මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිවන්නේ වෙනිසියුලා විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝ වෙත බව නොබෙල් කමිටුව නිවේදනය කර තිබෙනවා. “වෙනිසියුලාවේ යකඩ ගැහැනිය” යනුවෙන් ප්‍රකට ඇය මේ ආරංචිය ලද විගස ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ ,” මට මේක හිතාගන්නවත් බෑ..සතුට වැඩිකමටම මට ඇතිවුණේ තිගැස්මක්…” යනුවෙන්.
නොබෙල් සාම ත්‍යාගය මාරියා වෙත පිරිනැමෙන බව නිවේදනය කරමින් නොබෙල් කමිටුවේ ප්‍රධානියා පවසා තිබුණේ , ” මාරියා කොරීනා යනු , අභීත මෙන්ම සාමය වෙනුවෙන් කැපවූ හා වැඩෙමින් ඇති අඳුරට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනිසිළුව දල්වන කාන්තාවය..” යනුවෙන්.
මෙවර නොබෙල් සාම ත්‍යාගය අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත හිමිවනු ඇතැයි ද මත පළ වූ අතර , එය දිරිගැන්වීමේ ව්‍යාපාරයක් ද දියත්ව තිබුණා.
වෙනිසියුලාවේ වර්තමාන ජනාධිපති නිකොලස් මදුරෝගේ පාලනයට එරෙහිව විපක්ෂය මෙහෙයවන මාරියා මේ වනවිට ජීවත් වන්නේ අප්‍රකටවයි. ඇය සිය පක්ෂ ක්‍රියාකාරීන් දිරි ගන්වන්නේ ද මදුරෝ පාලනයට එරෙහිව විපක්ෂය පෙළ ගස්වන්නේ ද බොහෝදුරට සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින්.
ඉකුත් වසරේ දී පැවැති එරට ජනාධිපතිවරණයට තරග කිරීමෙන් ඇය වැළකුණා. ඊට බලපෑවේ අධිකරණ තීන්දුවක්. ඇයගේ පක්ෂයේ අපේක්ෂකයා වූයේ , එඩ්මන්ඩෝ ගොන්සාලේස් උරුටියා.
නොබෙල් ත්‍යාගය පිළිබඳ පුවත ඇයට දැනුම් දී ඇත්තේ ද ඔහු. එය දන්වමින් ඔහු පවසා තිබුණේ ද “මේ සතුටුදායක ආරංචිය අප තුළත් තිගැස්මක් ඇතිකළා …” යනුවෙන්.
එම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ, ඒ වනවිටත් ජනාධිපතිව සිටි නිකොලස් මදුරෝ.
එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවූ බවට ජාත්‍යන්තරයෙන් විවේචන එල්ල වුණා. හියුගෝ චාවේස්ගේ අනපේක්ෂිත මරණයත් සමඟ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස බලයට පත්වූයේ , මදුරෝ. චාවේස් මෙන් අනුහස්ජනක හා කැපීපෙනෙන නායකයෙක් නොවුණ ද ඔහු ද අමෙරිකාවේ සහ බටහිර සතුරෙක් බවට පත්වුණා. ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැති විරෝධතාවක දී මාරියා අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව නිදහස් කෙරුණා. ඉන් අනතුරුව ඇය අප්‍රකටව වාසය කරන්නේ ආරක්ෂාව වෙනුවෙන් .
මාරියා කොරීනා වෙත නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට ගත් තීරණය ප්‍රකාශයට පත්කරමින් නොබෙල් කමිටුව සඳහන් කර තිබුණේ, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇය වෙහෙස නොබලා ගෙනයමින් සිටින ප්‍රජාතන්ත්‍රීය අරගලය එරට පාලනය ආඥාදායකත්වයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය කරා සාමකාමී පරිවර්තනයකට යොමු කිරීමට හේතුවනු ඇති බවයි.
මෙවර මෙම ත්‍යාග පිරිනැමීමේ දී යම් පීඩනයක් එල්ල වූයේ දැයි යනුවෙන් මතු වූ ප්‍රශ්නයකට නොබෙල් කමිටුවේ සභාපති ජෝර්ගන් ෆ්‍රීඩ්නස් ප්‍රතිචාර දැක්වූයේ , ” අප ක්‍රියාකරන්නේ අපගේ තීරණ සහ ඇල්ප්‍රඩ් නොබෙල්ගේ කැමැත්තට අනුවයි …” යනුවෙන් පවසමින්.
මාරියා කොරීනා මීට අවශ්‍ය නිර්ණායකයන් සියල්ල සපුරා ඇතැයි ද ඔවුන් පෙන්වා දී තිබුණා.
කෙසේ වුවද , මෙවැනි සම්මාන සමඟ දේශපාලනය ඈඳී තිබීම කලක් තිස්සේ විවේචන හා මතවාදයන්ට ලක්ව ඇති කාරණයක්.
මාරියා කොරීනා මචාඩෝ පරිස්කා 1967 ඔක්තෝබර් 7 වැනිදා උපත ලැබුවේ , දියණියන් සිවුදෙනකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවා ලෙසයි. කර්මාන්ත ඉංජිනේරු උපාධිධාරිණියක වන ඇය මූල්‍යකරණය පිළිබඳ විද්‍යාපති (MSc) උපාධිධාරිණියක ද වනවා. ඇය දේශපාලනයට අවතීර්ණ වූයේ , 2002 වසරේ දී . ඒ , Sumate නම් සිවිල් සංවිධානයේ ස්වේච්ඡා ක්‍රියාකාරිණියක වශයෙන්. බෙදා වෙන්කර ඇති මිනිසුන් එකතුකිරීම ඔවුන්ගේ අරමුණක් බව කියැවුණා. එවක ජනාධිපති චාවේස්ගේ පාලනයට එරෙහිව විරෝධතා දියත් වූයේ ද මේ සංවිධානයේ මූලිකත්වයෙන්.
මාරියාගේ දේශපාලන පක්ෂය , Vente Venezuela පක්ෂයයි.
එය පෙනී සිටින්නේ විනිවිද භාවයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් හා ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන්. රාජ්‍ය හිමිකාරිත්වය වෙනුවට පෞද්ගලීකරණය හඳුන්වා දිය යුතුය යන ප්‍රතිපත්තිය මත පිහිටා සිටින එය, වෙනිසියුලා තෙල් සමාගම (PDVSA) වැනි රාජ්‍ය සමාගම් පෞද්ගලීකරණය කළ යුතු යැයි ද පෙන්වා දෙනවා. යුරෝපා සංගමය (EU) පසුගිය වසරේ දී ඔවුන්ගේ ප්‍රධානම මානව හිමිකම් ත්‍යාගයක් පිරිනැමුවේ ද මාරියාට සහ ඇගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ එඩ්මන්ඩෝ වෙතයි.
වෙනිසියුලා ජනජීවිතය දරිද්‍රතාව හේතුවෙන් මෙන්ම , විදුලිය , ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟතාව හේතුවෙන් ද පීඩාවට පත්ව ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරනවා. මෙවැනි අසීරුතා හේතුවෙන් අමෙරිකාවට සහ අසල්වැසි අනෙකුත් රටවලට සංක්‍රමණය වී ඇති වෙනිසියුලා ජාතිකයන් සංඛ්‍යාව මිලියන ගණනක් බව සඳහන්.
මේ වනවිට 58 හැවිරිදි වියේ සිටින මාරියා දරුවන් තිදෙනකුගේ මවක්. තම පවුලට මරණ තර්ජන එල්ල වී ඇතැයි ප්‍රකාශ කරමින් දරුවන් රටින් පිටකළ නමුත් , ඇය වෙනිසියුලාවේ ජීවත් වෙනවා.