Saturday, October 18, 2025
Epaper
Home Recipeඅඩු මුදලට වැඩි ගුණයක් දිවුල්

අඩු මුදලට වැඩි ගුණයක් දිවුල්

by Thanushika

වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම වන අතර, අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් වටිනා ඖෂධයකි. හොඳින් පැසී ඉදුණු පසු බිමට වැටෙන දිවුල් ආහාරයට සුදුසුය. එමෙන්ම දිවුල් ඵලයට ආවේණික වූ සුවඳ සුගන්ධවත් බවක් පවතින්නේ එහි තිබෙන සුවිශේෂී රසායනික සංඝටක බහුල නිසයි. කැල්සියම් යකඩ බී විටමින් වැනි ඛනිජ ලවණ වර්ග වාගේම විටමින් A B සහ පෝෂණ ගු ණය මෙහි අන්තර්ගතයි. ෆොමැටික්, ඔලෙයික්, ලිනෝලින්, ලිනෝලෙයික් මිරිස්ටික් ස්ටියරික්, බීටා කැරොටීන් හොඳින් ඉදුණු දිවුල් වල අඩංගු වේ.

දිවුල්වල තවත් ගුණ බොහෝ ඇති අතර පහත දැක්වෙන්නේ අපේ පැරණි ග්‍රන්ථවල සඳහන් වූ හා නූතනයේ සොයාගත් දේවල්ගෙන් සමහරක් වේ. කාන්තාවන්ගේ පියයුරු හොඳින් වර්ධනයට ඉදුණු දිවුල් මදය පියයුරේ ආලේප කළ බවද පැරණි ආයුර්වේද ග්‍රන්ථවල සඳහන්ය. දිවුල් ඵලයේ යකඩ බහුලව ඇති බැවින් ප්‍රසූතියෙන් පසුව මව්වරුන්ට ඉදුණු දිවුල් ආහාරයක් වශයෙන් අතීතයේ දී ලබා දී තිබේ. ග්‍රහණි රෝගයට දිවුල් කොළ ඉස්ම මෝරු සමඟ එකට එක්කර පානය කරයි. කාන්තාවන්ගේ සුද යාම පාලනය කිරීමටද පණු රෝග පාලනය කිරීමට ද දිවුල් භාවිත කෙරෙ.

විෂ නාශක ගුණයෙන් ඉහළ දිවුල් පංචාංගය මීයන් සපා කෑ විට මී විෂ නැසීමටත් කැඳ සාදා පානය කර තිබේ. ඒ වගේම මී මැස්සන් දෂ්ඨ කළ විටත්, කෘමි දෂ්ඨ කළ විටත් විෂ නැසීමට දිවුල් මද ඉස්ම අමුකහ සමඟ මිශ්‍රකර භාවිත කෙරේ. මේ සඳහා දිවුල් මද වෙනුවට දිවුල් කොළ ඉස්ම ද භාවිතා කළ හැකිය. කුඩා දරුවන්ට ආහාර නොදිරවන අවස්ථාවලදීත්, පණු රෝග ඇති අවස්ථාවේදීත්, ඖෂධයක් වශයෙන් මෙන්ම පලතුරක් වශයෙන් ද දිවුල් ලබාදීම අතීතයේදී සිදුව තිබේ.

රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව ඇල්සයිමර්, ඩිසිස් නැමැති ස්නායුගත රෝගී තත්ත්වයන්ට හෙවත්, බෝ නොවන රෝග වැළැක්වීමටත් දිවුල් පලතුරු, භාවිතයෙන් ඉහළ ඖෂධිය ගුණයෙන් යුක්ත වේ. එමෙන්ම දිවුල් කොළවල මෙතනෝල් නම් සංයෝගය අඩංගු වන අතර එමඟින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම, සීනි මට්ටම පාලනයට උපකාරී වේ.

රුධිරය කැටි ගැසීම වැළැක්වීමේ මහා ගුණයකින් යුතු ඉදුණු දිවුල් පලතුරෙහි මදයෙහි සහ ඇටවල අත්‍යවශ්‍ය මේද අම්ල විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වේ. එම නිසා ඉදුණු දිවුල් භාවිත කිරීමේදී ඇට, රොඩු වශයෙන් ඉවත් නොකර ගැනීමට වග බලා ගත යුතුය. මුඛ රෝගවලට ගුණයි. විශේෂයෙන් විදුරුමස් දියවීමේ රෝගවලට ගුණයි. විදුරුමස් වලින් ලේ ගැලීම නැති කරයි. ආමාශගත තුවාල සුව කිරීමේ ඉහළ ගුණයක් ද දිවුල් සතු වේ.

මල බද්ධය නැති කරයි. මානසික ආතතිය දුරු කරයි. මනස ප්‍රබෝධවත් වීමට දිවුල් ආහාරයට ගැනීම හේතු වේ. ආහාර රුචිය වැඩි කරයි. ආහාර දිරවීම පහසු කරයි. අධික තරබාරුව නැති කරයි. කුඩා දරුවන්ගේ ද උදර රෝගවලට ගුණයි. වැඩෙන වයසේ දරුවන්ට සුදුසුයි. අස්ථි ගෙවීම නැති කරයි.

සන්ධි රෝගවලට ගුණයි. සන්ධි රෝග නැති කිරීමට උදව් කරයි. පොත්පත්වල සඳහන් ආකාරයට දිවුල් කොළ සර්ව විෂාධී තෛලයත්, කෝලශ්ලෙෂ්මා, තෛලයක් අැතුළු ඖෂධීය තෙල් වර්ග පිළියෙළ කිරීමේදී භාවිතා කෙරේ.

මෙමඟින් දිවුල් පලතුර වගේම මල් සහ පත්‍ර ද විශාල ගුණයෙන් යුතු බව පැහැදිලිය. ඇති හැකි සෑම විටම දිවුල් ආහාරයට ගැනීමෙන් ඔබට දීර්ඝායුෂ ලබා ගැනීමට හැකියි. දිවුල් පානය, දිවුල් ජෑම්, දිවුල් අච්චාරු, දිවුල් ජෙලි ආදී ලෙස සකසා ප්‍රයෝජනයට ගත හැකියි. අඩු මුදලට වැඩි ගුණයක් ලබා ගත හැකි දිවුල්වලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න අමතක කරන්න එපා.

දිවුල් පානය

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු දිවුල් ගෙඩි 2
සීනි ග්‍රෑම් 500
ලුණු කුඩු තේ හැඳි 1
වතුර කෝප්ප 2
එනසාල් කුඩු තේ හැඳි 1/2

සාදාගන්නා ආකාරය

පළමුව දිවුල් ගෙඩිවල මද සූරාගෙන එයට වතුර සහ සීනි එකතු කර බිලෙන්ඩර්කර ගන්න. පසුව ලුණු එකතු කර ගන්න. දැන් ළිප මත තබා හොඳින් උණුකර ගන්න. මිශ්‍රණය හොඳින් ඝන වූ පසුව ළිපෙන් ඉවත්කර එනසාල් කුඩු ස්වල්පයක් එකතු කර බෝතලයක අසුරා ගන්න. විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.

දිවුල් අච්චාරු (දිවුල් සම්බෝල)

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් පැහිච්ච දිවුල්
සීනි
කොච්චි මිරිස්
මිරිස් කුඩු
ගම්මිරිස් කුඩු
ලුණුකුඩු
විනාකිරි

සාදාගන්නා ආකාරය

හොඳින් පැසුණු දිවුල් දෙකට පළා ගන්න. පලාගත් දිවුල් පොල් ගානවා වගේ හිරමනෙන් හීනියට ගාගන්න. ඊළඟට ගාගත් දිවුල්වලට ලුණු කුඩු හා වතුර එක්කර හොඳට මිරිකලා කහට ගතිය යවන්න. දැන් වංගෙඩියට කොච්චි, ගම්මිරිස් ඇට හෝ කුඩු මිරිස්කුඩු සහ ගාගත් දිවුල් එකතු කරගෙන හොඳට කොටාගන්න. මෙහෙම කොටද්දී හොඳ සුවඳක් එනවා. කොටාගත්ත දිවුල් ටික මැටි හට්ටියකට දාගන්න. ඊළඟට ඒකට සිනි, විනාකිරි එකතු කරගෙන හොඳට අනළා රස අනුව අඩුපාඩු එකතු කරගන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?