Monday, October 20, 2025
Epaper
Home නවකතාවඑයා ඔයා අතෑරලා ඉවරයි

එයා ඔයා අතෑරලා ඉවරයි

by Thanushika

දිගින් දිගටම එකම මානසික පීඩාව දරා ගැනීමට හුරු වීමෙන්, කලක් යන විට එය අත්හැරිය නොහැකි ආස්වාදයක් බවට පත් විය හැකියි. එවිට වේදනාව රසයක් බවට පත් වෙයි. දැන් තමා වේදනාවෙන් විනෝද වීමට හුරු වී ඇත්දැයි නිගූට සිතෙයි.

කාංචනා නිසා දෙවසරක පමණ කාලයක් තිස්සේ තමා මොනතරම් සිත් තැවුල් කන්දරාවක් දරා ගන්නට ඇත්ද? කවර මානසික පීඩාවක් දරා ගනිමින් වුවද තම රස්සාව ද ආරක්ෂා කර ගැනීමට මහන්සි වූ හැටි මතක් වීම ආත්මානුකම්පා අවුළයි. එය තවත් ආතතියකි. විනෝදයට වඩා වේදනාවේ රසය හඹා යන සිතුවිලි සමඟ නිගූ නිතර සටන් කරයි.

කාංචනා සමඟ ගෙවුණු අතීත ආදර මතක පුච්චා දමන්නට විරාජයා උදා කළ මධුවිත ද සැර දුම ද සරාග ගැහැනු ද වැලඳ ගත් රාත්‍රීන් පවා පසුදින ඉතිරි කරන්නේ වේදනාවකි. එය දරුණු හිසරුදාවක හා කාලකණ්ණි හැඟීමක හිත ගිල්වා දැමීමකි.

සාරා බලන්නට ගොස් අම්මා බණ්ඩාරගමින් බස්සා ආපසු එන්නට හැරෙන විට කාංචනා ගැන අම්මා කියූ දේ නිගූගේ හිතේ තවම තෙපුල් දෙයි.

” කාංචනා එයාගේ දේවල් ඔක්කොම කර ගන්නවා. එයා ඔයාව අතෑරලා ඉවරයි නිගූ.. ඔයා තව විඳවන්නෙපා…ඔයා මං හින්දවත් ඔයාගේ සතුට නැති කර ගන්නෙපා.. තේරුණා ද?”

අම්මාගේ වචනවල වගකීම්සහගත දැඩි ස්වරයක් රැඳී තිබුණද අම්මාගේ ඇස් අගට පුරා ඇති කඳුළු බිංදුවක් දිලිසෙයි.

“කාංචනා ඔක්කොම දේවල් කරගන්නවා” යනුවෙන් අම්මා අදහස් කළේ කුමක් ද? කාංචනා වෙනදාට වඩා සතුටින් සිටින බව අම්මා ද දකින්නට ඇති. ගැහැනු සිත කියවිය හැකි විද්‍යාව අම්මා දනියි. කිසිදු අමනාපයක් හෝ සිත් තැවුලක් අාරෝවක් නොපෙන්වා ඒ ගෙවුණු පැය කීපය තුළ කාංචනා අම්මා සමඟ කියවයි. වෙනදා මෙන් නිගූ ගැන කිසිම නෝක්කාඩුවක් නොකියයි. ඈ වෙනදා සිටි ආතතියෙන් මිදී කිසියම් මුරණ්ඩු සතුටක ගැලී සිටි බව නිගූට ද වැටහෙයි. ඈ ලෝකයාට කුද ගසා ගන්නැයි කියා තම සතුටු බුබුළෙහි ජීවත් වන ගැහැනියකි.

ඈ අපේක්ෂා කළ ආදරය අශාන්ගෙන් ලැබෙන බව නොවේ ද ඇගේ හැසිරීමෙන් පිළිබිඹු වන්නේ. නිගූ සමඟ කලහ කර ගන්නට පටන් ගත් මුල් දවස්වල ගේ දොර හැඩි වී, සින්ක් එක ළඟ ඉඳුල් බඳුන් ද පිඟන් කෝප්ප ද ගොඩ ගැසී තිබුණු කාලය සිහි වෙයි. දැන් ඒ කිසිත් නැත. හැමතැනම පිරිසුදුයි. පැන්ට්‍රිය ළඟ වියළියි. මිදුල කලඑළියයි. ගෙදරක පිළිවෙළ ඒ ගෙදර ජීවත් වන ගැහැනියගේ සිත විදහා පෙන්වන කැඩපතක් මෙනි. වැඩට යමින් සාරාගේ හෝම්වර්ක් කරමින් ගේ දොර කටයුතු කර ගැනීම අමාරුයි. එහෙත් කෙසේ හෝ ගේ දොර අස්පස් කරගෙන පිළිවෙළට තබාගෙන ජීවත් වීමට සිත තුළ නලියන වෙනම ප්‍රමෝදයක් තිබිය යුතුයි. එය පිටතට නොපෙන්වන ප්‍රමෝදයකි. ජීව ගුණයකි.

“මං කැමැති අදහස් තියෙන පිරිමින්ට වඩා ගෑනියෙක්ගෙ අදහසට ඇඟෙන් වැඩ කරන පිරිමියකුට.”

කහතුඩුවේ ගෙදර නිගූගේ කාමරයට වැදී, අරගෙන යාමට අවශ්‍යම පොත් පත් තෝරා පොත් රාක්ක අදිද්දී, කාංචනා ළඟට එයි.

“ඔයාට මතකද අර උපේකලා ද කවුද කියලා කවි ලියන එකියක්ගෙ දොරට වැඩුමකට ගිහිල්ලා ඔයා කිවුවෙ පිරිමින්ට තමා අදහස් තියෙන්නෙ.. ගෑනුන්ට අදහස් නෑ.. ගෑනු ආදරේ කරන්නෙ අදහස් තියෙන පිරිමින්ට කියලා…එදා එතැන හිටපු කට්ටිය ඔයාව හරියට අගේ කළාට මගෙ හිත නම් ඒ වෙලාවෙත් ඔයාට ඔපසිට්.”

කාංචනා වෙනදාට වඩා විවෘතව කියවයි.

හර්මන් හෙසගේ සිද්ධාර්ථ සහ තවත් ආසාවෙන් කියවන පොත් වගයක් ගොඩගසමින් සිටින නිගූ කාංචනාගේ මේ හැසිරීමෙන් විමතියට පත්ව සිටියි.

“තව කොහෙ හරි තැනකදි මට මතකයි ඔයා කියනවා ගෑනුන්ට ලිංගික අවයව නෑ ..තියෙන්නෙ ප්‍රජනන අවයව විතරයි කියලා.. ඒක හරි.. හැබැයි ගෑනියකුගේ ඕ‍ෙන අවයවයක් ලිංගික වෙනවා ආසා කරන පිරිමියා ඉස්සරහා..”

නිගූට කාංචනාගේ වචන ගැන හිතා ගත නොහැකි තරම් පුදුමයක් ද කේන්තියක් ද අප්පිරියාවක් ද ඇති වෙයි. ඈ මේ කරන්නේ අදහස් නැති, ඇඟෙන් වැඩ කරන පිරිමියකුට තමා වසඟ වීම සාධාරණීකරණය කර ගැනීමක් නොවේ දැයි ඔහුට සිතෙයි. ඈ මොන දේ කීවද කිසිවක් නොකියා නිහඬව සිටින්නට නිගූ තමා වෙතම සනිටුහන් කර ගත්තේ මාලබේ නි‍ෙවසින් පිට වෙද්දීමයි. එය තවමත් එලෙසමයි. කාමරයෙන් පිට වන මොහොතේ දී කාංචනා නිගූ වෙත නැඹුරුව මෙසේ පවසයි.

“මේ නිගූ මං මගෙ සතුට හොයාගෙන තියෙන්නෙ.. ඔයා ඔයාගේ සතුට හොයාගන්න..අහ්… මට වැරදුණා.. ඔයා ඉතින් ඔය ඔයාගේ සතුටමනෙ පස්සෙන් එල්ලන් ඇවිදින්නෙ..”

මොනතරම් සාමකාමීව කතා කළත් අවසන් මොහොතේ නිගූ සහ අම්මා සම්බන්ධ කර කාංචනා තම ඊර්ෂ්‍යාව පුපුරුවයි. නිගූගේ කෝපය ඇවිළෙයි. අතමිට මෙළවෙයි. දත් මිටි කැවෙයි. එහෙත් යළිදු මුනිවත රැකීමේ සනිටුහන සිහි කර කාමරයෙන් පිට වෙයි.

කහතුඩුවේ සිට බණ්ඩාරගමට යනතුරු සෑම පිරවුම් හලක් ළඟම දිගු පෝළිම් දක්නට ලැබෙයි. නිගූගේ රථයෙහි භාගයකට වඩා ටැංකිය පිරී තිබෙයි. අම්මා ඇරලවා ආපසු මාලබේට යාමට තෙල් ප්‍රමාණවත්ය. එහෙත් හෙට ඔහු ලොකේෂන් එකක් බැලීම සඳහා කුරුණෑගල යා යුතුයි.

රට එන්න එන්නම අවුලට යමින් තිබෙන බව ඇසෙයි. ජනමාධ්‍ය වෙනදාට වඩා ජන ජීවිතය හසුරුවයි. තෙල් පෝළිම්වල දිග වැඩි වන විට ඒවායේ විනෝදය ද වැඩි වෙයි. තෙල් ගසා ගැනීම සඳහා ගැහැනුත්, පිරිමිත් බයිසිකල්, ස්කූටර්, කාර් නවතාගෙන රෑ දවල් බලා සිටිති. තැනින් තැන උද්ඝෝෂණ ද ආණ්ඩු විරෝධී හැසිරීම් ද වැඩි වෙයි. නිවෙස් තුළ ගෑස් සිලින්ඩර් පුපුරා යාම් ගැනත් ගෑස් පෝලිම්වල දිවා රෑ ලැග සිටින ගැහැනුන්ගේ මැසිවිලි ඝෝෂාත් ජනමාධ්‍යයෙන් නිතර ඇසෙයි.

මාලබේ නි‍ෙවසට පැමිණෙන විට විදුලිය බිඳ වැටී තිබුණු බැවින් ලිෆ්ට් එක වැඩ නොකරයි. තට්ටු හතරම පඩිපෙළ නැඟ ගෙදරට පැමිණෙන නිගූගේ හිත හැම පැත්තකින්ම ව්‍යාකූල වී තිබේ.

ඇඟපත සෝදාගෙන කෝපි එකක් හදාගෙන බැල්කනියට විත් සිගරට්ටුවක් දල්වා ගනියි. කල්පනාවේ පාවෙන්නට ඉඩක් නොලැබෙයි. අනුරුද්ධ කතා කරයි. අනුරුද්ධ විජේබණ්ඩාර නිගූගේ සරසවි සමයේ පටන් දේශපාලන සගයෙක්. කාලයත් සමඟ නිගූත්, ඔහුත් සරසවි සමයේ ව්‍යවෘතව සිටි දේශපාලනයෙන් බැහැරව සිටියි.

” මචං නිගූ, වැදගත්ම කාරණා වගේකට උඹව හම්බෙන්ඩ ඕ‍ෙන.. වෙලාවක් දියන්.. කතා කරන්ඩෝනෙ. ”

 

තවත් කොටසකින් හමුවෙමු

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?