Sunday, October 26, 2025
Epaper
Home වෛද්‍යකාන්තාවන් පීඩා විඳින දිලීර ආසාදනයක්

කාන්තාවන් පීඩා විඳින දිලීර ආසාදනයක්

by Thanushika

ඉසුරි හරිම සොඳුරු යුවතියක්. ඒ වගේම තමයි හරිම පිළිවෙළට ඉන්න කැමැති, ඕනෑවටත් වඩා පිරිසුදුකම ගැන හිතන කෙනෙක්. අවුරුදු 24ක් වුණත් තාමත් ප්‍රේම සම්බන්ධයක්වත් නැති නිසා ඉසුරිගේ මවුපියන් මේ දවස්වල ඇයට ගැළපෙන සහකරුවෙක් සොයමින් ඉන්නෙ.

ඒත් ඒ පිළිබඳ ඉසුරිගේ එතරම් කැමැත්තක් නැතිබව ඉසුරිගේ මවට වැටහුණා. ගුරුතුමියක් වූ ඇයට තරුණ දරුවන්ගේ සිතුම් පැතුම් ගැන අපූරු අවබෝධයක් තිබුණා. ඒනිසාම බොහෝම අමාරුවෙන් ඉසුරි එක්ක කතාබහට යොමු වුණු ඇය, අවසානයේ ඉක්මනින් තමන්ගෙ දියණිය වෛද්‍යවරයකු වෙත රැගෙන යන්නට තීරණය කළා.

“ඩොක්ටර් මේ මගේ දූ ඉසුරි. අවුරුදු 24යි. තවම විවාහ වෙලා නෑ. අපි දන්නා තරමින් එයාට කවදාවත් ප්‍රේම සම්බන්ධයක් තිබුණෙත් නෑ. ඒත් දැන් ටික කාලෙක ඉඳන් එයාගේ යෝනි මාර්ගයෙන් සුදු පාට ශ්‍රාවයක් පිටවෙනවාලු. ඒ ප්‍රදේශය අවට තදින් කසන නිසා පුදුමාකාර දැවිල්ලක් තියෙනවාලු. මේකට හේතුව මොකක්ද ඩොක්ටර්.?”

“මට පෙනෙන හැටියට නම් ඔයාගේ දුවට තියෙන්නෙත් ප්‍රතිකාර සඳහා මා හමුවීමට එන කාන්තාවන් අතරින් වැඩිම පිරිසකට තියෙන රෝගී තත්ත්වයක් තමයි. ඒ වැජයිනල් කැන්ඩිඩයසිස් (Vaginal Candidiasis).

මෙය ප්‍රධාන වශයෙන් සුුද යෑමක් හැටියට තමයි ගොඩක් කාන්තාවන් ප්‍රකාශ කරන්නේ. ඊට අමතරව යෝනි තොල් ප්‍රදේශයේ කැසීමක්, දැවිල්ලක් හෝ අපහසුතාවක් ලෙසත් සඳහන් කරනවා.”

“ඒ කියන්නෙ මේක ලංකාවේ ගොඩක් ව්‍යාප්ත වෙච්චි රෝගයක් ද?”

“සාමාන්‍යයෙන් කාන්තාවන්ගෙන් 75%කට ජීවිත කාලයේ දී එක් වතාවක් හෝ වැලඳෙන රෝගී තත්ත්වයක් තමයි මේක. ගැබිනි කාන්තාවන්ගෙන් 25 – 30%ත් අතර ප්‍රමාණයකටත් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපේ සායනවලට යොමු වෙන බාහිර හා අභ්‍යන්තර යෝනි ප්‍රදේශවල ගැටලු සහිත කාන්තාවන්ගෙන් 40%කට අධික සංඛ්‍යාවකට පමණ මේ කැන්ඩිඩා තත්ත්වය ඇති බවට හඳුනාගෙන තියෙනවා.”

“ඉතින් මොකක්ද මේ වැජයිනල් කැන්ඩිඩයසිස් (Vaginal Candidiasis) කියන්නේ?”

“වැජයිනල් කැන්ඩිඩයසිස් (Vaginal Candidiasis කියන තත්ත්වය ඇතිවන්නේ සාමාන්‍යයෙන් යෝනි මාර්ගයේ පවතින දිලීරයක් වැඩිපුර වර්ධනය වීමක් හැටියටයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙය ලිංගිකව බෝවන රෝගයක් නොවේ.

කාන්තාවකගේ බාහිර සහ අභ්‍යන්තර ලිංගාශ්‍රිත ප්‍රදේශය ගැන සැලකීමේදී එහි සාමාන්‍යයෙන් වාසය කරන බැක්ටීරියා හා දිලීර තියෙනවා. ඒවා කිසියම් සමතුලිතතාවකින් එම ප්‍රදේශයට ආරක්ෂාව ලබා දෙමින් ජීවත් වෙනවා. නමුත් එම සමතුලිතතාවන් වෙනස් වන කාරණාවලදී මෙම කැන්ඩිඩා දිලීරය වැඩිපුර වර්ධනය වී රෝගී අපහසුතාවන් ඇති වෙනවා.

එම සමතුලිතතාවන් බිඳ වැටීමට හේතු වන කරුණු අපට මේ විදිහට සඳහන් කරන්න පුළුවන්.

1. වෙනත් රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන විට

2. දියවැඩියා රෝගය ඇති විට

3. ගර්භිණී සමයේ හෝමෝන වෙනස් වීම් ඇතිවීමත් සමඟ

4. ශරීර හෝමෝන ක්‍රියාකාරීත්වයේ සමතුලිතතාවන් නොමැති විට

5. අසාමාන්‍ය ආකාරයේ නිතර සේදීමේ තත්ත්වය (උමතු සේදීම නිසා)

6. තෙතමනය සහ උණුසුම් තත්ත්වය රැඳෙන ආකාරයේ තද, වාතාශ්‍රය අඩු යට ඇඳුම් ඇඳීම නිසා

7. ප්‍රතිශක්තිය අඩු වන ප්‍රතිකාර ලබාගන්නා විට

8. ප්‍රතිශක්තිය අඩු කරන රෝග ඇති විටදී”

මොනවද මේ තත්ත්වයේදී ඇතිවිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණ?

“මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් ඉස්මතු විය හැකියි.

1. යෝනි කැන්ඩිඩා තත්ත්වය.(Vaginal candidiasis)

මෙහිදී යෝනි මාර්ගය තුළ කැන්ඩිඩා දිලීර ගහනය වැඩි වීම සිදුවන අතර බාහිරට යෝනි ශ්‍රාවයක් නිකුත් වෙනවා. එය බොහෝවිට ඝනකම් ස්වරූපයක් දක්වන අතර ඇතැම් විට මී කිරි හෝ යෝගට් වැනි ස්වරූපයක් පෙන්වයි. ඒ සමඟම යෝනි මාර්ගය තුළින් දැවිල්ලක් හෝ අපහසුතාවක් ඇති වෙනවා. ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ දී එම අපහසුතාව වඩාත් වැඩි විය හැකියි.

2. බාහිර හා අභ්‍යන්තර යෝනි  කැන්ඩිඩා තත්ත්වය. (Vulvovaginal candidiasis)

මෙහිදී ද ඉහත ආකාරයේ යෝනි අපහසුතාවන්වලට අමතරව බාහිර හා අභ්‍යන්තර යෝනි ආශ්‍රිතවල ද  කැන්ඩිඩා ගහනය වැඩි වි රෝග ලක්ෂණ ඇති කරයි. විශේෂයෙන් යෝනි තොල්, තොල් අතර දාරය  වැනි ප්‍රදේශවල චර්මයේ මෙම දිලීර තත්ත්වය ඇති වේ. එම නිසා මතුපිට කැසීම, රතු වීම, හම ඉරිතැළීම, පැළී යාම සහ සුදු පාට ක්‍රීම් වැනි ස්වරූපයක් මතුපිට පැවතීම, සේදීමේදී දැවිල්ල සහ ලිංගික සම්බන්ධතාවලදී අපහසු වීම සිදු වෙනවා.

ඇතැම් අයගේ බාහිර හා අභ්‍යන්තර යෝනි කැන්ඩිඩා තත්ත්වය නිතර නිතර ඇතිවීම හා සුවවීම සිදු වේ. (Recurrent vulvovaginal candidiasis). මෙම තත්ත්වයම තවත් සමහර අයගේ දරුණු තත්ත්වයකට පත්වීම සිදුවිය හැකියි. එය දරුණු ගණයේ බාහිර හා අභ්‍යන්තර යෝනි කැන්ඩිඩා තත්ත්වය ලෙස හඳුන්වනු ලබනවා. (Severe vulvovaginal candidiasis)

ඩොක්ටර් මෙම තත්ත්වයට ප්‍රතිකාර කරන්නේ කොහොමද ? 

“මෙහිදී රෝග ඉතිහාසය හා සාමාන්‍ය සායනික පරීක්ෂණ මඟින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකියි. නමුත් ගැටලු සහිත අයගේ යෝනි ශ්‍රාව පටල පරීක්ෂණ, අවදානම් සාධක සඳහා වූ පරීක්ෂණ ආදිය සිදුකර රෝගය සහ රෝගයට හේතුවන සාධක සඳහා ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනවා. පහත දක්වා ඇති ප්‍රතිකාර ක්‍රමයන් මෙහිදී වෛද්‍යවරයාගේ නිර්දේශ මත ලබා ගැනීමට සිදු වෙනවා.

ඇතැම් අයට විශේෂ ප්‍රතිකාරයක් නැතුව සුව වෙනවා. ඇතැම් අයගේ රෝගයට හේතු වන නිදන්ගත රෝග (උදා:- දියවැඩියාව) වැනි තත්ත්වයන් සොයා ඒවා පාලනය කිරීම සමඟ දිලීර නාශක ප්‍රතිකාර ලබා ගත යුතුයි.

දිලීර නාශක ප්‍රතිකාර, යෝනි මාර්ගයට ඇතුළු කරන පෙති හෝ ක්‍රීම් සහ යෝනි තොල් ආශ්‍රිත ආලේපන (cream) ආකාරයෙන් ලබාගත හැකිය.  එසේත් නැත්නම් දිලීර නාශක ඖෂධ කෙටිකාලීනව හෝ දීර්ඝකාලීනව බොන බෙහෙතක් ලෙස ලබාගත යුතු වෙනවා.

ඊට අමතරව, දිලීර ගහනය වැඩි කිරීමට හේතුවන අවදානම් සාධක සොයා බලා ප්‍රතිකාර කළ යුතුයි.”

මෙම තත්ත්වය වළක්වා ගැනීමට කාන්තාවන් විසින් කළ යුත්තේ කුමක්ද?

1. යහපත් කායික සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න. (ඒ කියන්නෙ සමබර ආහාර, නින්ද හා නිරන්තර ව්‍යායාම වාගේ දේවල්.)

2. ලිංගික ප්‍රදේශය පිරිසුදුව හා වියළිව තබාගන්න.

3. වාතාශ්‍රය සහිත කපු යට ඇඳුම් අඳින්න.

4. සුවඳ සබන්, සුවඳ ගැල්වූ ආලේපන නිතර භාවිතයෙන් වළකින්න.

5. ලිංගික ප්‍රදේශ ඕනෑවට වඩා සේදීමෙන් වළකින්න. එයට ස්වාභාවිකව පිරිසුදු වීමේ ක්‍රියාවලියක් ඇත.

6. දියවැඩියාව ඇති අය රුධිර සීනි මට්ටම පාලනය කරගන්න.

7. ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස භාවිතයෙන් වළකින්න.

8.  ඔබගේ ලිංගික සම්බන්ධතාව විශ්වාසවන්ත එක් අයකුට සීමා කරන්න.

 

උපදෙස් –

විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට

(ලිංගිකව බෝවන රෝග, එච්.අයි.වී. හා ලිංගික සෞඛ්‍යය)

අනුරාධපුර ශික්ෂණ රෝහල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?