Sunday, December 7, 2025
Epaper
Home Highlightsස්වාමියාගේ දේපළ සම්බන්ධයෙන් නීත්‍යනුකූල බිරියට තිබෙන අයිතිය

ස්වාමියාගේ දේපළ සම්බන්ධයෙන් නීත්‍යනුකූල බිරියට තිබෙන අයිතිය

අත්‍යවශ්‍යම දේ තමයි විවාහ සහතිකය

by Thanushika

“දරුවො නැති වුණාට ඒ දෙන්නා හරි ලස්සනට ජීවත් වුණා නේද ?”

“ඒ මහත්තයට දේපළ, ඉඩකඩම් කොච්චර තිබ්බා වුණත් කවදාවත් ඒ බලය පෙන්නුවේ නෑ.”

“ඒ මහත්තය අකාලේ මැරිලා ගියා. වයිෆ්ට දේපළ මුකුත් ලියලා තිබිලත් නැහැ. ඒ දේපළ ඉඩකඩම්වලට මොනවා වෙයිද දන්නේ නැහැ නේද?”

මේ ගමේ බස් නැවතුම්පොළේ දී සවනත වැකුණු සංවාදයකි. බාහිරට ගමේ ගැහැනුන් අතර කතාබහට ලක් වූ ඕපාදූපයක් හෝ සාමාන්‍ය කතාබහක් වුවද මෙහි නීත්‍යනුකූල පැතිකඩ දැනගැනීම කාටත් ප්‍රයෝජනවත් වනු ඇත. දේපළ, ඉඩකඩම් ඉල්ලා රණ්ඩු දබර කරගන්නවා වෙනුවට එහි නීත්‍යනුකූල පැතිකඩ නිවැරැදිවම දැනගෙන කටයුතු කිරීම බොහෝ ප්‍රශ්නවලට පිළිතුරක් වනු ඇත.

ඉහත කතාව පිළිබඳ නීත්‍යනුකූල පිළිතුරක් ලබා ගැනීමට, නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය හිරාන් සෙනෙවිරත්න මහතා සමඟ තරුණි අප කතාබහ කළෙමු.

නීතිඥතුමනි, එකදු දරුවකු හෝ නොමැතිව, ස්වාමියාගේ කිසිදු දේපළක් බිරියට හෝ වෙනයම් අයකුට පවරා නොමැති අවස්ථාවකදී, ස්වාමියා හදිසියේ මියගියේ නම් ඒ දේපළ සම්බන්ධව බිරියට අයිතියක් තියනවාද?

මෙහිදී ස්වාමිපුරුෂයාගේ මවුපියන් ජීවත්ව සිටී නම් මවුපියන්ට දේපළවලින් හරි අඩක් සහ බිරියට හරි අඩක් හිමි වෙයි.

ස්වාමිපුරුෂයාගේ මවුපියන් නොමැතිව සහෝදරයන් ජීවත්ව සිටී නම් ඔවුනට දේපළවලින් හරි

අඩක් සහ බිරියට හරි අඩක් හිමිවෙයි.

ඉහත කී යුවළට දරුවන් සිටියේ නම්

දරුවන් සිටියා නම් සියයට පනහක් සිය දරුවන්ටත් සියයට පනහක් නීත්‍යනුකූල බිරියටත් හිමි වෙනවා.

ස්වාමියාගේ කිසිදු දේපළක් බිරියට පවරා නොමැති අවස්ථාවකදී දරුවෝද බිරියද මිය ගියහොත් ඒ දේපළවල අයිතිය හිමිවන්නේ කාටද?

ස්වාමියාගේ මවුපියන් ජීවත්ව සිටියේ නම් මවුපියන්ටද සහෝදරයන් සිටී නම්, සහෝදරයන් අතර ද එය සම සමව බෙදී යනවා.

ස්වාමියාගේ දේපළ බිරියට පවරා ගැනීමට නම් කුමක් කළයුතුද?

මේ සඳහා බිරියට බූදල් නඩුවක් දාන්න වෙනවා. අද නීතියට අනුව ස්වාමියා විසින් බිරිය නොදැනුවත්ව කිසියම් ණයක් අරගෙන තිබෙනවා නම් ඒ ණය පියවීමට තිබෙනවාද යන වග සහ මේ දේපළ සම්බන්ධව වෙනත් කිසියම් අයිතිකාරයන් සිටිනවාද යන වග දැනගැනීමට ලේක්හවුස් පත්තර තුනක දෙවතාවක් දැන්වීමක් පළ කරනවා. ඒ ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව තමයි එය පවරාගන්න පුළුවන් වෙන්නේ.

නීත්‍යනුකූල විවාහක බිරියට සිය ස්වාමියාගේ උරුමය තහවුරු කර ගැනීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන සඳහන් කළොත්?

මෙහිදී ඉතාමත් අත්‍යවශ්‍ය දේ තමයි විවාහ සහතිකය. හේතුව එයින් තමයි ඇය මොහුගේ නීත්‍යනුකූල බිරිය බවට ඔප්පු කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අත්‍යවශ්‍ය දේ තමයි ස්වාමියාගේ මරණ සහතිකය. මේ දේවල් මඟින් නීත්‍යනුකූල විවාහක බිරියට උරුමය තහවුරු කරගන්න පුළුවන්.

බිරිය සිය ස්වාමියාගෙන් දික්කසාද වී සිටින අවස්ථාවක මෙම දේපළ සම්බන්ධව අයිතිය කෙසේද?

ස්වාමියා සහ බිරිය නීත්‍යනුකූලව දික්කාසාද වී ඇත්නම් මේ දේපළ පිළිබඳ කිසිදු අයිතියක් බිරියට නැහැ. ස්වාමියාගේ මවුපියන් ජීවත්ව සිටී නම් ඔවුන්ට සහ සහෝදරියන් සිටී නම් ඔවුන් අතර සම සමව ද මේ දේපළ බෙදී යනවා.

ස්වාමියාගේ නමට ලියා තිබූ දේපළක් බිරියට පවරාගන්නේ කෙසේද?

මෙහිදී ස්වාමියා ජීවත්ව සිටියදී තෑගි ඔප්පුවකින් පවරා තිබීම හෝ ඔහු අන්තිම කැමැති පත්‍රයකින් එය පවරා ඇත්නම් එය බිරියට හිමිවෙනවා. තෑගි ඔප්පුවක් ලියන අවස්ථාවකදී ස්වාමියාට ජීවිත භුක්තිය තබාගෙන සිය නීත්‍යනුකූල බිරියට එය පවරා ඇති නම් ස්වාමියාට මිය යන තුරුම එහි ජීවත් වෙන්න පුළුවන්.

වැදගත්ම දේ තමයි අන්තිම කැමති පත්‍රය තුළින් ස්වාමියා වෙන කිසියම් අයකුට එය පැවරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත්නම් එහිදී උසාවිය කටයුතු කරන්නේ අන්තිම කැමැති පත්‍රය අනුවයි.

උපදෙස්: නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය

හිරාන් සෙනෙවිරත්න

LL.B (Sri Lanka) LL.M (UK)

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?