Monday, November 17, 2025
Epaper
Home Uncategorizedඅම්මා එවූ අවසන් ලියුම අදටත් සුරැකිව තියෙනවා

අම්මා එවූ අවසන් ලියුම අදටත් සුරැකිව තියෙනවා

ප්‍රවීණ කලා ශිල්පී වසන්ත දුක්ගන්නාරාළ

by Thanushika

කලා ලෝකයේ වගේම ලාංකේය සමාජයේ ඔහුව අපි හඳුනා ගන්නේ දුකා නමින්. නාමමාත්‍රයෙන් දුකා යැයි කීවත් ඔහුගේ නිර්මාණවලින් ප්‍රේක්ෂකයන්, රසිකයන් ලැබූ සතුට අපමණක් බව කිව යුතුයි.

මෙවර තරුණි අම්මාවරුනේ විශේෂාංගය සමඟ අදහස් බෙදා ගත්‌ ඔහු අපි කවුරුත් හඳුනන වසන්ත දුක්ගන්නාරාළ නම් අග්‍රගණ්‍ය කලාකරුවායි. වසන්ත දුක්ගන්නාරාළ සිය මව ගැන මෙන්ම සිය ආදරණීය බිරිඳ මවක ලෙස දකින ආකාරය අප හමුවේ තැබුවේ මේ ආකාරයෙනුයි.

අපේ අම්මා ආර්. පළිඟු මැණිකේ. අම්මා උපන් ගම මාතලේ ඔටුනුගෙදර. අපේ අප්පච්චිට ඇයව මුණ ගැහෙන්නෙත් ඔටුනුගෙදරදිමයි. අප්පච්චිගේ ගම මහනුවර. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. මම පවුලේ බාලයා. අපේ අම්මා ගුරුවරියක්. ඇය පහේ පන්තියේ සිසුන්ට ඉගැන්වුවා. අපේ අම්මා සංවේදී, අහිංසක චරිතයක්. පවුලේ බාල පිරිමි දරුවා ලෙස අම්මයි මායි අතර තිබුණේ සමීපස්ථ බැඳීමක්.

හදිසියේ රෝගී වූ අපේ අම්මා නැති වෙන්නේ අවුරුදු 62දීයි. ඒ වන විට මං විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියා. ඉතින් මම රටක් හඳුනන මාධ්‍යවේදීයෙක්, කලාකරුවෙක් වේවි යැයි අම්මා කවදාවත් හිතන්නේ නැතිව ඇති. හැබැයි පුංචි කාලයේ ඉඳන්ම මනුෂ්‍යයෙක් ලෙස සමාජයේ ජීවත් වන ආකාරය ගැන ඇය මට ඉගැන්වුවා. අම්මා එදා මට දුන් අවවාද ඒ කාලයේ මට නොතේරුණත් ජීවිතයේ ඉදිරියට යන විට ඇයගේ උපදේශ මට වැදගත් වුණා. ඇතැම් ප්‍රශ්න විසඳා ගැනීමට ඇය දුන් උපදේශ කොතරම් වැදගත් දැයි මට වැටහුණා.

ඇය මට උපදෙසක් දෙන්නේ මාව තුරුල් කරගෙන හිස අතගාන ගමන්. එතකොට ඒ අවවාදය මගේ හිතට හොඳින් කාවැදෙනවා. ඒ අවවාද අදටත් මගෙ මතකයේ රැඳී තිබෙන්නේ ඒ නිසා බව මගේ විශ්වාසයයි.

වසන්ත දුක්ගන්නාරාළ සහ සිය මව අතර වූ අමතක නොවන මතක අතරින් කිහිපයක් අප හමුවේ ප්‍රකාශ කළේ මේ ආකාරයෙනි.

මං පුංචි කාලයේ පහේ ශිෂ්‍යත්ව විභාගය අසමත් වෙනවා. මං පන්තියේ හොඳින් ඉගෙනුම ලැබුවත් ඒ කඩඉම ජය ගැනීමට මට හැකි වුණේ නෑ. ඇය පහේ පන්තියට ඉගැන්වූ ගුරුවරියක ලෙස ඒ ගැන කනගාටු වූ බව නිසැකයි. ඒත් අම්මා ඒ කනගාටුව දරාගෙන ඒ බවක් නොපෙන්වා මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දිරිමත් කළා. ශිෂ්‍යත්වය අසමත් වූ දවසේ අම්මා මට ලස්සන වසිලිස්සා නම් සුරංගනා කතා පොත තෑගි කළ හැටි අද වගේ මතකයි. එදා ඒ පොත කියැවූ මම එහි කතාවලට වශීකෘත වුණා. තවමත් ඒ පොත මා ළඟ තිබෙනවා. විභාගය අසමත් වූ මට ඒ වගේ සුරංගනා කතා පොතක් තෑගි දුන්නේ මන්දැයි මට එදා සිතා ගන්නත් බැරි වුණා. ඇය මිය යන තුරු මා ඒ ගැන ඇගෙන් විමසුවේ නෑ. එහෙත් සත්‍යය සහ නිර්මාණය අතර වෙනස තේරුම් ගැනීමට අම්මා එවැන්නක් කළා යැයි මා පසුකලෙක වටහා ගත්තා.

ඒ වගේම අම්මා අසනීපව පසු වුණු කාලයේ මම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියා. ඉතින් ඒ කාලයේ මම නිවාඩුවට ගෙදර පැමිණි වෙලාවක “මට උණු වතුර නාන්න ඕනි යැයි ඉල්ලීමක් කළා. අපි අනුරාධපුරේ ජීවත් වුණත් අම්මාගේ අසනීප තත්ත්වය නිසාම ඇයට සීතලක් දැනෙන බව වෛද්‍යවරුන් පවා කියා තිබුණා. ඉතින් මං ගෙදර පිළිකන්නේ මුට්ටියක වතුර උණු කරලා අම්මාව නෑව්වා. මගේ පුතා බුදු වේවා යැයි එදා අපේ අම්මා පැවසූ වදන් පෙළ මගේ හිතේ අදටත් රැව් පිළි රැව් දෙන්නේ මගේ හිත සසල කරවමින්. එදා අම්මා නාවන වතුරෙන්ම මගේ ඇස්වලින් රූරා වැටුණු කඳුළු මං පිසදා ගත්තා.

සිය මව සිහි වනු වස් ඔහු සතුව ඇති සිහිවටන ගැන දුක්ගන්නාරාළ අප හමුවේ පැවසුවේ මෙවන් කතාවකි.

අම්මා මට එවපු අවසන් ලියුම අදටත් මා සතුව තිබෙනවා. ලැමිනේටින් කරලා සුරක්ෂිතව තබා ගැනීමට තරම් එය මට අගනා සිහිවටනයක්. ඒ ලියුම මට ලැබෙන්නේ මා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන කාලයේදීයි.

මං කලාකරුවෙක් වුණත් අපේ පරම්පරාවේ කවුරුත්ම කලා ක්ෂේ්ත්‍රයට සම්බන්ධ නෑ. ඒත් අපේ අම්මා ගුරු විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ නර්තනය සහ සංගීතය හදාරලා තියෙනවා. ඉතින් මගේ කලා ජීවිතයට මූල බීජය ලැබෙන්න ඇත්තේ ඒ හරහා යැයි මා විශ්වාස කරනවා. අම්මා ඒ කාලයේ වැයූ වයලීනය කාලයක් මා සතුව තිබුණා. මට වයලීන් වයන්න බෑ. ඒත් එය මට අගනා සිහිවටනයක්.

සිය මවගෙන් ඔහු ජීවිතයට උකහා ගත් ගුණාංග ගැන දුක්ගන්නාරාළ මෙසේ අදහස් පළ කළේය.

අම්මා බොහොම කරුණාවන්තයි. ඇය නිහඬ, ඉවසිලිවන්ත චරිතයක්. කලා ක්ෂේත්‍ර්‍රයේදී කා සමඟත් කලබල ඇති කර නොගෙන පාඩුවේ වැඩ කිරීමේ කලාව අම්මාගෙන් ලැබුණු දායාදයක් යැයි මා විශ්වාස කරනවා.

මව ගැන අදහස් දැක්වූ වසන්ත දුක්ගන්නාරාළ අනතුරුව සිය බිරිඳ ගැන පළ කළේ මෙවන් අදහසකි.

මගේ බිරිඳ, මනෝජා ප්‍රියදර්ශනී දුක්ගන්නාරාළ. ඇය සහ මම ඒ කාලේ සවන ගුවන් විදුලියේ එකට වැඩ කළා. ඒ දවස්වල බොහෝ විට මම සහ මනෝජා එක බීම් එකක වැඩට වැටෙනවා. අපි දෙන්නාගේ මුහුණුවර, කොණ්ඩය හැම දෙයක්ම එක හා සමානයි. ඇතැම් විට අපි වෙනස් බීම්වලත් වැඩට වැටුණු අවස්ථා තිබුණා. ඉතින් මම ඇයට කලින් බීම් එකක වැඩට වැටුණොත් මම කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි ගීතය ප්‍රචාරය කරනවා. අනතුරුව මගේ වැඩ නිමා වෙලා වාහනය එනතුරු රැඳී සිටින විට ඇය බීම් එකට ඇවිත් ඔබ සොයනා කළු කෙල්ල මමයි ගීතය ප්‍රචාරය කරනවා. ඉතින් ඔය කතාව ඒ කාලයේ හරිම ප්‍රසිද්ධයි. ඉතින් ඔය විදිහට මට එකිනෙකාට ළං වෙනවා. ප්‍රේම කරනවා. අවසානයේ කසාද බඳිනවා.

දරුවන් වෙනුවෙන් ආදරණීය බිරිඳ මනෝජා කළ කැප කිරීම් ගැන දුක්ගන්නාරාළ මෙසේ සිය අදහස් දිගහැරියේය.

ඇය ශ්‍රී එෆ්. එම් ගුවන් විදුලි නාළිකාවේ ප්‍රධාන නිවේදිකාවක ලෙස කටයුතු කරන කාලයේදී ඇය එයින් ඉවත් වෙන්නේ දරුවන්ගේ කටයුතු වෙනුවෙන්. මමත් ඒ කාලයේ කලා කටයුතු වෙනුවෙන් බොහොම කාර්යබහුලයි. ඉතින් අපි දෙන්නා කතාබහ කරලා දෙන්නාගෙන් එක්කෙනෙක් කලාවෙන් ඈත් විය යුතු යැයි තීරණයකට ආවා. ඒ අනුව මනෝජා සිය වෘත්තිය දෙවැනි කොට දරුවන් වෙනුවෙන් සිය ජීවිතය කැප කළා. ඉතින් මම ගෙදරින් බාහිරව කලා කටයුතුවලට කැප වෙද්දි ඇය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, නිවසේ කටයුතු කටයුතු වෙනුවෙන් කැප වුණා.

අද දරුවන් උසස් අධ්‍යාපන කටයුතුවල අවසන් අදියරේ ඉන්නවා. පියෙකු ලෙස එදා ගත් ක්ෂණික තීරණයක් නිසා ඔහු අද අත් විඳින සැනසිලිදායක සතුට දුක්ගන්නාරාළ මෙසේ වචනවලට පෙරළුවේය.

මනෝජාට දුව ලැබෙන්න සිටි කාලයේ දවසක මම වැඩසටහන් කිහිපයකට සහභාගි වෙලා ගෙදර ආවේ පහුවෙනිදා පාන්දර. ඒ වන විට ඇය ටිකක් අපහසුවෙන් සිටි බව මා වටහා ගත්තා. මා මහන්සි වී ගෙදර පැමිණි නිසාම ඇය රෝහලට යෑම දහවල් වන තුරු ප්‍රමාද කරමු යැයි ඉල්ලීමක් කළා. එහෙත් මම එය ප්‍රතික්ෂේප කර එවේලේම ඇයව රෝහල්ගත කළා. එදා තව මොහොතක් ප්‍රමාද වූයේ නම් මනෝජාගේ හෝ දරුවාගේ හෝ ජීවිතයක් අහිමි වීමට ඉඩ තිබුණා යැයි වෛද්‍යවරු ප්‍රකාශ කළ සැටි මට අද වගේ මතකයි. ඉතින් එදා මං ගත් තීරණය අද ම‌ගේ ජීවිතයට විශාල සතුටක්. එදා මා ප්‍රමාද වූවා නම් අදටත් මං ඒ ගැන නිසැකවම පසුතැවෙනවා.

සිය වෘත්තීය දිවියේ සහ පවුල් ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් මනෝජාගෙන් ලැබුණු අතහිත ගැන කතා කරන්නටද දුක්ගන්නාරාළ අමතක නොකළේය.

මනෝජා මුණ ගැහෙන විට මං කොළඹ ගත කළේ ඉතා දුෂ්කර ජීවිතයක්. මට ඒ කාලේ ලොකු පඩි නෑ. බෝඩිම් කාමරවලට ගෙවා ගෙන ගත කළ ජීවිතය අතිශයින්ම දුෂ්කරයි. ඉතින් ඇතැම් දිනවලට මටත් එක්ක මනෝජා කෑම එකක් බැඳගෙන එනවා. අපි මුලින්ම කාරයක් ගන්නට හදන විට මුදල්වලින් කොටසක් ලබා දෙන්නත් ඇය පැකිලුණේ නෑ. අපි විවාහ වී දරුවන් ලැබුණාට පස්සේ මුදල් ඉතුරු කරන්න උනන්දු කළේ ඇය විසින්. ගෙයක් දොරක් හදාගෙන, වාහනයක් අරගෙන පිළිවෙළට ජීවිතය ගොඩනගා ගන්නා සැටි ඇය මට කියා දුන්නා.

මගේ ප්‍රශ්න මුලින්ම මම කියන්නේ මගේ බිරියට. ඇය එහිදී මට මූලික විසඳුම් ලබා දෙනවා. ඇයත් ප්‍රශ්නයක් ආ විගස එය මට කියනවා. ඉතින් අපි අතර රහස් නෑ. දරුවන් උස් මහත් වුණත් අපි දෙන්නා අතර සබඳතාව එදා වගේම අදත් නොවෙනස්ව පවතිනවා.

ජනප්‍රිය පුද්ගලයෙක් ලෙස මට ප්‍රිය කරන අයගේ ප්‍රතිචාර ඇය ඉවසා වදාරගෙන කටයුතු කරනවා. ඇයට ප්‍රශ්නයක් ආවොත් ඇය ඒ ගැන විමසනවා. දෙන්නාට දෙන්නාට අවබෝධයෙන් සාර්ථකව අපේ පවුල් ජිවිතය ගෙන යන්නේ ඒ විදිහටයි. නිතරම අපි දෙන්නාට දෙන්නා සොයා බලනවා. ඒ සොයා බැලීම නිසා අපේ ආදරය එදා වගේම අදත් නොවෙනස්ව ගලාගෙන යනවා.

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?