Monday, October 20, 2025
Epaper
Home විශේෂාංගපාරාදීසයක් බඳු මන්දාරම් නුවර

පාරාදීසයක් බඳු මන්දාරම් නුවර

by Thanushika

මන්දාරම් නුවර සෑහෙන දවසක ඉඳන් යන්න ආසාවෙන් හිටපු ගමනක්. ලංකාවෙ තියෙන පාරාදීසයක් වගේ තැනක් කිව්වොත් හරියටම හරි. ගමක අසිරිය හිතේ හැටියට විඳ දරා ගන්න, සීතල සුළං පොදක පහස විඳගන්න, ගමේ කෑමක රස විඳගන්න කියාපු ගමනක්.

ගමන් මාර්ගය

මහනුවර සිට හඟුරන්කෙත හරහා රිකිල්ලගස්කඩ, පදියපැලැල්ල දෙසට එද්දී හමුවන්නේ එළිමලේ හංදිය. එතැනින් කඳු බෑවුම් අතරින් කිලෝමීටර් 11ක් දුර ගෙවා ආ විටයි මන්දාරම් නුවර හමුවන්නේ. දුම්රියේ සිට පැමිණෙන කෙනෙකුට නම් මහනුවර දුම්රිය ස්ථානයෙන් බැස පදියපැලැල්ලට බස් රථයකින් පැමිණ එතැනන් මන්දාරම් නුවරට ඇති බස් එකක නගින්න පුළුවන්. මන්දාරම් නුවරට ඇති බස් රථයක පැමිණිය හැකියි. එතැන් සිට තමන් නවාතැන් ගන්නා ස්ථානයට ත්‍රී රෝද රථයකින් යා හැකියි.මහනුවර සිට නම් කිලෝමීටර් 54ක්. නුවරඑළියේ සිට කඳපොළ හරහා මන්දාරම් නුවරට ළඟා වෙන්නත් පුළුවන්. ඒ සඳහා ඇති දුර කිලෝමීටර් 40ක්. මෙය තේ වතු මැදින් දිවෙන සුන්දර පාරක්. අපි නම් ළඟා වුණේ මහනුවර සිට එන පාරේ.

ගමනාන්තය තරමක් දුෂ්කර වන්නේ පාර බෙහෙවින්ම පටු නිසා යි. එබැවින් වාහන දෙකක් මාරුවීමේදී අතිශයින්ම කල්පනාකාරී විය යුතුයි. රිය ධාවනය අතිශය ඉවසිලිවන්තව කළ යුතුයි.

පටු පාරවල්

පටු පාරවල් නිසා වාහන දෙකක් එහා මෙහා යෑම තරමක් අපහසු කාරණයක් මේ වගේ වෙලාවට එක වාහනයකට රිවස් කරන්න වෙනවාමයි. කාර් වලින් වෑන් වලින් එන එක තමයි වඩාත්ම හොඳ.

View point එකක් අසල නවාතැනක්

මන්දාරම් නුවර අසිරිය දැක ගන්න යන්න හිතෙන්නේ ෆේස්බුක්, ටික් ටොක්වල තියෙන එකකට එකක් වෙනස් වීඩියෝ දැක්කම. සෆාරි ටූවර්ස් ගැන තියෙන පෝස්ට් දැක්කම. යන්න කලින් හොඳ නවාතැනක් හොයලා Advance payment එකක් කරලම යන එක නුවණට හුරුයි. සති අන්තයේ, දීර්ඝ නිවාඩු තියෙන සති අන්ත වල bookings තියෙන්න පුළුවනි. රසකාරක නොදා රසවත්ව පිළියෙල කළ ගමේ කෑම ඇති, Hot water සවි කළ Attched bathrooms තියෙන කාමර, කඳු මුදුනකට වෙන්න හොඳ view එකක් ඇති තැනකින් ලැබුණොත් සුවසේ රිසිසේ මන්දාරම් නුවර ඇති මනරම් වටපිටාව භුක්ති විඳින්නට පුළුවන්. මන්දාරම් නුවර නවාතැන්වල packages එක එක විදිහට තියෙනවා. නවාතැන් පමණක්, නවාතැන් සමඟ තුන්වේල, නවාතැන්, තුන් වේල සමඟ තේ වේල් දෙකක් යනාදී වශයෙන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ සියල්ල රුපියල් 5000 සිට ලබා ගත හැකියි. තරමක් මිලෙන් වැඩි සුඛෝපභෝගී නවාතැන් කිහිපයකුත් මන්දාරම් නුවර දකින්න තිබෙනවා. කැමති කෙනකුට ඒ වගේ තැනක් වුණත් book කරගන්න පුළුවන්.

හොඳම Season එක

Season එකට දේශීය මෙන්ම විදේශීය සංචාරකයිනුත් මන්දාරම් නුවර කරා ඇදී එන්නේ ගමක සුන්දරත්වය ඕනෑවටත් වඩා අත් විඳගන්න. නොවැම්බර්, දෙසැම්බර්, මැයි වගේ මාසවල තරමක් වැස්ස වැඩියි. කඳු මුදුන් අතරින් ඉර දකින්න ලැබෙන්නේ උදේ හා දහවල් කාලේ හරිම පොඩි වෙලාවකදී විතරයි. මීදුම බාන වෙලාව හිතාගන්නවත් බැහැ. මන්දාරම් නුවර කියන නම මේ ගමට හරියටම ගැළපෙනවා කියලා හිතෙන්නේ අන්න ඒ වෙලාවට. මන්දාරම, වැහි බීරම, මීදුම්බාන ගතිය මේ ගමටම ආවේණික දේවල්. හරියටම කිව්වොත් සොබාදම් මෑණියන්ගේ රුව ගුණ තේජසින් අනූන ලස්සනම ලස්සන සිතුවම් රැගත් සිතුවම් පොතක් වගේ.

අලුයම් කාලයේ සහ සවස් කාලයේ පටන් ගතට දැනෙන්නෙ අමුතුම සිහිලසක්. අවශ්‍ය නම් මේ සීතලට ඔරොත්තු දෙන පරිදි ජැකට් එකක්, අයිස් කැප් එකක් අඳින්න පලඳින්න පුළුවන්.

නිස්කලංක පරිසරයක මිහිරියාව විඳගන්නට වගේම, සීතල සුළං ගත දැවටෙද්දී කෑමෙන් බීමෙන් සප්පායම් වෙන්නත් පුළුවන්. විනෝද ගමනක් ඇවිත් තියෙන නිසා තාලෙට සිංදුවක් මුමුණමින්, ඒ තාලෙට නටන්න රාත්‍රී 11, 12 වනතුරු අවසර ලැබෙනවා.

මතකයන් දල්වාලන Adventure Safari tour

මන්දාරම් නුවර අසිරිය විඳගන්න ගමනේ වඩාත්ම සෞන්දර්යාත්මක ත්‍රාසජනකම අවස්ථාව වෙන්නේ සෆාරි අත්දැකීම. විනෝද චාරිකාවක් ලෙස මන්දාරම් නුවරට එන කෙනෙක් සෆාරි අත්දැකීම අනිවාර්යයෙන්ම ලැබිය යුතුමයි. මෙය හඳුන්වන්නේ Adventure Safari tour එකක් කියලමයි.

උදේ 8.30 ඉඳන් හවස 5.00 වෙනකම්ම මේ සෆාරි අත්දැකීම විඳගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 6 දෙනකුට 8 දෙනකුට වගේ යන්න පුළුවන් සෆාරි ජීප් එකක් රුපියල් 12,000 ක් 13,000 වගේ මුදලකට ලබා ගන්නට හැකියි. මේ සෆාරියේ නෙත් පුරාවටම, ගත පුරාවටම, සිත පුරාවටම අත්දකින්නට ලැබෙන්නේ සොබා සුන්දරත්වයේ අපූර්වත්වයයි.

අක්කර ගණන් පුරාවටම වගා කළ තේ වතු, හෙල්මළු ක්‍රමයට වගා කළ එළවළු ඇතුළු බෝග වර්ග, සුන්දරව ගලා හැලෙන දිය ඇලි කොමලියන්, දොළපහරවල් ගෙන් පිරිලා ඉතිරිලා. උඩරට වැවෙන එළවළු ඕනෑම එකක් මන්දාරම් නුවර තිබෙනවා. අපි පරිභෝජනයට ගන්න එළවළුවලින් වැඩිම ප්‍රමාණයක් මන්දාරම් නුවරිනුත් ලැබෙනවා. පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල, උඩගබ්බල කියන කඳුවැටි හතරට මැදිව කඳු වළල්ලක පතුල ලෙසටයි මන්දාරම් නුවර පිහිටා තිබෙන්නේ. සෆාරි ගමනේදී පහසු මං මාවත් වගේම අතිශය කටුක පටු මාවත් ඔස්සේ ඉදිරියට ඇදෙන්න තිබෙනවා. කෙටි වංගු ගනිද්දි ජීප් එක රිවස් කරන්න වෙනවාමයි. මේ රියදුරු මහත්වරුන් හරිම ඉවසිලිවන්තවයි පටු මාවත් දිගේ ඉදිරියට ඇදෙන්නේ. හරිම මිත්‍රශීලීවයි සංචාරකයන්ට සෆාරි අත්දැකීම ලබාදෙන්නේ.

ප්‍රධානම ජීවනෝපාය ගොවිතැන

මන්දාරම් නුවර අහිංසක සිංහල මිනිස්සු ඉන්න ගම්මානයක්. මේ මිනිස්සු තමන්ගෙ ගම නරඹන්න එන සංචාරකයන්ව පිළිගන්නේ අව්‍යාජ සිනාවකින්. ආචාරශීලී බවින්, සුහදශීලී බවින්, හිතෛශී බවින් පිරුණු හිත් ඇති මිනිසුන් ඉන්න ගම්මානයක් කිව්වොත් වඩාත් නිවැරදියි. තේ දලු නෙළන දෙමළ පවුල් කිහිපයකුත් ඒ අතර සිටිනවා. මේ ගැමියන්ගේ ප්‍රධානම ජීවනෝපාය වෙන්නේ ගොවිතැන. සරු අස්වැන්නක් ලබන්න බෙහෙත් පොහොර නොගහනවාමත් නොවේ. එළවළු අස්වැන්න සරු වුණත් මේ අස්වැන්නට ලැබෙන මිල ගැන නම් සෑහීමට පත්වෙන්නට නොහැකි බවයි ඔවුන් පවසන්නේ. අවුරුදු 38ක් වයස ඇති … අපිට හමුවුණේ Good wood view point එකේදී.

වගා කිරීම දැමීම, පොහොර දැමීම, වතුර දැමීම ආදී දේ කළාට පසුව ඔවුන් තමන්ගේ අස්වැන්නත් අරගෙන සංචාරකයන් වැඩිපුර ගැවසෙන මෙවැනි view point අසලට පැමිණෙන්නේ දෛනිකව කීයක් හෝ උපයා ගන්න.

මන්දාරම් නුවරේ අසිරිය ගෙන එන view point

මේ සෆාරි ගමනට නැරඹුම් ස්ථාන එහෙමත් නැත්නම් view point 2ක් හෝ 3ක් ඇතුළත්. ගෝනපිටිය තේ කර්මන්ත ශාලාව පසු කරමින් ගල උඩ පන්සල ළඟ එක් view point එකකුත් Good wood ළඟ එක් view point එකකුත් තිබෙනවා.

දිය ඇලි කොමලියන්ගේ ලතාව 

කොළපතන ඇල්ල

මහ පාරේ සිට කිලෝමීටර් දෙකහමාරක් පමණ ගිය විට හමුවන්නේ කොළපතන දියඇල්ල. මන්දාරම් නුවරට එන සෑම සංචාරකයෙක්ම වගේ ගමන් මහන්සිය නොතකා ඇවිද යන්නේ මේ දිය ඇල්ලේ සුන්දරත්වය නරඹන්න. වරලසක් උනා දමා ඇති ආකාරයටයි මේ දිය ඇල්ල කඩා හැලෙන්නේ. කොළපතන ඇල්ල ලංකාවේ විශාලතම දිය ඇලිවලින් එකක්. පැරණි කෝපි නිෂ්පාදන ආකාරයක නටබුන් බලන්නත් පුළුවන්.

මන්දාරම් නුවරේ ජල අවශ්‍යතාවයෙන් සියයට අනූවකටත් වඩා සපුරාලන්නේ මේ දිය ඇල්ලේ ජලය. රන් කොතනගල කඳුවැටීන් කඩා හැලෙන මෙය එතරම් උස දිය ඇල්ලක් නොවේ.

ඇතිනිවල ඇල්ල

මීටර් 50ක වගේ උසක සිටන් කඩා හැලෙන මේ දිය ඇල්ලේ මනස්කාන්ත ජල දහර ඇස පිනවන දසුනක් ගෙන දෙන්නක්. ඇතෙකුගේ දලයක් ලෙස කඩා හැලෙන නිසයි මේ නම ව්‍යවහාර වෙන්නේ

කබරගල දිය ඇල්ල

මේ දියඇල්ල නැරඹීමට ගමන් කරන මාර්ගය අතිශය දුෂ්කර එකක්. Adventure Safari tour එකක් වෙන්නේ මේ දිය ඇල්ලට ගමන් කරන මාර්ගය නිසාමයි. මේ දිය ඇල්ල අසලටම යා හැකියි. නෑම නම් තරමක් අනතුරුදායක වන්නට පුළුවන්. දිය ඇල්ල අසලටම ගොස් ඡායාරූප ගත හැකියි.

කළු පාලම ඇල්ල

සෆාරි යන අය බොහෝ විට නාගන්නේ මේ දිය ඇල්ලෙන්.

බෙර ගහන ඇල්ල

දුෂ්කර අඩි පාරක් දිගේ යන්නට ඇති මෙහි වතුර වැටෙන විට බෙර වාදන හඬක් මෙන් ඇසෙන නිසයි බෙර ගහන ඇල්ල නිසා හඳුන්වන්නේ.

හුස්ම ගන්නේ වනාන්තර හුස්ම ගන්නා තෙක් හෙයින් අප සැම සිය රැක ගත යුතුයි. මේ බව හොඳින් සිහියට ගෙන පරිසරයට හානි ගෙන දෙන පොලිතින් ප්ලාස්ටික් කිසිවක් බැහැර නොකරන්නට වග බලා ගතයුතුමයි.

පමාවී ඉර පායන වේලාසනින් ඉර බැස යන පුරවරයක් ලෙස විරුදාවලී ලබන මන්දාරම් නුවරට සමුදෙමින් කොළඹ බලා පිටත් වූයේ සොබාදම් මෑණියන්ගේ සිසිලස අපමණව විඳගත් සුන්දර චාරිකාවක මතක සිත පුරාවටම නංවාලමිනි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?