Monday, October 20, 2025
Epaper
Home විශේෂාංගදිව්‍ය සැප සම්පත් විඳින්න සැමියාට ආදරණීය බිරියක් වෙන්න

දිව්‍ය සැප සම්පත් විඳින්න සැමියාට ආදරණීය බිරියක් වෙන්න

by Thanushika

මරණින් මතු මිනිසුන් උපදින ස්ථාන 31කි. ඒවා නම් දිව්‍ය ලෝක 06, අපාය 04, රූපාවචර බ්‍රහ්ම ලෝක 16, අරූපාවාචර බ්‍රහ්ම ලෝක 04 හා මනුෂ්‍ය ලෝකයයි. මෙකී ලෝක පිහිටි ප්‍රදේශය සක්වලක් ලෙස හැඳින්වේ. මෙම ලෝක තිස් එකෙන් නරක, තිරිසන්, ප්‍රේත හා අසුර යන සතර අපාය දුගති ලෝකයෝය. සෙසු ලෝක විසි හත සුගති ලෝකයෝය. මෙකී ලෝක තිස් එකෙන් දෙව් ලොව උපත ලැබීමට බොහෝ දෙනා කැමැති වෙති. චාතුර් මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරිනිර්මිත වසවර්තිය යනු සදෙව් ලොවයි.

බුදුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සමයෙක අනුරුද්ධ තෙරුන් වහන්සේ දිවා විහරණය පිණිස වැඩම කොට භාවනාවේ යෙදී සිටියහ. එවිට බොහෝ මනාපකායික දේවතාවියෝ අනුරුද්ධ තෙරුන් වහන්සේ වෙත පැමිණි උන්වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිටිමින් මෙසේ විමසූහ.

“අනුරුද්ධයන් වහන්ස, අපි මනාපකායික (නිම්මාණරතී දෙව්ලොව) දේවතාවියෝ වෙමු. අපි යම් බඳු සිරුරු පැහැයක් කැමති වෙමු නම්, සැණෙකින් එබඳු සිරුරු පැහැයක් ලබන්නෙමු. අපි යම්බඳු ස්වරයක් කැමති වෙමු නම්, සැණෙකින් එබඳු ස්වරයක් ලබන්නෙමු. අපි යම්බඳු සැපයක් කැමති වෙමු නම්, සැණෙකින් එබඳු සැපයක් ලබන්නෙමු. අපි මේ තුන් තැනෙහි ඉසුරුමත් බවින් සිටිමු. වසඟයෙහි පවත්වන්නෙමු.”

එවිට අනුරුද්ධ තෙරුන් වහන්සේට මෙසේ අදහසක් පහළ විය.

‘සැබැවින්ම මේ සියලු දේවතාවියෝ නිල් වෙත් නම්, නිල් පැහැ ඇත්තියෝ වෙත්නම්, නිල් වස්ත්‍ර ඇත්තියෝ වෙත්නම්, නීලාලංකාර ඇත්තියෝ වෙත් නම් මැනැවි.’

එවිට ඒ දේවතාවියෝ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේගේ සිත දැන සියල්ලෝ නිල් පැහැ ඇතිව, නිල් වත් ඇති ව, නීලාලංකාර ඇතිව සිටියාහුය.

ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මොවුහු කහ පැහැය, සුදු පැහැය ඇත්තියෝ වෙත් නම් මැනවි යැයි සිතිණි. එවිටම ඔවුහු එකී වර්ණ ඇත්තියෝ වූහ.

එවිට ඒ දේවතාවියන් අතරින් එක් අයෙක් ගැයුවාය. තව අයෙක් නැටුවාය. තව අයෙක් තාලම්පොට වාදනය කළාය. මොවුන්ගේ රංගනයන් දැක අනුරුද්ධ තෙරුන් වහන්සේ නේත්‍රයන් පහතට හැරවූ සේක. එවිට ඒ දේවතාවියෝ අනුරුද්ධ තෙරුන් මෙය නොපිළිගන්නා ලදැයි එහිම නොපෙනී ගියහ.

අනුරුද්ධ තෙරුන් සවස් වරුවෙහි භාවනාවෙන් නැඟිට බුදුන් වහන්සේ වෙත පැමිණ උදෑසන සිදු වූ සිදුවීම පිළිබඳ බුදුන්වහන්සේ දැනුම්වත් කොට මෙසේ විමසූවේය.

ස්වාමිනි, ස්ත්‍රියක් මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නේ කිනම් කරුණු සම්පූර්ණ කිරීමෙන් ද?

එවිට බුදුන් වහන්සේ කරණු 08ක් දේශනා කළහ.

යම් පුරුෂයෙක් නිරන්තරයෙන් බලවත් වීර්යයෙන් හා උත්සාහයෙන් යුතු ව, ස්ත්‍රියක් පෝෂණය කරයි ද එකී ස්ත්‍රිය කරුණූ 08කින් සම්පූර්ණ වන්නේ නම් මනාපකායික දෙවියන් අතර උපදින බව බුදුන් වහන්සේ දේශනා කළහ.

එම කරුණූ 08 මෙසේය.

1. විවාහ වූ ස්ත්‍රියක් නම් ස්වාමියාට පළමුව අවදිව, සියලු දෙනාටම පසුව නින්දට යායුතු අතර ස්වාමියාගෙන් කුමක් කළ යුතු දැයි විමසිය යුතුය. ප්‍රියා මනාප හැසිරීම් ඇති ව ප්‍රිය වචන කතා කරන්නෙක් විය යුතුය.

2. ස්වාමි පුරුෂයාගේ ගුරුවරු, මව්පියෝ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් ද ඔවුන්ට ද සත්කාර ගරු බුහුමන් දැක්වීම හා ඔවුහු පැමිණි කල ආසන හා පැන් ආදිය සපයා දිය යුතු ය.

3. ස්වාමියාගේ නිවසෙහි ඇති කටයුතු අතර එළුලොම් කැටීම වේවා, කපු කැටීම වේවා, එහිලා දක්ෂ හා අලස නැති විය යුතුය. කටයුතු සංවිධානය කිරීමෙහි දී උපාය වීමංසනයෙන් යුතු විය යුතුය.

4. නි‍ෙවසේ සිටින මෙහෙකරුවෝ, දාසයෝ, කම්කරුවෝ සිටී නම් ඔවුන් කළ හා නොකළ දේ දැන සිටිය යුතු ය. ගිලන් වූවෙක් සිටී නම් ඔවුන්ගේ ගිලන් බවත් දැන සිටිය යුතු අතර ඔවුන්ට අවශ්‍ය පරිදි ආහාර පාන ආදිය බෙදා දිය යුතුය.

5. තම ස්වාමියා යම් ධන ධාන්‍යයක් රැගෙන එයි නම්, එ්වා පිළිබඳ සොර සිතක් නොමැතිව ඒවාට ලොල් නොවී ආරක්ෂා කිරීම හා රැකීම කළ යුතු ය.

6. තෙරුවන් සරණ ගිය උපාසිකාවක් විය යුතුය.

7. පංච සීලය ආරක්ෂා කළ යුතුය.

8. මසුරුමල දුරු වූ සිතින් ත්‍යාගවන්තව ගෙදර වාසය කළ යුතු අතර දන් දීමට හා දන් බෙදීමට කැමැත්තෙන් සිටිය යුතුය.

(අංගුත්තර නිකාය – අනුරුද්ධ මනාපකායික සුත්‍රය)

මිනිස් ලොව අවුරුදු 800ක් නිම්මාණරතී දෙව්ලොව එක් දිනයකි. එබඳු දිව්‍ය වර්ෂ 8000ක් එහි පරම ආයුෂවේ. එය මිනිස් ලොව වර්ෂ ගණනින් දෙසිය තිස් කෝටි හතළිස් ලක්ෂයකි.

(2,304,000,000) මේ දිව්‍ය ලෝකයේ ද සැප සම්පත් අසීමිතය. මෙහි වෙසෙන දෙවිවරු සිය දිව්‍ය ශෝභාව ගැන ආනන්දයටත්, ආඩම්බරයටත් පත්වන්නෝය.

ඔබත් මෙම කරුණු 08 නොපිරිහෙලා ඉටු කර සසර ගමන සුවපත් කරගැනීමට උත්සාහ කරන්න.

 

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

උඩුමලගල ආදිච්චවංස මූලික පිරි‍වනේ පරිවේණචාර්ය

රාජකීය පණ්ඩිත, අධ්‍යාපනපති, දර්ශනපති

කොට්ටවගම ධම්මජෝති හිමි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?