මුතුන්මිත්තන්ගේ කාලයේ ඉඳන් පැවත එන පන් මල්ල අපේ සාම්ප්‍රදායික බව ඒත්තු ගන්වන සංකේතයක්. එදා පන් මල්ල නවීන ලෝකයට ගැළපෙන විදිහට නව මුහුණුවරකින් නිර්මාණය කරගන්න හොඳම කාලයයි මේ. ඉතින් පන් බෑගයට ලස්සනම ලස්සන රිබන් එම්බ්‍රොයිඩරි කලාවත් එකතු කරගෙන වෙනස් නිර්මාණයක් කළොත් එදා පන් බෑගයට අලුත් වටිනාකමක් එකතු වේවි.
අවශ්‍ය ද්‍රව්‍ය
පන් බෑග් එකක්
අඟලක ප්‍රමාණයේ සැටින් රිබන් මෙරූන් පාට සහ සුදු වර්ණයන්ගෙන්
අඟලක ප්‍රමාණයේ කොළ පැහැති රිබන් වර්ණ කිහිපයක්
අඟල් 1/4 කොළ පැහැති රිබන්
ටැපැස්ටි ඉදිකටු
ලයිටරයක්w
සාමාන්‍ය ඉදිකටු
නූල්
ලයිනින් සඳහා සුදුසු රෙදි වර්ගයක්
සිපර් කොටසක්
නිර්මාණය කරගන්නා ආකාරය
නිර්මාණය කරගැනීමට අවශ්‍ය පන් බෑගය පන් ආශ්‍රිත නිෂ්පාදන සහිත වෙළෙඳසල්වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම පන්වලින් බෑග් නිර්මාණය කරගන්න පුළුවන් ගෘහිණියනුත් ඉන්නවා. ඒ අයට පුළුවන් මේ විදිහේ පන් බෑගයක් හදලම මේ නිර්මාණය කරගන්න.
පළමුවෙන්ම මෙරූන් පැහැති සහ සුදු පැහැති අඟලේ රිබන් ගෙන රෝස මලේ මැද කොටස මසා ගන්න. මෙහිදී ෆෝල්ඩ් ස්ට්‍රිච් ක්‍රමයට පෙති නවා ගනිමින් සාමාන්‍ය ඉදිකටුවට නූලක් දමා මලේ මැද මසා ගත යුතුය. අනතුරුව පන් බෑග් එකට මෙරූන් පැහැති රිබන් ආධාරයෙන් රිබන් මැස්මෙන් මල් පෙති තුනක් මසා ගන්න. පසුව පෙර මසා ගත් රෝස මලේ මැද කොටස මසා ගත් පෙති අතරින් තබා හොඳින් මසා ගන්න.
අනතුරුව මලට අවශ්‍ය අනෙක් පෙති ක්‍රමානුකූලව මසා ගන්න. මේ අන්දමට සුදු වර්ණයෙන් ගත් රිබන්වලින් ද බෑගයේ අවශ්‍ය තැන්වලින් මල් මසා ගන්න. රිබන් මැස්ම යොදාගෙන පොහොට්ටු නිර්මාණය කරගන්න. ඒ අතරින් මනිපත්‍ර අඟල් කාලේ රිබන් එක යොදාගෙන රිබන් මැස්මෙන් මසා ගන්න. නටු කොටස් අඟලෙ කොළ පැහැති රිබන් එක අඹරවා ගනිමින් අවශ්‍ය ස්ථානවලින් මසා ගන්න.
රෝස කොළ අවශ්‍ය පමණට බෑගය පුරාම මසා ගන්න. එහිදී කොළ වර්ණ තුනක් පමණ භාවිත කිරීමෙන් අලංකාරය වැඩි කරගත හැකිය. අවසානයේ බෑගයේ ඇතුළු පැත්තේ ඇති වැඩිපුර රිබන් කපා දමා ඉතිරි ඒවා ලයිටරය ආධාරයෙන් පුච්චා ගන්න. බෑගයේ ප්‍රමාණයට සරිලන ලෙස ලයිනින් එකක් යොදා ගන්න. එය බෑගයට දමා අතින් මසා ගන්න. අවශ්‍ය නම් සිපර් එකක් අල්ලා ගන්න.
