දොර ජනෙල් මේස පුටු පවා සුදු පාටින් යුත් පරණ වලව් තාලේ නිෙවසකි. නවීන පන්නයේ මෝටෝ රිය කීපයක් මිදුලේ නවතා තිබෙයි. ඉදිරිපස වැරැන්ඩාව කලබලයි. උස් හඬින් කරන සංවාද ද විටෙන් විට නැඟෙන කොක්සන් සිනා හඬ ද ඈතට ඇසෙයි. මේ දියගම පිහිටි අනුරුද්ධ විජේබණ්ඩාරගේ නිෙවසයි. අනුරුද්ධ නිගූ සමඟ පේරාදෙණියේදී එකම දේශපාලන ධාරාවක නිරතව සිටියෙකි. දැන් කොළඹ සරසවියෙහි දේශපාලන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකි.
පැරණි මිතුරන් රැසක් ආදරණීය ලෙසත්, ආවේගශීලීවත්, ආස්වාදනීයවත් රොද බැඳ සිටිති. සනත්, සාලින්ද, හරේන්ද්‍ර මෙන්ම අනුරුද්ධ ද පාසල් සමයේ පටන් මිතුරෝය. කීර්තිත්, ජයදේවත්, විරාජයාත් ජනපති නිෙවස වටලෑ දින සිට අරගලය හා සක්‍රියව සිටිති. අනූපම චන්ද්‍රතිලක දීප්තිමත් සම්මානිත කවියෙකි. ඔහු සමඟ පැමිණ සිටි යුවතිය නිගූවත්, නිගූ ඇයවත් එකවරම හඳුනා ගනිති. ඈ සාරාගේ උපන් දිනය දවසෙහි කාංචනා හඳුන්වා දුන් සාරදා සරච්චන්ද්‍රයි. ඈ නිගූ දුටු මනත ඉස්සරහට එමින් එදාටත් වඩා තදින් නිගූ වැලඳගෙන හග් කරයි. දෙදෙනාම අහඹු හමුවීමේ විස්මයත්, ප්‍රහර්ෂයත් සිරුරින් ද මුහුණින් ද පළ කරති.
” අනුරුද්ධ සර්ව දන්නෙ ගොඩක් කල් ඉඳලා.. මගෙ එම් ෆිල් එකේ තිසීස් එක ගයිඩ් කරන්නෙ සර්…අනූපමයියා නම් අපේ ගෙවල් පැත්තෙමයි..අපේ ගෙවල් මේ ළඟ.. ලේන් දෙකකට එහා… අනුරුද්ධ සර් තමා මට ඉස්සර වෙලාම ඔයා ගැන කිව්වෙ.”
පෙර දින දුටුවාටත් වඩා අමුතු ලස්සනක් නිගූ සාරදා වෙතින් දකියි. එදා ඈ සාදයට සැරසී සිටි තාලයට වඩා අද වෙනස්ය. ඩෙනිමක් ඇඳ ටී ශර්ට් එකක් උඩින් දා සිටින්නීය. තොල් පාට කර නැත. කෙස්ස උස් කොට ගෙඩියක් ගසා තිබෙයි. නිගූ මඳක් ඈ ළඟ නතරව හිඳිනු දුටු අනුරුද්ධ ඔවුන් දෙසට එයි.
“කාංචනාගේ යාළුවෙක්ලු නේද?”
අනුරුද්ධ අසයි.
” ඔව්. දවසක් අපේ ගෙදරත් ඇවිල්ලා
තියෙනවා.” නිගූ කියයි.
“මේගොල්ලො මිරිහානේ දී ගුටි නොකා ඇවිත් තියෙන්නෙ අනූ නවයෙන්.. ගෙවල්වල ඉන්න මිනිස්සුන්ටත් ගහලනේ… හැබැයි දැන් මිනිස්සු පාරට එන්නෙ ඕෙන දේකට ලෑස්තියෙන්..හෙට ගෝල්ෆේස් එකට එන්නෙ දෙකෙන් එකක් බේරාගෙන මිසක් ආපහු යන්න නෙවේ කියලයි ගොඩක් උන් කියන්නෙ.”
අනුරුද්ධගේ වචන ප්‍රාණවත්ය. පේරාදෙණියේදී ශිෂ්‍ය සංගමයට එරෙහිව සිදු කළ ඡන්ද සටනේදී අනුරුද්ධ වූස් කැන්ටිමේ මේසයක් මත නැඟී කළ වේගවත් කතාව නිගූට මතක් වෙයි. ඒ ඡන්ද සටනේ දී නිගූ රළු සටන් පාඨ වෙනුවට කවිවලින් සහ චිත්‍රවලින්ම ෆැකල්ටිය සරසයි. ඒ උපක්‍රමයෙන් මැද සිටි සිසුන් පිරිසක් දිනා ගැනීමට ඔවුන්ට හැකි වුවත් ඡන්දයෙන් පැරදී පත් වුණු ශිෂ්‍ය සංගමයෙන් ගුටි නොකා බේරෙන්නේ අනූනවයෙනි.
” මචං කඩදාසි ටිකකුයි, තීන්තයි පිටකොටුවට යවලා ගෙන්න ගත්තා…හෙට වටේම පෝස්ටර් පාරක් යවමු.. උඹටයි සඳයටයි තමා අඳින්න වෙන්නෙ.. සඳයා මඟ එන ගමන්..”
අනුරුද්ධ වැරැන්ඩාවේ පසෙකට වෙන්නට තබා තිබුණු කොළ රීල දෙසට අත දිගු කරයි.
” අඩේ…හ්..සඳයත් එනවද? .. මරුනෙ…” නිගූගේ සතුට එළියට පනියි. අසේල සඳනායක සරසවි ඡන්ද සටනේ දී නිගූ පසුපසින්ම සිටි සගයෙකි. දෙවැනි වසරේදී නිගූ කවි පොතක් පළ කරන්නේ ද අසේල සඳනායක සමඟයි. කාලෙකින් මුණ නොගැසුණු මුහුණු රැසක් යළි මුණ ගැස්සවීමට අරගලයට හැකි වී තිබෙයි.
සාරදාත් අනූපමත් මාධ්‍යවේදියකු වන සමීර ගජනායකත් පසෙක තබා ඇති සෝපාව මතට වී, මේ අරගලය “ආදරයේ අරගලය” යනුවෙන් නම් කළ යුතු යැයි ද ලෝකයේ වෙනත් අරගලවල තිබුණු ම්ලේච්ඡ ගති ලක්ෂණ මේ අරගලයේ අවම වී ඇතැයි ද පවසමින් ආස්වාදනීය සංලාපයක ගැලී සිටිති.
විරාජ් වැරැන්ඩාවට පිවිසෙන පඩිපෙළෙහි වාඩි වී රතු, කහ සහ කළු තීන්ත දිය කරයි. කඩදාසි සුවඳත්, තීන්ත සුවඳත් නිගූ තුළ අතීත කාමයක් අවුස්සයි. නිගූ පින්සල්වල කෙඳි අත ගා අකුරු ඇඳීමට සුදුසුම පින්සලක් තෝරයි. පරණ මේසයක් පසෙකට ඇදගෙන නිගූ පෝස්ටර් ඇඳීම අරඹයි. දන්නා කියන කවීන් කිහිපදෙනකුට කතා කොට කවි කිහිපයක් ගෙන්වා ගනියි. ඒ අතරින් ප්‍රංශයේ වෙසෙන වෙඩ්ඩා එවා තිබුණු කවියට නිගූ එකවරම කැමැති වෙයි.
“මහපාර තමයි
අපි රොද බඳින තැන
මහපාර තමයි අපි
පෙළ ගැසෙන තැන
සකල විධ නරුමයන්
දණ නමන තැන
වරෙවු සකියනි වරෙවු
බැරියරය පැන”
සාරදා වැරැන්ඩාවේ කෙළවර කෙටි බිත්ති කණ්ඩියට හේත්තු වී නිගූ අඳින දෙස බලා හිඳියි. නිගූගේ දිගු ඇඟිලිවලින් අල්ලා ගත් පින්සල අකුරේ රිද්මයට නැටවෙනයුරු බලා හිඳුම විස්මයකි. සාරදා සරච්චන්ද්‍රගේ ඇස් විස්මයෙනුත් නිගූ කෙරෙහි උපන් ගෞරවය මුසු සෙනෙහසකිනුත් දිළිසෙයි. තමාගේ ඉහළ නිලධාරිනියක් වන කාංචනා මේ මිනිසා පිළිබඳ තමන් සමඟ කියා ඇති දේ මෙනෙහි කරයි.
” නිගූ කියන්නෙ සීනි බෝලයක්.. එයා කවදාවත් පරිණත වෙන මිනිහෙක් නෙවෙයි.. එයාට බෑ ගෑනියෙක්ව නියම විදිහට සන්තර්පණය කරන්න..”
කාංචනා තමා සමඟ කතා කරන විට සමහර අමුතු සිංහල වචන පාවිච්චි කරයි. ඒ සාරදා කියවන ලියන කෙනෙක් බව කාංචනා දන්නා නිසයි. අමුතු වචනවලට ආසා කරන සාරදා කාංචනාට ළං වෙන්නට එයද හේතුවකි. ඒ අමුතු වචන අස්සේ හැඟවුමකරණය වන කලාපය සොයා බැලීමට සාරදා ආසයි.
නිගූ ගැන සාරදාගේ කුතුහලය ලියලයි. හිත් යටිමඩියෙහි කළුවර කුහරයක ආශාවේ එළි බිඳක් නලියයි. වෙනත් ගැහැනියක විසින් බැහැරකොට පසෙක ලූ මේ මිනිසා කෙබඳු මිනිසකු දැයි ඔහුගේ හෘද කුටීර වෙත එබී ක්ෂුද්‍ර ආත්මය ගවේෂණය කිරීමේ දෘඪ ආශාවක් විළිලයි.
අනුරුද්ධ, සාලින්ද හා අනූපම සමඟ එක්ව අත්පත්‍රිකා පෙළක් සැකසීමට අවැසි කරුණු කාරණා එකලස් කොට කෙටුම්පත් කරයි. විවිධ සමාජ කණ්ඩායම්වලට අරගලය වෙනුවෙන් ආමන්ත්‍රණය කිරීම අපේක්ෂාවයි. අනුරුද්ධගේත්, හරේන්ද්‍රගේත් විදෙස්ගත මිතුරන් කිහිපදෙනකුගෙන් ද අතහිතත් හොඳහිතත් නොමඳව හිමිවෙයි.
අතරමඟ කෙටි තේ පැන් විරාමයේ උණුසුම් අල්ලාප සල්ලාපය අතරතුර සඳයා ද පැමිණ සාදයට අතුරුපස බවට පත් වෙයි. අනතුරුව යළිත් වැරැන්ඩාව සක්‍රීයයි. දැන් නිගූ අඳින අඳින පෝස්ටරය හැඩ බලා තැන තැන වේළෙන්නට අතුරන්නී සාරදාය. නිගූ අඳින හැම කවියකට හෝ වැකියකට යටින් එකම හෑෂ් ටැග් එකක් ලියවෙයි. ඇඳ අවසන් කළ පෝස්ටරයක් ඉවත් කරන මොහොතේ ඇගේ ඇස නිගූගේ ඇස් පතුළට එබෙයි. ඇසිනැස විනිවිදින ඒ නිමේෂමාත්‍රය විදුලි කෙටුමකි. අනිර්වචනීය ප්‍රහර්ෂයකි. ආසා ඊසර ළය පසාරු කිරීමකි. ඇසිනැස හමුව තෙපලූ ඒ නිමේෂමාත්‍ර නේත්‍ර සංලාපයෙන් අනතුරුව දෙදෙනාගේම මුහුණුවල මුදු මඳහසක් පොපියයි. සාරදා ඉස්සර වෙයි.
” කාංචනා මැඩම් ගොඩක් දේවල් කියලා තියෙනවා මා එක්ක .. ඔයා ගැන..”
” මොනාද මා ගැන එයා කිව්වෙ..?”
මඳහස මකා බොරු බැරෑරුම්කමක් මවා ගනිමින් නිගූ අසයි.
තවත් කොටසකින් හමුවෙමු
නවකතා රචනයට හිතැති නවක ඔබට කදිම අවස්ථාවක්. කොටස් දහයකින් යුත් කෙටි නවකතාවක් අපට ලියා එවන්න. එක කොටසක් වචන 850ත් 900ත් අතර කුතුහලය සහිත අවසානයක් තිබිය යුතුයි. ඔබේ කතාව [email protected] වෙත හෝ තරුණී, ලේක් හවුස්, කොළඹ – 10 ලිපිනයට යොමු කරන්න.
			        
			        
														