වාචික අපහරණය සහ සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමේ අභියෝගය වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය තුළ විශේෂයෙන්ම වෘත්තීය කෙෂත්‍රය තුළ ආචාර ධර්ම සහ අන්‍යෝන්‍ය ගරුත්වය පිරිහීම පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ. විවිධ වෘත්තීන්හි නියැළෙන්නන් අතර ඇතිවන ගැටුම් පොදු ස්ථානවල අශෝභන හැසිරීම් සහ වාචික අපහරණයන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබීම රටක් ලෙස අප සිටින තැන පිළිබඳව ප්‍රශ්න කරයි.
මෑතකදී ගල්කිස්ස උසාවියේදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇතිවූ ගැටුම මෙම ගැඹුරු සමාජීය ගැටලුව වඩාත් කරළියට ගෙන ආවේය. මෙහිදී නීතිඥවරයෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැණ වදින ආකාරය දක්නට ලැබුණු අතර මෙය තනි සිදුවීමක් ලෙස නොව වෘත්තීය ආචාර ධර්ම පිරිහීම පිළිබඳ කතිකාවතක් ඇති කිරීමට අවස්ථාවක් සපයා දෙයි. මේ සිදුවීම අධිකරණ පද්ධතිය තුළම සිදුවීම නිසා එහි බරපතළකම තවත් ඉහළ යයි. නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු ස්ථානවල වෘත්තිකයන් මෙවැනි අශෝභන ලෙස හැසිරීම ජනතාවගේ විශ්වාසය හා නීති පද්ධතිය කෙරෙහි ඇති ගෞරවය පළුදු කරයි.
ඕනෑම ක්ෂේත්‍රයක වෘත්තීය ගරුත්වය යනු හුදෙක් උපාධි සහ තනතුරු නාමවලින් නිර්වචනය වන දෙයක් නොවේ. එය තම කාර්යය ඉටුකිරීමේදී පිළිගත යුතු ගෞරවනීය හැසිරීම් රටාව, ආචාර ධර්ම සහ අන්‍යයන්ට ගරු කිරීමේ හැකියාවයි. රාජ්‍ය සේවයේ සිට සෞඛ්‍ය ක්ෂේත්‍රය දක්වා සෑම වෘත්තියකම වගකීමක් වන්නේ තම බලතල සහ වරප්‍රසාද පොදු යහපත සඳහා විනයානුකූලව භාවිතා කිරීමයි.
වෘත්තීය ගරුත්වය පිරිහීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපා තිබේ. එනම් බලය අනිසි ලෙස භාවිතා කිරීම, අධිකාරිය පෙන්වීමට ඇති අනවශ්‍ය උවමනාව, ආත්ම දමනය නොමැතිකම සහ පෞද්ගලික න්‍යාය පත්‍රවලට මුල්තැන දීමයි. යම් වෘත්තිකයෙකුට තම කාර්යය ඉටුකිරීමේදී නිවැරදි තීරණ ගැනීමට නොහැකි වූ විට හෝ අනවශ්‍ය ලෙස කෝපයට පත් වූ විට ඔවුන්ගේ හැසිරීම ආක්‍රමණශීලී වී වාචික අපහරණයන් දක්වා වර්ධනය විය හැකිය. විශේෂයෙන්ම, පොදු සේවයේ නියුතු වෘත්තිකයන් මේවා පාලනය කරගත යුතුය.
වෘත්තීය පරිසරයන්හි මෙන්ම පොදු අවකාශයන්හි ද බහුලව දක්නට ලැබෙන බරපතළම සමාජ ගැටලුවක් වන්නේ වාචික අපහරණයයි. ශාරීරික හිංසනය මෙන් නොව, වාචික අපහරණය ක්ෂණිකව තුවාල නොකරන නමුත්, එය පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට, ආත්ම විශ්වාසයට සහ ගෞරවයට බරපතළ හානි සිදු කරයි.