Saturday, October 18, 2025
Epaper
Home Recipeබිත්තර 16ක පෝෂණය ලාවුළු

බිත්තර 16ක පෝෂණය ලාවුළු

by Thanushika

ක්ෂණික ශක්තිය වඩවන රසබර පලතුරක් වන ලාවුළු, තැම්බූ බිත්තර කහ මදය මෙන් දිස්වන නිසා ” බිත්තර පලතුර ” ලෙස ද හඳුන්වනු ලබයි. මෙක්සිකෝවේ සම්භවය වුවත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිවානය, බ්‍රසීලය, පිලිපීනය වැනි රටවල ඉතා හොඳින් වගා කළ හැකි පලතුරක් ලෙස මෙය හැඳින්විය හැකිය. ලාවුළු ශාකය පෝෂණ ගුණය අතින් ඉතා ඉහළ ශාකයකි. ශ්‍රී ලංකාව තුළ ලාවුළු ප්‍රභේද දෙකකින් යුක්තය. ඒ කොහොල්ලෑ ලාවුළු හා රට ලාවුළු වශයෙනි. මෙම පලතුරෙහි විටමින් A හා B බහුලව අඩංගු වන අතර කාබෝහයිඩ්‍රේට්, යකඩ, කැල්සියම් ආදිය ද වැඩිපුර දක්නට ලැබෙයි. අනෙකුත් තැඹිලි පාට පලතුරුවල මෙන්ම ලාවුළුවල ද බීටා කැරොටින් අඩංගු වේ.

ලාවුළුවල ඇති යකඩ ප්‍රමාණය අධික නිසා එය සමස්ත සෞඛ්‍ය වර්ධනය සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන අතර, එය රක්තහීනතාව ඇති වීමේ අවදානම වළක්වා ගැනීමට ද උපකාරි වේ. එසේම මොළයේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරිම හා ඇල්සයිමර් රෝගය හා ඩිමෙන්ෂියාව වැනි ස්නායු පද්ධතියේ ආබාධ අවදානම වළක්වා ගැනීමට උපකාරීවේ. කොලෙස්ටරෝල් මට්ටම පහත දමන අතර ශරීර ශක්තිය වර්ධනයට ගුණදායක ලාවුළුවල විටමින් සී අධික ප්‍රමාණයක් ඇති නිසා එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය රැක ගැනීමට ප්‍රයෝජනවත් වේ. දියවැඩියාව වළක්වා ගැනීමට මෙන්ම ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත ගැටලු වළක්වා ගැනීමටත් මෙය උපකාරී වේ.

පැහැපත් සමක් ලබා ගැනීමට මෙන්ම නීරෝගි කෙස් කලඹක් වර්ධනය කර ගැනීමට ද හිතකර මෙම පලතුර අඩු නින්ද වැඩි කර ගන්නටත් උදව් කරයි. පිළිකා නාශක ගුණයෙන් ද යුක්තය. ඉඳුණු ලාවුළු පලතුරක් ලෙස පමණක් නොව බීම, වෑංජන ජෑම්, අයිස් ක්‍රීම්, කස්ටඩ්, පෑක්කේක්, වඩේ ආදි විවිධ අයුරින් සකසා පරිභෝජනයට ගනු ලබයි.

ලාවුළු පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි 500g

ගාගත් ලාවුළු

පොල් ගෙඩියක්

ලුණු

වතුර

සාදා ගන්නා ආකාරය

පළමුව ලාවුළු ගෙඩියේ පොතු ඉවත් කර ග්‍රේට් කරගන්න. පසුව කහට ඉවත්වීම සඳහා වතුර භාජනයක් ගෙන එයට ලුණු තේ හැන්දක් දමා ග්‍රේට් කරගත් ලාවුළු දමා ගන්න. පසුව මඳ වෙලාවකින් ලාවුළු මිරිකා වතුර ඉවත් කරගන්න. පසුව භාජනයක් ගෙන හාල්පිටි 500gක් ගා ගත් පොල් ගෙඩියක පොල්, ලුණු දමා කලවම් කරගන්න. පසුව එයටම කහට ඉවත් කරගත් ලාවුළු දමා හොඳින් කලවම් කරගන්න. පසුව සාදාගත් ලාවුළු මිශ්‍රණය පිට්ටු බම්බුවට දමා තම්බන ආකාරයට තම්බා ගන්න.

ලාවුළු පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

ලාවුළු 100g

සීනි 60g

ඉරිඟු පිටි මේස හැඳි 2 ක්

කිරි 500ml

වතුර මේස හැඳි 3 ක්

කිරිපිටි මේ මේස හැඳි 1ක්

සාදා ගන්නා ආකාරය :-

හොඳින් ඉදුණු ලාවුළු ගෙඩියක් ගෙන එහි පොත්ත ඉවත් කර ලාවුළු ගෙඩිය පිටිවන තෙක් පොඩි කරගන්න. පසුව සිනී 60g ක් සහ ඉරිඟු පිටි මේස හැඳි 2 කට, පොඩිකර ගත් ලාවුළු එකතු කරගන්න. එයට දිය කරගත් පිටිකිරි 500mlක් එකතු කරගන්න. පසුව ලාවුළු දියවන තෙක් කලවම් කරන්න. ළිපෙහි ගින්දර අඩුකර මඳ ගින්දරෙන් මිශ්‍රණය උකුවන තෙක් විනාඩි 10ක් පමණ හොඳින් කලවම් කරගන්න. පදමට පැමිණි විට ළිපෙන් භාගන්න. පසුව වෙනත් බාජනයකට දමා විනාඩි 10ක් තබා පැයක් ශීතකරණයෙහි තබා ගන්න.

සීනි කැරමල් කර ගැනීමට සීනි 30gකට වතුර මේස හැන්දක් එකතු කරන්න. පසුව සීනි ටික අඩු ගින්දරේ කැරමල් කරගන්න. විනාඩි 5ක් පමණ ගිය විට රන්පැහැවන සීනිවලට, පිටිකිරි මේස හැන්දකට වතුර මේස හැදි 2ක් හොඳින් දිය කර එකතු කරන්න. පසුව මඳ ගින්දරෙන් මිශ්‍රණය උකුවෙන තුරු කලවම් කරන්න.

පසුව සකසා ගත් ලාවුළු පුඩිම උඩින් මෙම මිශ්‍රණය එකතු කරන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?