Thursday, November 6, 2025
Epaper
Home ස්වයං රැකියාව්‍යවසායකත්වය තුළින් දියුණු වෙන්න සිහින දකින ඔබට කදිම අවස්ථාවක්

ව්‍යවසායකත්වය තුළින් දියුණු වෙන්න සිහින දකින ඔබට කදිම අවස්ථාවක්

-ආචාර්ය නිශාන් බමුණුආරච්චි ව්‍යවසායකත්ව පුහුණු උපදේශක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

by Sachintha Lakehouse

වත්මන් ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් කාන්තා ව්‍යවසායකත්වය පෙරමුණ ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. රටේ දරිද්‍රතාව පිටුදැකීම සහ නව ආර්ථික ගමනක් ඇරඹීම වෙනුවෙන් කාන්තාවන්ට හිමිවිය යුතු තීරණාත්මක භූමිකාව පිළිබඳව මඟපෙන්වමින් විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් ආචාර්ය නිශාන් බමුණුආරච්චි මහතා සාර්ථක ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් බිහිකර තිබේ.

ආචාර්ය නිශාන් බමුණුආරච්චි මහතා මූල්‍ය කළමනාකරණය මෙන්ම ව්‍යාපාර කළමනාකරණය හා අලෙවිකරණය පිළිබඳ උපදේශකයෙකි. ව්‍යවසායකත්ව පුහුණු උපදේශකවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ දේශකයෙකු ලෙස කටයුතු කරන ඔහු, Taito Academy of Innovation Management (TAIM) හි අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි. ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ඔහු සතු පුළුල් දැනුම හා අත්දැකීම් සම්භාරය අතිශයින් ප්‍රයෝජනවත්ය. ඔහුගේ දැනුම හා අවබෝධය නව ව්‍යවසායකයන් බිහිකිරීමට බෙහෙවින්ම උපකාරී වනු ඇත. ව්‍යවසායකත්වය පිළිබඳව උනන්දුවක් දක්වන සැමට ඔහු දැක්වූ මෙම අදහස් ඉතාමත් ප්‍රායෝගිකය.

මුලින්ම අපට මෙම වැඩසටහනේ මූලික අරමුණ සහ එය මේ මොහොතේ රටට කොතරම් වැදගත් ද යන්න පැහැදිලි කළ හැකිද?

අපගේ වැඩසටහනේ ප්‍රධානම අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සහ කාන්තා ව්‍යවසායකත්වයේ පුනරුදයක් ඇති කිරීමයි. අද රට මුහුණ දෙන අභියෝග හමුවේ ව්‍යවසායකත්වය අපේ අනාගතය ගොඩනඟා ගැනීමට අත්‍යවශ්‍යම මාර්ගය බව පැහැදිලියි. අපේ අවධානය යොමුවන්නේ තරුණ පරම්පරාවට නවෝත්පාදන මනෝභාවයක් ඇති කර දීම, ඔවුන්ගේ හැකියාවන් සජීවී කිරීම සහ නව ව්‍යාපාර සාදා ගැනීමට මඟ පෑදීමයි. විශේෂයෙන්ම රටේ ජනගහනයෙන් අඩකටත් වඩා සිටින කාන්තාවන්ගේ දායකත්වය නැතිව අපිට සාර්ථක ආර්ථිකයක් ගොඩනඟන්න බැහැ.

ඔබ විසින් වෙන්කර හඳුන්වනු ලබන සාම්ප්‍රදායික ව්‍යාපාරිකයා (Entrepreneur) සහ නව ව්‍යවසායකයා අතර වෙනස කුමක්ද?

වර්තමාන පැතිකඩ දෙස බැලූ විට බොහෝ දෙනෙක් යම් ආකාරයක ස්වයං රැකියාවක හෝ සාම්ප්‍රදායික ව්‍යාපාරයක නිරත වන බව පේනවා. කුඩා පරිමාණයේ සාම්ප්‍රදායික ව්‍යාපාරිකයා යනු, තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පමණක් සීමා වී අවදානම් ගැනීමෙන් වැළකී සිටින කුඩා පරිමාණයේ ව්‍යාපාරයක නියැළෙන අයයි.

නමුත් අප අපේක්ෂා කරන සැබෑ ව්‍යවසායකයා ඊට වඩා වෙනස් කෙනෙක් ඔහු හෝ ඇය වෙළෙඳපොළේ ඇති අවදානම් සහ අභියෝග භාරගෙන ඒවා ජය ගැනීමට උත්සාහ කරනවා. ඔවුන් නිරන්තරයෙන් නවෝත්පාදනයට යොමු වෙමින් නව ක්‍රමවේද හඳුන්වා දෙනවා. ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ දේශීය වෙළෙඳපොළට සීමා නොවී ජාත්‍යන්තර වෙළෙඳපොළ කරා යාමට සූදානම් වීමයි. අපේ පුහුණු වැඩසටහන් මඟින් උත්සාහ කරන්නේ මේ සාම්ප්‍රදායික මනසිකත්වයෙන් මිදී වර්ධනය ඉලක්ක කරගත් සැබෑ ව්‍යවසායකයා බිහි කිරීමටයි.

කාන්තාවන්ට ව්‍යවසායකත්වය තුළ සාර්ථක වීමට ඇති බාධක ලෙස ඔබ දකින්නේ මොනවාද? මෙම වැඩසටහන තුළින් ඒවා ජය ගැනීමට උපකාර කරන්නේ කෙසේද?

සාර්ථකත්වයට මඟ පෑදීමේදී කාන්තාවන් බාධක කිහිපයකට මුහුණ දෙනවා.

පළමුව ඔවුන්ට බොහෝ විට මූල්‍ය ප්‍රවේශයේ දුෂ්කරතා තිබෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දියුණු කිරීමට ණයක් හෝ ප්‍රාග්ධනයක් ලබා ගැනීමේ අපහසුතා තියෙනවා.

දෙවනුව තාක්ෂණික දැනුම හිඟකම සහ මූල්‍ය සාක්ෂරතාව මදිකම නිසා ව්‍යාපාර කළමනාකරණය අතින් දුර්වලතා ඇතිවෙන්න පුළුවන්. තුන්වනුව ගෘහස්ථ වගකීම් නිසා ඇතිවන සංස්කෘතික බාධක මඟින් ව්‍යාපාරය වෙනුවෙන් පූර්ණ කාලයක් යෙදවීමට නොහැකි වෙනවා. අවසාන වශයෙන් වෙළඳපොළ තරගකාරීත්වය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගුණාත්මකභාවය තහවුරු නොවීම නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළට යාමට නොහැකි වෙනවා.

අපේ වැඩසටහන තුළින් මෙම බාධක සඳහා සෘජු විසඳුම් ලබා දෙනවා. ඒ සඳහා මූල්‍ය සාක්ෂරතාව සහ තාක්ෂණික පුහුණුව වැඩි දියුණු කිරීම අනිවාර්යයි. ඒ වගේම අපේ උපදේශනය තුළින් ව්‍යාපාරය සාම්ප්‍රදායික මට්ටමෙන් ඔබ්බට ගෙන ගොස් සැබෑ ව්‍යවසායකත්වය තුළින් ව්‍යාපාරිකයෙක් ලෙස වෙළඳපොළ ජය ගැනීමට අවශ්‍ය අලෙවිකරණ උපදෙස් ලබා දෙනවා.

දැනට මෙම ව්‍යාපෘතිය හරහා සිදු කරන වැඩසටහන් පිළිබඳව විස්තර කිරීමක් කරන්න පුළුවන්ද?

ව්‍යවසායකත්වය සඳහා උනන්දුවක් දක්වන සැමට අත්‍යවශ්‍ය විෂය කාරණා සහ ප්‍රායෝගික දැනුම ලබා දීම සඳහා අප විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එම වැඩසටහන්

* මූල්‍ය කළමනාකරණය

* ව්‍යාපාර කළමනාකරණය

* වෙළෙඳපොළ පර්යේෂණ තුළින්

නව නිපැයුම් හඳුනාගැනීම.

* අලෙවිකරණය

* අවදානම් සාධක හඳුනාගැනීම සහ ඒ සඳහා උපාය මාර්ග යෙදවීම.

* නායකත්වය සහ සේවකයන් දිරි ගැන්වීම

* ව්‍යවසායකත්ව පුහුණුව ආවරණය කරනවා.

මෙම වැඩසටහන් මඟින් නවෝත්පාදන මනෝභාවයක් ඇති කර දීම, ඔවුන්ගේ හැකියාවන් සජීවී කිරීම සහ නව ව්‍යාපාර සාදා ගැනීමට මඟ පෑදීම අපේක්ෂා කරනවා.

මෙම වැඩසටහනේ අවසාන ඉලක්කය වන්නේ කාන්තාවන්ගේ ව්‍යාපාර අපනයන මට්ටමට ගෙන යාමයි. මේ සඳහා ලබා දෙන මඟපෙන්වීම කුමක්ද?

අපගේ වැඩසටහනේ දීර්ඝකාලීන අරමුණ වන්නේ ශක්තිමත් අපනයන ඉලක්ක කරගත් කාන්තා ව්‍යවසායිකාවන්ගේ ජාලයක් බිහි කිරීමයි.

අපනයන මට්ටමට යාමට නම්, කාන්තාවන් පියවර කිහිපයක් ගත යුතුයි. අපනයන සංවර්ධන මණ්ඩලය (EDB – Export Development Board) සමඟ සම්බන්ධ වී අපනයන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ පුහුණුව ලබා ගත යුතුයි. EDB අපනයන දොරටුව විවෘත කිරීමට හොඳම ස්ථානයයි. නව වෙ‍ෙළඳපොළ අවස්ථා සොයා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගුණාත්මකභාවය පවත්වා ගැනීමට කටයුතු කළ යුතුයි. තනි තනිව අවදානම සහ පිරිවැය දැරීමට අපහසු නම් ව්‍යවසායකත්ව කණ්ඩායම් ලෙස එක්වී වැඩ කිරීමෙන් අවදානම බෙදාගෙන සාර්ථකත්වය කරා යා හැකියි.

ඉදිරියේදී තරුණී පුවත්පතේ ලිපි පෙළක් මඟින් කාන්තා ව්‍යවසායිකාවන් දැනුම්වත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම ලිපි පෙළ මඟින් න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික යෙදවුම් මුල සිට ලබාදීමට අපේක්ෂා කරනවා.ඊට අමතරව සැබෑ ව්‍යවසායකයා පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීමටත් අප අදහස් කරනවා. දෙවැනුව ඒ සඳහා නායකත්වය ලබාදීමට සහ දිරිගැන්වීමට අවශ්‍ය සියලුම දැනුම අදාළ මාතෘකා යටතේ කොටස් වශයෙන් ලබාදීමට අපේක්ෂා කරනවා. උදාහරණයක් ලෙස :-

* වෙ‍ෙළඳපොළ හඳුනා ගැනීම

* පාරිභෝගික අවශ්‍යතා අවබෝධ කරගැනීම

* අලෙවිකරණය පිළිබඳව දැනුම

* ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන ආකාරය, නායකත්වය සඳහා පුහුණුව.

* ආයෝජනය කිරීම සඳහා ප්‍රාග්ධනය සොයා ගැනීම සඳහා මූල්‍ය ආයතන හඳුන්වාදීම

* තත්ත්ව පරීක්ෂණයන් සඳහා තම නිෂ්පාදන ඉදිරිපත් කර ඒ සඳහා අවශ්‍ය තත්ත්ව පර්යේෂණ සහතික ලබාගැනීම

* වෙළඳපොළ සංවර්ධනය කිරීම

* බෙදාහැරීමේ ජාලය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීම

* ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තම ව්‍යාපාරය සංවර්ධනය කිරීම

* සන්නාමකරණය හා ජාත්‍යන්තර වෙ‍ෙළඳපොළ හඳුනා ගැනීම සඳහා අවශ්‍ය උපාය මාර්ග සහ උපක්‍රම හඳුන්වාදීම

අප සිදු කරනු ලබනවා.

අවසාන වශයෙන් කාන්තාවන්ට මගේ පණිවිඩය වන්නේ, ඔබේ අනාගතය ඔබ අතේ… ඔබ සතු නිසග හැකියාවන් විශ්වාස කරන්න. ආර්ථික හා සමාජීය අභියෝග හමුවේ පසුබට නොවී ඔබේ හැකියාවන් හඳුනාගෙන, ව්‍යවසායකත්ව පුහුණුව ලබා ගනිමින් ඉදිරියට එන්න. ඔබේ ව්‍යාපාරය රටට ආඩම්බරයක් වනු ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?