Monday, October 27, 2025
Epaper
Home විශේෂාංගඇය තනිවෙන්න ඉපදුණේ නෑ

ඇය තනිවෙන්න ඉපදුණේ නෑ

-සමාජ විනිශ්චය හමුවේ තනි මවකගේ නොසැලෙන සටන

by Sachintha Lakehouse

අප ජීවත්වන සමාජයේ වඩාත්ම නිහඬ නමුත් ශක්තිමත්ම චරිත අතරට අයත් වන කෙනෙක් ලෙස තනි මව හෙවත් Single Mother සුවිශේෂී තැනක් ගනියි. ඇය එක්වර මව, පියා, සේවිකාව, ගු රුවරිය, සහ පවුලේ ආර්ථිකය සපයන්නිය බවට පත්වන්නේ තමාගේ සියලු සිහින යටපත් කරමිනි. කෙසේ වෙතත් මේ අසමසම අරගලය තුළ ඔවුන්ට මුහුණ දීමට සිදුවන සමාජ අභියෝග සහ නීතිමය බාධක ගැන අපේ සමාජය බොහෝවිට කතා නොකරයි.

ප්‍රශ්න කිරීම් සහ අභියෝග යනු තනි මවකගේ ජීවිතයේ සාමාන්‍ය දෙයක් බව සනාථ කරන එක් කතාවක් අපට මුණගැසුණි.

වසර කිහිපයකට පෙර දික්කසාදයකින් පසු ඇය තම පස් හැවිරිදි දියණිය සමඟ ජීවන බර කරට ගත්තාය. ඇය පෞද්ගලික ආයතනයක පරිපාලන සහායිකාවක් ලෙස රැකියාව කරන අතර, ඇයට මුහුණ දීමට සිදු වූ අභියෝග සුළුපටු නොවේ.

“මම දරුවාට හොඳ පාසලක් හොයනකොට, සම්මුඛ පරීක්ෂණයේ දී විදුහල්පතිතුමා මුලින්ම ඇහුවේ ‘දරුවාගේ පියාගේ සහයෝගය කොහොමද?’ කියන එක. මම දික්කසාද වූ බව කිවුවාම, ඔහු මගේ දිහා බැලුවේ අපරාධයක් කරපු කෙනෙක් දිහා බලන විදිහට. ඒ බැල්මෙන් මට දැනුණේ මේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න මම සුදුසු නැහැ කියන එකයි. ඒ වෙනුවට, මම දරුවාට දෙගුණයක් වෙහෙසෙන අම්මා කෙනෙක් කියලා සමාජය තේරුම් ගත්තේ නැහැ.”

සමාජ විනිශ්චය මෙතැනින් නවතින්නේ නැත. ඇයට පවුලේ සාමාජිකයන්ගෙන් පවා හු‍ෙදකලාවීමට සිදු විය. “සැමියාගේ පාර්ශ්වය සම්පූර්ණයෙන්ම අපිව අත්හැරියා. මගේ මවුපියන් මම ‘පවුල කඩාගත් කෙනෙක්’ කියලා හංවඩු ගැසුවේ නැතත්, මගේ අසල්වැසියන් ‘දරුවා අවාසනාවන්තයි’ කියලා කතා කරනවා මට ඇහුණා. මේ හු‍ෙදකලා බව තමයි මට දැනුණු ලොකුම වේදනාව. සමහර දවස්වලට මට හිතුණා, මේ ලෝකයේ මමයි මගේ දරුවයි විතරයි ඉන්නේ කියලා.”

කෙසේ වෙතත්, ඇයගේ කතාවේ වීරත්වය ඇත්තේ ඇය මානසිකව නොසැලී සිටීමයි. “මම මගේ දියණිය දිහා බලලා තීරණය කළා, මම හැමදාම අම්මාත්, තාත්තාත්, ඇයගේ හොඳම යාළුවාත් වෙලා ඉන්නවා කියලා. මට එදා තිබුණේ එකම විකල්පයයි. වැටී යෑම හෝ සටන් කිරීම. මම සටන් කරන්න තීරණය කළා.”

ඒ ඇයගේ කතාවයි .

තනි මවක් සමාජයට මුහුණ දෙන විට පළමුවෙන්ම ඇයට මුහුණ දීමට සිදුවන්නේ සමාජයේ විනිශ්චය වෙතයි. එමෙන්ම සමාජයේ ප්‍රශ්න කිරීම් වෙතයි.

“දරුවාගේ තාත්තා කෝ? ”, “ඇයි එයා ගියේ? ” , “දරුවාට පිරිමි සෙනෙහසක් නැති වුණාම මොකද කරන්නේ? ”

එවැනි ප්‍රශ්න නිරන්තරයෙන් ඔවුන්ට එල්ල වේ.

මෙවැනි ප්‍රශ්න නිසා තනි මවට ඇතිවන මානසික පීඩනය සුළුපටු නොවේ. විවාහය දික්කසාදයකින් හෝ කාලත්‍රයාගේ අභාවයකින් අවසන් වූ විට කාන්තාවන් බොහෝ විට අසාර්ථක වූ කෙනකු ලෙස සමාජය විසින් මාතෘත්වයේ වගකීම් සමඟ එක් වූ විට ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බරපතළ ලෙස බලපායි. ඇතැම් අවස්ථාවලදී අසල්වාසීන්ගෙන් හෝ පවුලේ සාමාජිකයන්ගෙන් පවා ලැබෙන අඩු තක්සේරුව නිසා ඈ තනිකමට සහ විශාල මානසික පීඩනයකට ලක් වේ.

බොහෝවිට ස්වාමියාගේ පවුලේ අයම ඇයව නොසලකා හරිමින් අඩු තක්සේරුවකට ලක් කරයි.

තනි මව මුහුණ දෙන ලොකුම අරගලය වන්නේ ආර්ථික අස්ථාවරත්වයයි. දරුවාගේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ අනෙකුත් වියදම් වෙනුවෙන් ඇය රැකියාවක් කළ යුතු අතර ඒ අතරම දරුවා රැක බලා ගැනීමද කළ යුතුය. ශ්‍රී ලංකාවේ බොහෝ ආයතනවල නම්‍යශීලි සේවා පැය (Flexible working hours) නොමැති වීම නිසා ඔවුන්ට හොඳ වැටුපක් සහිත රැකියා අහිමි වේ.

එමෙන්ම දික්කසාද වූ හෝ වෙන් වූ මවුවරුන්ට දරුවන් නඩත්තු කිරීමේ නීතිමය ක්‍රියාවලිය ඉතාමත් මන්දගාමී හා සංකීර්ණ විය හැකිය. උසාවි කටයුතුවලට යාම, නීතිඥ වියදම් දැරීම සහ නඩත්තු ගෙවීම් ලබා ගැනීමේදී ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට පත් වේ. ඇතැම් පියවරුන් නීතිමය වගකීම් පැහැර හැරිය ද මවට තම දරුවා වෙනුවෙන් සටන් කිරීමට සිදුවන්නේ තනිවමය. මේ අතරතුර දික්කසාද වූ හෝ අහිමි වූ සැමියාගේ දේපළ අයිතිය සම්බන්ධයෙන් ද ඔවුන්ට විශාල නීතිමය අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වේ.

මෙවැනි බොහෝ ආකාරයේ බාධක මවකට එනම් Single Mother කෙනෙක්ට ජයගත යුතුව තිබේ. අප සමාජයේ සිටින එවැනි මවුවරුන් තුළ ඇත්තේ පුදුමාකාර මානසික ශක්තියකි. ඔවුහු හොඳම දේ තමන්ගේ දරුවාට ලබා දීමේ දැඩි අධිෂ්ඨානයෙන් සිටිති. මේ මවුවරුන් තුළින් අපට දැක ගැනීමට හැකි වන්නේ නිති කැපවීම, විනය, සහ සාර්ථකත්වය කරා යන නොසැලෙන ගමනකි. ඔවුන් තම දරුවන් ශක්තිමත් පුරවැසියන් ලෙස ඇති දැඩි කිරීමට දරන උත්සාහය කිසිවකුටත් දෙවැනි නොවේ.

සමාජයේ බොහෝ විට අනුකම්පාවෙන් හෝ වැරදි ආකල්පවලින් දකින චරිතයක් වේ. ඔවුන්ව බොහෝ ලෙස දක්වන්නේ “වැරහැලි ඇඳගෙන දුක් විඳින” චරිතයක් ලෙසයි. නමුත් සත්‍ය නම් ඔවුන් අතිශය ශක්තිමත් කැපවීමෙන් සහ නිර්භීතව ජීවිතය ජය ගන්නා සැබෑ වීරවරියන් වීමයි. මෙම දෘෂ්ටිකෝණය සමාජගත කිරීමට නම් ඒ සඳහා ධනාත්මක නිර්මාණ බිහිවීම අත්‍යවශ්‍ය වේ.

මෑත කාලයේ ලංකාවේ එම තේමාව යටතේ බිහි වූ විශිෂ්ට නිර්මාණයක් වන්නේ අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ “මදර් ලංකා” (Mother Lanka) චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය තනි මවක් සිය දියණිය පෝෂණය කරමින් පෞද්ගලික අභියෝග හා සමාජ අපේක්ෂාවන් මැද ක්‍රීඩාව, ලිංගිකත්වය, සහ ආදරය වැනි තේමා ඔස්සේ ගොඩනැඟෙන කතාවකි. එය හුදෙක් දුක් කම්කටොලු විඳීම වෙනුවට, නවීන ශ්‍රී ලාංකේය අත්දැකීමක් සියුම්ව හා නැවුම් ලෙස නිරූපණය කරයි. මෙවැනි නිර්මාණ මඟින් තනි මවකගේ චරිතය දිරියෙන් සහ අධිෂ්ඨානයෙන් යුත් තැනැත්තියක් ලෙස සමාජගත කරයි. ඒ අනුකම්පාව වෙනුවට ගෞරවය හා සවිබලගැන්වීම ඉල්ලා සිටියි. අපට අවශ්‍ය වන්නේ තනි මවකගේ ශක්තිය කැපවීම සහ සාර්ථකත්වය විදහාපාන මෙවැනි නිර්මාණ වැඩි වැඩියෙන් බිහි වීමයි.

තනි මවක් වීම සාර්ථකත්වයට බාධාවක් නොවන බවට ලෝකයේ බොහෝ ලෙස උදාහරණ ඇත. ඔවුන් තම දරුවන් වෙනුවෙන් සටන්වැදී ලෝකයෙම ආදර්ශයක් බවට පත් වූ චරිතයි.

එක් අයකු වන්නේ මාරි කියුරියි. ඇය තම ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසු කුඩා දියණියන් දෙදෙනා ඇති දැඩි කරමින්ම විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාග දෙකක් දිනාගත් ලොව පළමු කාන්තාව සහ විද්‍යාඥවරිය බවට පත් වූවාය. තවද සුශ්මිතා සෙන්. ඇය සුපිරි බොලිවුඩ් නිළියක්. ඉන්දියාව වැනි සාම්ප්‍රදායික රටකදී පවා විවාහ නොවී දරුවන් දෙදෙනකු හදවතින්ම හදාවඩා ගත් සාර්ථක තනි මවක් ලෙස ඇය බොහෝ දෙ‍ෙනකුට ආදර්ශයක් වී තිබේ.

මෙවැනි කාන්තාවන් රාශියක් තනිවම වුවත් තම ජීවිතය සාර්ථක කරගෙන තිබේ. මෙපමණක් නොව ලෝකයේ තවත් මෙලෙස තනිවූ බොහෝ කාන්තාවන් අතීතයේත්, වර්තමානයේත් තමන් සහ තම දරුවන් වෙනුවෙන් කැපවීම් කරන ලදි. එමෙන්ම කරමින් සිටී.

Single Mother කෙනෙකුට ජීවිතය ජය ගැනීමට නම් සමාජයෙන් හා රජයෙන් මෙන්ම තමන්ගේම අයගෙනුත් විශාල සහයෝගයක් ලැබිය යුතුයි.

ඔවුන් දෙස අනුකම්පාවෙන් හෝ විනිශ්චයකින් තොරව සාමාන්‍ය මවක් ලෙස බැලිය යුතුයි. එමෙන්ම ඔවුන්ගේ තීරණවලට ද ගරු කළ යුතුය. රජය සහ පෞද්ගලික ආයතන මඟින් ළමා සුරැකුම් පහසුකම් සහ නම්‍යශීලි වෙලාවන් සහිත රැකියා අවස්ථා වැඩිපුර ලබා දිය යුතුය. නීතිමය කටයුතුවලදී නීතියෙන් ඔවුන්ට සහාය ලබා දීමට සහ නොමිලේ නීති උපදෙස් ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුය. ඔවුන්ට මානසික සහාය ලබා දීම සඳහා තනි මවුවරුන්ගේ සහාය කණ්ඩායම් පිහිටුවා ඒවා ප්‍රචලිත කළ යුතුය.

 

තනි මවක් යනු අසරණ වූ හෝ අසාර්ථක වූ කාන්තාවක් නොවේ. ඇය තම පවුල ශක්තිමත් කිරීමට දෙගුණයක් වෙහෙ‍ෙසන වීරවරියකි. අප සමාජයේ වගකීම වන්නේ ඇයව තනි නොකර ඇයගේ උත්සාහයට හිස නමා ආචාර කිරීම හා ඇයගේ ගමනට ආලෝකය සැපයීමයි.

 

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?