තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ [email protected] වෙත යොමු කරන්න.
පුවත්පත් රැසක මාධ්‍යවේදියකු ලෙසින් කටයුතු කළ කපිල කුමාර කාලිංග ‘රයිනෝසිරස්, උක්දඬු ගින්න, සිහින සාප්පුව, බැංකු වීරයා’ වැනි නාට්‍ය රැසක් ද අධ්‍යක්ෂණය කළේය. ‘වනබිමේ සිරකරු‘ ටෙලි නිර්මාණෙය් අධ්‍යක්ෂවරයා ද ඔහුය. ‘දෑකැති මුවහත’, ගංදෑල නිසලයි’ වැනි ටෙලි නිර්මාණ ගණනාවක් රචනා කරන ඔහු ජනප්‍රිය ගී පද රචකයෙකි. කවියෙක්, ගුවන් විදුලි නාට්‍ය රචකයෙක්, කෙටිකතාකරුවෙක්, ගමන් විත්ති රචකයෙක් හා නවකතාකරුවෙක් ද වන ඔහු ‘පියැසි කවුළුව, කන්දේ වීදිය’ වැනි නවකතා රචනා කළ කපිල ලියූ ‘අදිසි නදිය‘ නවකතාව 2019 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය. ‘දුඹුරු වලාකුළු, කෙටි වුණත් ඒ කවි හා විදෙස් කවි උයන’ ඔහුගේ කාව්‍ය කෘතීන්ය. ‘වසන්තයේ අග’ 2024 විශිෂ්ට ගීත රචනා එකතුවට හිමි රාජ්‍ය සම්මානය හිමිවිය.
හොඳම කවිය
පීදෙනා හීනයක…
ළා සඳ ඉරා තුරු පත්
අඳී සෙවණැලි ඈ වත
නළල් පට අතරින්
හිනැහේ යළිත් අඩ හඳ
මුදු සිහින අමුණමින්
ගෙල සිඹින මුතුහරක
සුව මිසක බරක් කොහි
පීදෙනා හීනයක
ඉහිරවා තරු කිනිති
සිඳී යයි අහස් ගඟ..
පුළිඟු නෙතදර පුරා
ගලා එයි කැලුම් දිය..
හෙල්මැලි පීදෙනා හඬ
ඇසෙන මැදියමක…
කලා සොළොසම අතැර
සැඟව යයි පුරා හඳ..
දරාමුත් නොපෙනෙනා මහා ගිනිකඳු සිරස..
ළහිරු තිර පට අතැර මුවාවෙන් මිදෙනු දැක..
ඉන්ද වූ මල් කිනිති
නෑඹුල්ම උයන් බිම ..
සනසමින් ඇද වැටේ
පොකුරු මල් වැහි කලඹ..
තේජා රාජපක්ෂ
චීනයේ, ෂියෑං නුවර වෙසෙන, තේජා රාජපක්ෂ විසින් ‘තරුණී‘ කවි පිටුවට යොමු කළ, ‘පීදෙනා හීනයක’ මෙවර හොඳම කවිය ලෙස තෝරා ගැනුණේ, එහි දකින්නට ලැබෙන, විශේෂිත කාව්‍ය ගු ණයන් නිසාය.
කවි බස, ව්‍යංගාර්ථවත් බව, සොබාදම හා බැඳුණු අපූර්ව පරිකල්පනය, මේ කව පොහොසත් කරන්නට යටත් වෙයි. “පීදෙනා හීනයක“ රසිකයාගේ ද පරිකල්පනය අවුළුවයි. කවියාට, සොබාදම යනු ජීවිතාවබෝධය ලබා ගැනීමට උපකාරී වන ඇඳුරකු බඳුය. තේජා රාජපක්ෂ නමැති මෙම තුරුණු කිවිඳිය ද, එම ඇඳුරිඳුගේ බැතිමත් සිසුවියක ලෙස දකිමි.
ආරාධිත කවිය
ප්‍රේමයෙන් හද පිරෙන සඳ
ප්‍රේමයෙන් හද පිරෙන සඳ
ඔබ දෙනුවන් දකිනු ඇත
ක්ෂුද්‍ර දුහුවිල්ලේ ද සහසක්
ඉන්ද්‍රචාප
අනුකම්පා විරහිත
කටුක හේමන්තයක ද
දැනෙනු ඇත වරින් වර
උණුසුමක් ළය ගැඹුර
ඇවිද යනවිට නිරුදක
වාලුකාවක
ගව්වෙන් ගව්වට හමුවනු ඇත
කෙම්බිම් ද අපමණ
ගිම්හාන අහසක වුව
නෙත ගැටෙනු ඇත විජ්ජුලතාවක සිරිවත
වස්සාන අහසක ද
නැගෙනු ඇත
ළහිරු මඬලක් පැහැබර
ඉරා අඳුරු පට එක එක
අමාවක රැයක වුව
දැනෙනු ඇත ඔබ හට
වැඩෙන්නට තතනන
සිහින් සඳ ළපල්ලක සිහිලස
සුනේත්‍රා අලුත්දුන්නේ
———–
බිඳුණු හද
පන්තියේ සිටි කුරුලු ජෝඩුව දෙසට කාගෙත් නුවන් ඇදුණා
ගෙවී කාලය පියාඹා ගොස් උන්ගෙ ලෝකෙ කූඩු තැනුණා
පැටවු ඉපදී සතුට ඉතිරී විහඟ ගී නද රාවෙ ඇසුණා
අරුමෙ කිමදැයි සිතාගනු බෑ පසුව මැදියමෙ අකුණු වැදුණා
සිතේ දුක මධුවිතට කියලා සමන්, මලිතිට අදත් ගැහුවා
පුංචි ඈයෝ වෙවුලමින් ඇඳ යටින් එළියට උදේ ආවා
ගමේ නෑයෝ බිඳුණු හදවත දෙපළු වෙන්නම තවත් තැළුවා
දයාවෙන් සිටි කිසිවකුත් නෑ ගෙදර බල්ලත් රවා බැලුවා
ඇය නමින් කාලයක් වෙන්කර තිබුණු නීතියෙ පිටුව වැහුවා
මුඛ වැසුම් බැඳ ඔහුගෙ දෙසවන රළු වදන් පුරවලා මැහුවා
ලෙඩේ හඳුනා නොගත් හින්දා එදා ඉඳලා වැඩිය බිව්වා
කපා බලලා කියාපන් ඔහු සිතේ සිරකර තිබුණු එව්වා
අජිත් මුණසිංහ – හාලිඇල
———–
බිඳුණු ළමයි
හිස් සුදු කැන්වසය
පින්සලෙන්
වර්ණ ගැන්වීමට
නියමිතයි
කැන්වසයෙ මතුවන
සිනාසෙන මිනිස් රුව
වැරදි පින්සල් පහරකින්
කළු වර්ණ උරා ගනී
සිතුවම මුළුමනින්
ආලෝකය ගිල ගනී
‘නැවත ආලෝකය
මතු කළ හැකිද ?’
“ඇතැම් විට”..
සචී
———-
සුබ උදෑසනක් !
මේ මල් උයන
අයිති ඔබට ය
පිනි කඳුළු සමඟ
හිමිදිරියේ
අෑත . . . . . . හිඳ
හුදෙකලාවේ
අතරමං වූ හිතවතිය
උයන් බිම පිපී
රුවැති සුවඳැති
හැම කුසුම්
අයිති ඔබටය
පිපි කුසුම් මත
සිනා තැවරූ
මේ උදෑසන ද
සමඟ
චමින්ද රොෂාන්
———-
අනේ ආසයි..
හොඳින් ඉර එළියට විවර වුණු
ජනෙල් ඉස්මත්තේ වාඩිගෙන
තෙරක් නැති කොළ ගස් දිහාවේ
බලන් ඉන්නට අනේ ආසයි..
නෑයො ඔක්කොම ඉන්න දවසක
සතුට පුරවන් හිත පුරාවට
හේතුවක් නැතුවම ඉබේටම
හිනා වෙන්නට අනේ ආසයි..
සඳ තරුත් ඇති නිසල රෑකට
රුවන්වැලි මහ සෑය පාමුල
හිත නිවෙනකම් ඔහේ ඉඳගෙන
වැඳන් ඉන්නට අනේ ආසයි..
සුසුම් රැල්ලක වෙනස අඳුරන
හිතට ළඟ යාළුවෝ එක්කම
කොහේ හරි දුර ගිහින් සතුටින්
ඉඳලා එන්නට අනේ ආසයි..
ආදරේ දෝරේ ගලන් යන
හිතක් ළඟ ගුළිවෙලා ඉඳගෙන
හිතේ ඇති අපමණ
හැඟුම් පොදි
බෙදා ගන්නට අනේ ආසයි..
– චමරි රෝසවඩු –
————-
කහට වෙරළු
ඉණට පලා නෙළා ගත්තු
බරටම දර කඩා ගත්තු
අතට වෙරළු ඇහිඳ ගත්තු
අම්මා දුන් වෙරළු ගෙඩිය
මුවට තබා කොනිත්තලා
ඈතට ඇය වීසි කළා…
නුරා බරිත හිනා පොකුර
වෙරළු රැඳුණ උණුහුම අත
කාලයක්ම ඇයගේ සිත
සිහින ලොවේ සුවපත් විය
වෙරළු කැලෙන් ඔහු නික්මී
ඇපල් වත්ත වෙත ගියේය…
සිහින ලොවම ගරා වැටී
වෙරළු කඳුළු යළි සිහි විය
වෙරළු ගහේ පුංචිම ගෙඩි
ඇයගේ අතට යළි අසුවිය
හපන විටදි එයින් එකක්
ඉණට පලා නෙළා ගත්තු
බරටම දර කඩා ගත්තු
අතට වෙරළු ඇහිද ගත්තු
අම්මා යළි සිහිපත් විය
පී. එල්. ජානක විශ්වජිත්
රත්ගම
