Monday, October 20, 2025
Epaper
Home විශේෂාංගSex මැජික් එකක්?

Sex මැජික් එකක්?

by Sachintha Lakehouse

පාසල්වල ලිංගික අධ්‍යාපනය ලබා දෙනවාට බොහෝ පිරිස් විරුද්ධ වෙන හැටි පහුගිය ටිකේම දැක්කා. ඒ කරුණු ඉදිරිපත් කිරීමේ විලාසය ගැන සම්පූර්ණයෙන් එකඟ නොවුණත් ලිංගික අධ්‍යාපනය කියන්නේ නම් ඔය කියන තරම් හංගන්න ඕ‍ෙන රහසක්වත් මැජික් එකක්වත් නෙමෙයි.

පසුගිය කාලය පුරාවටම අහිංසක අසරණ ගැහැනු ළමයි, පිරිමි ළමයි ම්ලේච්ඡ විදිහට දූෂණය කර, සමූහ දූෂණය කර, මරපු අවස්ථා අපි ඇස්වලින් දැක්කා. ඒ වේදනාවන් අපි මවුපියෝ විදිහට, මනුස්සයෝ විදිහට හිත්වලින් විඳෙවුවා.

ඒ දූෂකයෝ, අතවරකරුවෝ කවුරුත් සාමාන්‍ය ජීවිතේදී ඇඳුම් ගලවගෙන දූෂණය කරන්න දරුවෝ හෝ කාන්තාවෝ හොයා හොයා ඇවිද ඇවිද හිටියේ නැහැ. ඒ බහුතර දූෂකයෝ මේ අපි වගේම පිටතින්, සමාජය ඉස්සරහ හොඳ මූණ පෙන්නගෙන හිටපු මිනිස්සු. අපි ජීවත්වෙන මේ සමාජයේ තව කොයිතරම් ඔය වගේ කිලුටු පිරිච්චි දූෂිත සිතුවිලි පිරිච්චි මිනිස්සු ඉන්නවා ඇත්ද? අපේ ගෙවල් අවට, අපේ පවුල්වල පවා ඇති. මොකද ඔය වගේ අපරාධ කරපු බොහෝ මිනිස්සු දරුවෝ, ගෑනු ඉන්න සාමාන්‍ය ජීවිත ගත කරපු අය.

ලංකාව, ඉන්දියාව වගේ තුන්වැනි ලෝක රටවල් sex කියන වචනේ ප්‍රසිද්ධියේ කතා කරන්න පුදුම බයක් තියෙන්නේ, ලිංගික අධ්‍යාපනය දරුවොන්ට උගන්නන ඒක මහා අපරාධයක් විදිහටයි සලකන්නේ. එක නිසා දරුවෝ තරුණ වයසට එනකොට ඔළුවට වැටෙන්නේ sex කියන්නේ කතා කළ යුතු නැති අමුම අමු රහසක් කියලා.

ඉතින් තරුණ දරුවන්ට sex ගැන අමුතු කුතුහලයක් ඇතිවෙනවා. හෝමෝනවල ඇතිවන වෙනස්කමුත් එක්ක ශරීරයෙනුත් ඒකට හොඳ තල්ලුවක් දෙනවා. ඉතින් තරුණ දරුවෝ පිස්සුවෙන් වගේ මේ කුතුහලයෙන් යුතු ලිංගිකත්වය ගැන හොයන්න පටන් ගන්නවා. යාළුවොත් එක්ක කතා කරනවා. අන්තර්ජාලයේ පිස්සුවෙන් හොයන්න ගන්නවා.

ග්‍රාමීය වෙන්න වෙන්න රහසේ රස වැඩි වෙලා ඒ ගැන හොයන එක වැඩිවෙන්න ගන්නවා. ප්‍රතිඵල විදිහට ද මන්දා ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාර නගරෙට සාපෙක්ශව ගම් පළාත්වල වැඩියි. මොකද ඒක මහා ලොකු මැජික් එකක් කියලා තමයි නොදියුණු පළාත්වල මිනිස්සු හිතන් ඉන්නේ. ලිංගිකත්වය එහෙමත් නැත්නම් sex කියන්නේ මොකක්ද කියලා අපේ දරුවන්ටත් පාසල්වල ක්‍රමවත්ව උගන්නන්න තිබ්බේ ගොඩක් කලින්, එහෙම ඉගැන්නුවත් නැතත් මවුපියෝ විදිහට අපේ දරුවන් අපරාධකාරයෝ නොකරන්න සහ අපරාධවලට ගොදුරු වීම වළක්වාගන්න අපි ඔවුන්ට නිසි වයසේදී ලිංගිකත්වය ගැන මූලික අවබෝධයක් ලබා දිය යුතුයි. ඒ අවබෝධය මඟින් දරුවන් අතින් අනාගතයේ අපරාධ ඇතිවීම සහ දරුවන් අපරාධවල ගොදුරු බවට පත්වීම අඩු වෙනවා.

මවුපියෝ SEX කියන්නේ මේකයි කියලා දරුවන්ට නිසි වයසේදී කියල නොදී හැංගුවා කියලා දරුවෝ මේ දේවල් ඉ‍ෙගන නොගෙන ඉන්නේ නැහැ, මොකද ලිංගිකත්වය කියන්නේ සොබා දහමේම කොටසක් සහ මූලික මිනිස් අවශ්‍යතාවක්.

ලිංගිකත්වය එහෙමත් නැත්තම් SEX කියන්නේ දරුවන්ගෙන් හංගලා සීල් කරලා වහලා තියන්න තරම් රහසක් නෙමෙයි.

SEX කියන්නෙත් බඩගින්න, නිදිමත මෙන්ම තවත් එක මූලික අවශ්‍යතාවක් පමණක් බවත් ඒ අත්දැකීම් සඳහා නියමිත වයසක්, පිළිවෙළක්, ති‍ෙයන බවත් අමුතුවෙන් හොය හොයා මනසින් රසවිඳින්න තරමේ රහක් හෝ සුවිශේෂිත්වයක් ඒ තුළ නොමැති බවත් තරුණ දරුවන්ට වැදගත් විදිහට කියල දෙන එක මවුපියන්ගේ යුතුකමක්.

මෙවැනි දේ දරුවන් සමඟ කතාකිරීම සදාචාර විරෝධි කියල කුමන හෝ මවුපියකුට හිතුණද දරුවෝ ඒ ඒ කාලවලදී ඒ දේවල් හොයන්න පෙලඹෙන එක නවත්වන්න මවුපියන්ට බැහැ, ඔවුන් සමාජයෙන්, යාළුවන්ගෙන්, තාක්ෂණික මෙවලම් මඟින් හෝ අන්තර්ජාලයෙන් මේ දේවල් සෙවීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒ නිසා මවුපියෝ ගෙදරදී මුලින්ම හරි කොටස තෝරලා බේරලා කියලා නොදුන්නොත් වෙන්නේ හරි කොටසයි වැරැදි කොටසයි දෙකම දරුවෝ සමාජයෙන්ම ඉ‍ෙගන ගන්න එකයි. අන්න එතැනදී තමන්ගේ සීමාව නොදැන දරුවෝ අමාරුවේ වැටෙනවා.

ඒ රහට අනවශ්‍ය විදිහට ඇබ්බහි වුණාට සමාජයේ ගොදුරක් බවට පත් වුණාම දරුවෝ පසුකාලීනව මවුපියන්ට ඒ සිද්ධීන් කියන්න පවා බය වෙනවා. මොකද ඒ වගේ මාතෘකාවලදී මවුපියන් දරුවන් හා විවෘත නොවීම් නිසා. අවසානයේ දූෂකයෝ පාඩුවේ තමන්ගේ ගොදුර අපහසුවකින් තොරව ඩැහැගන්න එකයි වෙන්නේ.

දරුවන්ට, පිරිමි හෝ ගැහැනු හෝ මවුපියන් නොවන ඕනෙම අයෙක් පිටස්තරයෙක් පමණක් බවත්, ඒ ඕනෑම අයකු සමඟ සම්බන්ධතා, පැවැත්විය යුතු සීමාව සහ ඒ වගේ නොගැළපෙන යෝජනාවකදී හැසිරිය යුතු ආකාරය කියාදෙන එක. නිතරම තමන්ගේ දරුවන් ගැන අවදානයෙන් ඉන්න එක මවුපියෝ කළ යුතුම දෙයක්. “අනේ ඒ මල්ලි අපේ යාළුවෙක්. එයා එහෙම නැහැ, ඒ ළමයා අපි හොඳට දන්නා යාළුවෙක්. එයා අපේ දරුවන්ට අපි වගේම ආදරෙයි.” කියා සිතමින් දරුවන්ගේ ජීවිත පිට කිසිවකු ළඟ උකසට තැබීම ඉතා අවදානම්. බොහෝ ලිංගික අපරාධකාරයෝ පවුල් ළඟම හිටපු හුඟක් විශ්වාසවන්තයෝ. ඒ නිසා තමයි කතාවටත් කියන්නේ ඉණෙන් පහළට නෑදෑකම් යාළුකම් නැහැ කියලා.

පුත්තු ඉන්න මවුපියෝ අතේ තමා අනාගත ස්ත්‍රී දූෂණ ගැන වැඩිම වගකීම තියෙන්නේ.පොඩි කාලේ ඉඳලා අනුන්ට හිංසාවක්, අනුන් පීඩාවට පත් නොකර සතුටු වෙන විදිහ දරුවන්ට කියල දීලා ගැහැනු කියන ජීවීන් ගැන ඉතා සුන්දර ගෞරවනීය චිත්‍රයක් අඳින්න පුළුවන් දරුවන්ගේ මවුපියන්ට තමයි.

ගෙදර තාත්ත අම්මට ගරු කරන විදිහ, අම්ම අනිත් ගැහැනුන්ට ගරු කරන විදිහ, ගැහැනු ආරක්ෂා කිරීමේ, ආදරය කිරීමේදී පිරිමි සතු වගකීම සහ පිරිමියෙක් සහ පුතෙක් යනු කිසිම වි‍ෙටක ගැහැනියෙක් අකැමැත්තෙන් කිසිම කාන්තාවකගේ ශරීරයට අත තියන්න ඕ‍ෙන නැති තරමේ පෞරුෂවත් මිනිස් කොට්ටාසයක් බව පුතාලට කියල දෙන්න.

එතකොට වර්තමානේ කෙසේ වෙතත්, අපේ දරුවෝ ලොකු වෙන කාලෙකවත් තමන්ට අයිති නැති, තමන්ට අකැමැති ගැහැනියකගෙන් තමාගේ හැඟීමක් ඉෂ්ට කරගන්න යන්න තරම් අමානුෂික, ලජ්ජාසහගත පව්කාර තරුණ පරම්පරාවක් බිහිවෙන එකක් නැහැ.

මොකද මේ යන රටාවත් එක්ක දරුවන්ට ජංගම දුරකතන ලබාදීම නතර කිරීම, අන්තර්ජාල පහසුකම් ලබා නොදීම ප්‍රායෝගික නැහැ. මුළු ලෝකෙම එකම විශ්ව ගම්මානයක් වෙලා ති‍ෙයන තාක්ෂණික යුගයක ගෙදරින් දුන්නේ නැතත් යාළුවෙක්ගෙ ෆෝන් එකකින් හරි ඔවුන් තමන්ට අවශ්‍ය දේ හොයන්න පෙලඹෙනවා. ඒ නිසා විය යුත්තේ දරුවන් තරුණ අවධියට එනකොටම ඔවුන්ගේ ආකල්පවල වෙනසක් ඇති කරන එක තමයි.

මවුපියෝ පුල පුලා කියනකොට, සහ දරුවන් ඉස්සරහ වැදගත් විදිහට හැසිරෙනකොට, ලිංගිකත්වය කියන්නේ පට්ට රහසක්වත්, මැජික් එකක්වත් නෙමෙයි කියල තේරෙනකොට, දරුවෝ අපරාධවලට යොමුවෙන එක සහ ගොදුරු වෙන එක ඉබේම අඩු වෙනවා.

ඒ නිසා හණමිටි අදහස් ඔළුවෙන් අයින් කරලා, තමන්ගේ දුවට පුතාට කියාදෙන්න. කාගෙවත් වුවමනා එපාකම්වල ගොදුරක් නොවී ජීවත් වෙන හැටි. පුතාට උගන්වන්න පිරිමි ගැහැනුන්ට රිද්දලා බලහත්කාරෙන්, අකැමැත්තෙන් හිනාවක්වත් බලාපොරොත්තු නොවිය යුතු ගෞරවනීය ජාතියක් බව.

එතකොට අනාගතේවත් මෙවැනි ස්ත්‍රී දූෂකයෝ, ලිංගික අපරාධකාරයෝ අඩු වෙයි.මොකද දරුවෝ මේ ලෝකෙට බිහිකරලා, කන්න අඳින්න දීලා, උගන්නල, සමාජෙට කරදරයක් නැති මිනිස්සු විදිහට සමාජගත කරනකම් දරුවා ගැන වගකීම තියෙන්නේ මවුපියො අතේ. ලිංගික අධ්‍යාපනය කියන්නේ වැරැදි දෙයක් නෙවෙයි. දරුවෝ අපරාධවල ගොදුරු බවට පත් නොකරන්න නම් දරුවන්ට ඉගැන්විය යුතුම කොටසක්.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?