකි. එවන් සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන මල් සංගමයක් පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබිණි. ඒ සීමාසහිත විචිත්‍ර පැළෑටි සහ උඩවැඩියා සමුපකාර සමිතියයි. මෙය කොළඹ, නුවර පාරේ පිහිටි පස්යාල හන්දිය හමුවන්නට පෙර ඇති කලල්පිටියේ ස්ථාපනය කර තිබේ. එහි වත්මන් සභාපතිධුරය දරනුයේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ගණනාවක අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටින ප්‍රේමසිරි සේනාධීර මහතායි.
මෙම මල් සංගමය ගැන ඔහු සමඟ කළ කතාබහයි මේ.
කුඩා ව්‍යවසායකයන් ගොඩනැංවීමේ අරමුණෙන් පිහිට වූ මෙම ව්‍යාපාරය ගැන පළමුව පුංචි හැඳින්වීමක් කරන්න
ශ්‍රී ලංකාව තුළ ඕකිඩ් වගාව ප්‍රවර්ධනය කිරීම, දේශීය වෙළෙඳපොළේ ඕකිඩ් පිළිබඳ අවශ්‍ය සියලු කටයුතු සඳහා මාර්ගෝපදේශ ලබාදීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක වූ ලක්මල් සැල ලෙස කලකට ඉහතදී ජනප්‍රියව හැඳින්වූයේ මෙම ඕකිඩ් ව්‍යාපාරයයි. පසුකාලීනව සීමාසහිත විචිත්‍ර පැළෑටි සහ උඩවැඩියා සමුපකාර සමිතිය ලෙස ලියාපදිංචි වූයේ එයමයි. මෙම ඕකිඩ් ව්‍යාපාරය 1968 වසරේ සිට සමුපකාර සමිතියක් ලෙස සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර තිබෙනවා.
වර්තමානයේ මෙම සංගමයේ ක්‍රියාකාරීත්වය ගැන කතා කළොත්?
නවීන තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවන ලද ඕකිඩ් පැළ ආනයනය කර සාමාජිකයන් හට ලබා ගැනීමට පහසුකම් ඉදිරියේදී සලසා දීමට කටයුතු කරමින් සිිටිනවා. කොරෝනා වසංගතයට පෙර මෙහි මුළු සාමාජික සංඛ්‍යාව 5000 ඉක්මවා තිබුණා. ඒ තරමටම මෙම සමිතිය සක්‍රීයව පැවතුණා. නමුත් කොරෝනා වසංගතයෙන් පසුව මෙම සංගමය අඩපණ වුණා. වගාවේ නියුතු සහ උනන්දුවක් දක්වන අයවලුන් හට නව සාමාජිකත්වය සඳහා දැන් ඉල්ලුම් කළ හැකියි. කලල්පිටියේ පැරැණි වඳුරපොළ වතුයායේ ඇති අක්කර 19ක ඉඩම සම්පූර්ණයෙන්ම සාමාජික අරමුදල් යොදවා මෙම සමිතියට ලබාගෙන තිබෙනවා. රාජ්‍ය අනුග්‍රාහය සහිතව නවීන උපකරණවලින් සමන්විත පටක රෝපණ විද්‍යාගාරයක්ද ඉදිකොට මේ වනවිට නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී පටක රෝපිත ඕකිඩ් පැළ මෙන්ම ඇන්තූරියම්, කෙසෙල්, අන්නාසි සහ විචිත්‍ර පැළෑටි නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට දැනටමත් සැලසුම් කර අවසන්. එසේම වගාකරුවන් හට අවශ්‍ය න්‍යයාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ද ආරම්භ කිරීමට යෝජිතයි.
මෙමඟින් සිදුවන අනෙකුත් සේවාවන් මොනවාද?
ඕකිඩ් මල් සිල්ලර අලෙවිය, මල් සැරසිලි අලෙවිය, රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන සහ හෝටල් වැනි ආයතන සඳහා අවශ්‍ය මල් සැකසුම් කිරීම මෙම ආයතනය විසින් ඉටු කරන ලබන කාර්යයන් අතර වෙනවා.
එමෙන්ම ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අයෙක් සඳහා මල් වගාව පිළිබඳ නොමිලේම උපදෙස් ලබාදීමත් විශේෂයි. මල් වගාවට පුහුණු කිරීම, වෙළෙඳපොළ හඳුන්වාදීම, ලෙඩ රෝග හඳුනාගැනීම, පොහොර යෙදීම සහ ඕනෑම සේවාවක් ඔබට මෙමඟින් ලබා ගන්නත් පුළුවන්.
අද වන විට අපේ රටේ බොහෝ දෙනෙක් ඕකිඩ් වගාව ස්වයං රැකියාවක් ලෙස සිදු සිදුකරනවා. එවැනි අයට මෙම සංගමය කෙතරම් වැදගත් වේද?
අප රටේ කාන්තා – පිරිමි, දෙපාර්ශ්වය සඳහාම මෙය හොඳ ආදායම් මාර්ගයක් ලෙස සිදුකළ හැකියි. රැකියාවක නියුතු නොවන අයටත්, රැකියාවක් කරන පුද්ගලයකුටත් අමතර ආදායම් මාර්ගයක් ලෙස මුදල් උපයා ගැනීමට මේ සඳහා යොමු විය හැකියි. එසේම ආත්ම තෘප්තිය සමඟ ගෙවත්තට චමත්කාරය කැඳවාලන්න විසිතුරු මල් වගාවකට යොමුු වීමටත් පුළුවන්.
ව්‍යාපාරයක් ලෙස මල් වගාව ආරම්භ කරන අයට දෙන පණිවිඩය මොකක්ද?
දිනෙන් දින වැඩිවන ජීවන වියදමට විසඳුමක් වශයෙනුත්, සිතේ සතුට වැඩි කර ගැනීමේ මාර්ගයක් ලෙසිනුත් නිරපරාදේ වැයවෙන කාලය ප්‍රයෝජනවත් අයුරින් ආයෝජනය කිරීමටත් ඉවහල්වන මේ විසිතුරු මල් වගාවට සූදානම් වීමේ සිට විශාල ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම දක්වාම ඔබ මනා උනන්දුවකින් කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම උපදෙස් නොමිලයේ මෙමඟින් ලබාදීමට අප සූදානම්. අවසානයේ හොඳ ලාභයක් ලැබෙන අයුරින් එය පවත්වාගෙන යෑමේ විශ්වාසය ඔබ තුළ තිබිය යුතුයි.
මල් හෝ විසිතුරු පැළ වගාව ආරම්භ කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද?
මුලින්ම ඔබ බලාපොරොත්තු වන ආකාරයට වගා කටයුතු කිරීමට ඉඩකඩක් තිබේදැයි අවධානය යොමු කළ යුතුය. එම ඉඩකඩ ජල පහසුකම්, අසුරා තිබීමේ පහසුව සහ පැළ නිෂ්පාදන කටයුතු කිරීමේ පහසුකම ගොඩනඟා ගත හැකි පරිද්දෙන් තිබේදැයි විමසිලිමත් විය යුතුය. එසේම මෙය සම්පූර්ණයෙන්ම කෘෂිකාර්මික ව්‍යාපාරයක්. එබැවින් කෘෂිකර්මාන්තයට අදාළ මූලික කරුණුවත් ඔබ දැනගත යුතුය. එතනදි අපගේ සහාය ලබා ගැනීමට පුළුවන්. මීළඟට වගා කරන මල් හෝ ශාක වර්ගය අනුව කාලය වෙන් කිරීම සිදු කළ යුතුයි. එබැවින් ප්‍රමාණවත් කාලයක් කැප කළ හැකිදැයි කළින්ම ඔබ තීරණය කළ යුතුයි.
එසේම විසිතුරු මල් වගාවක මෙන්ම ඕනෑම වෙළෙඳ ව්‍යාපාරයක ඉතාම වැදගත් මෙන්ම දැඩි අවධානයක් යොමු කළ යුතු කාරණය වන්නේ නිෂ්පාදනය සඳහා ඇති වෙළෙඳපොළයි. ඔබ ආරම්භ කිරීමට යන විසිතුරු මල් ව්‍යාපාරය විදේශීය වෙෙළඳපොළට හෝ දේශීය වෙළෙඳපොළට යොමු කළ යුතුයි. එසේ නම් ඒ සඳහා ඉල්ලුම සොයා බැලිය යුතුයි. ඒ වගේම දේශීය වශයෙන් ඇති ඉල්ලුම, මල් ප්‍රදර්ශන සහ වෙළෙඳ කුටි නරඹා හෝ දැනට මල් වගාවේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබාගැනීමත් වඩාත් වැදගත්.
ඔබත් සීමාසහිත විචිත්‍ර පැළෑටි සහ උඩවැඩියා සමුපකාර සමිතිය හා එක්ව කටයුතු කරන්න කැමති නම් 033 2216 044 සම්බන්ධ වී සාමාජිකත්වය ලබාගත හැකියි.
ශාන් රඹුක්වැල්ල
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර