සමහර කෑම වර්ගයක්, උදාහරණයක් විදිහට චීස්, වයින්, තක්කාලි, චොකලට් වගේ දෙයක් කෑවට පස්සේ ටික වෙලාවකින් ඔළුව පැළෙන්න වගේ රිදෙන්න ගන්නවා. බඩ පුරවලා දාලා අපහසුතාවක් දැනෙනවා. නැත්නම් ඇඟ පුරා පොඩි පොඩි බිබිළි දාලා කසන්න ගන්නවා.
ගොඩක් වෙලාවට අපි මේක හිතන්නේ මොකක්හරි ඇලජි (allergy) එකක් කියලා. ඒත් හැම වෙලේම ඒක ඇලජි (allergy) එකක්ම වෙන්න ඕෙන නෑ. මේකට හේතුව ඔයාගේ ශරීරයේ තියෙන එන්සයිමයක අඩුවක් නිසා ඇතිවෙන ‘හිස්ටමින් ඉන්ටොලරන්ස්’ (Histamine Intolerance) කියන තත්ත්වය වෙන්න පුළුවන්. අද අපි කතා කරමු මේකට සම්බන්ධ Diamine Oxidase (DAO) කියන එන්සයිමය ගැන.
🤔 මොකක්ද මේ ඩයමින් ඔක්සිඩේස් (Diamine Oxidase – DAO) කියන්නේ?
DAO කියන්නේ, අපේ ශරීරයේ, විශේෂයෙන්ම බඩවැල් ආශ්‍රිතව නිපදවෙන, ආහාර දිරවන්න උදවු වන ගොඩක් වැදගත් එන්සයිමයක්.
මේ DAO එන්සයිමයේ ප්‍රධානම රාජකාරිය තමයි, අපි කන කෑමවල තියෙන හිස්ටමින් (Histamine) කියන රසායනික සංයෝගය බිඳලා දාලා, ඒක ශරීරයට අවශෝෂණය නොවී ඉවත් කරන්න උදවු කරන එක.
ඔයාගේ ශරීරය අවශ්‍ය තරම් DAO එන්සයිමය නිපදවන්නේ නැත්නම්, ඔයා කන කෑමවල තියෙන හිස්ටමින් ප්‍රමාණය ශරීරය තුළ බිඳ දාන්න බැරුව එකතු වෙනවා. මේ තත්ත්වයට අපි කියනවා DAO ඌනතාව කියලා. මේ විදිහට හිස්ටමින් ශරීරයේ එකතු වුණාම ඇතිවෙන අපහසුතාවන්ට තමයි අපි හිස්ටමින් ඉන්ටොලරන්ස් (Histamine Intolerance) කියලා කියන්නේ.
වැදගත්ම දේ තමයි, මේක සාමාන්‍ය ආහාර අසාත්මිකතාවක් (Allergy) එක්ක පටලවා නොගන්න එක. අසාත්මිකතාවකදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වනවා. ඒත් Histamine Intolerance එකේදී වෙන්නේ, එන්සයිම අඩුව නිසා හිස්ටමින් බිඳදාන්න බැරුව එකතු වීමක්.
🧀 හිස්ටමින් වැඩිපුර තියෙන
කෑම වර්ග මොනවද?
🍷 පැසවූ ආහාර සහ පාන වයින්, බියර්, කල් තියාගත් චීස් වර්ග, යෝගට්, සෝයා සෝස්
🥩 කල් තබාගත් මස්/මාළු: සොසේජස්, සලාමි, දුම් ගසන ලද මාළු
🍅 එළවළු සහ පලතුරු: තක්කාලි, නිවිති, වම්බටු, අලිගැටපේර, ස්ට්‍රෝබෙරි, අන්නාසි
🍫 වෙනත්: චොකලට්, කොකෝවා, ඇට වර්ග, කිරි, බිත්තර, බෙල්ලන් වැනි මුහුදු ආහාර
⚠️ Histamine Intolerance
රෝග ලක්ෂණ මොනවද?
🧠 හිස සහ ස්නායු පද්ධතිය: ඉරුවාරදය (Migraines), තද හිසරදය, ඔළුව කැරකැවිල්ල (Dizziness)
🤢 ආහාර ජීර්ණ පද්ධතිය: බඩ පුරවා දැමීම (Bloating), බඩේ කැක්කුම, ඔක්කාරය, වමනය, මල බද්ධය, බඩේ වාතය පිරීම
✋ සම (Skin): ඇඟ කසන කුෂ්ඨ (Hives/Urticaria), සම රතු වීම, සමේ රෝග උත්සන්න වීම.
👃 ශ්වසන පද්ධතිය: නාසය හිරවීම, සොටු ගැලීම, ඇදුම (Asthma) රෝග ලක්ෂණ
❤️ වෙනත්: හෘද ස්පන්දනය වේගවත් වීම, මාංසපේශි වේදනාව, අධික තෙහෙට්ටුව
💊 DAO අතිරේක (Supplements) වලින් සහනයක් තියෙනවද?
වෙෙළඳපොළේ DAO එන්සයිමය අඩංගු අතිරේක (supplements) තියෙනවා. හිස්ටමින් බහුල කෑමක් කන්න කලින් මේ supplement එකක් ගත්තම, ඒ කෑමේ තියෙන හිස්ටමින් බිඳදාන්න උදව්වක් ලැබෙනවා. පර්යේෂණවලින් පෙනිලා තියෙන විදිහට, සමහර අයට මේවායින් ඉරුවාරදය, බඩේ අමාරුකම් සහ සමේ රෝග සඳහා සහනයක් ලැබෙනවා.
හැබැයි මේ අධ්‍යයන තාම පොඩි මට්ටමක තියෙන්නේ. ඒ නිසා මේවා හැමෝටම හරියනවද, කොච්චර ආරක්ෂිතද කියලා ස්ථිරවම කියන්න තව විශාල පර්යේෂණ අවශ්‍යයි.
🚫 DAO Supplements ගන්න එකේ අවදානමක් තියෙනවද?
නිශ්චිත රෝග විනිශ්චයක් නැතිකම ඔයාට ඇත්තටම Histamine Intolerance තියෙනවද කියලා 100%ක් තහවුරු කරන්න පරීක්ෂණයක් තාම නෑ.
සම්මතයක් නැතිකම මේවා ආහාර අතිරේක නිසා, නිෂ්පාදනයට ලොකු නියාමනයක් නෑ.
සත්ත්ව කොටස් අඩංගු වීම සමහර DAO supplements හදන්නේ ඌරන්ගේ වකුගඩු (pork kidney) සාරයෙනි
🥗 Supplements නැතුව මේ තත්ත්වය පාලනය කරගන්නේ කොහොමද?
හොඳම සහ පළමු පියවර වෙන්න ඕනේ හිස්ටමින් අඩු ආහාර වේලක් (Low-Histamine Diet) අනුගමනය කිරීම.
➡️ කොහොමද කරන්නේ?
ඔයාට අපහසුතා ගේනවා කියලා හිතෙන කෑම වර්ග අඳුරගෙන, ඒවා ආහාර වේලෙන් ටික කාලයකට අයින් කරලා බලන්න. ආහාර දිනපොතක් (Food Diary) තියාගන්න එක ගොඩක් උදවු වෙනවා.
හැබැයි මේ වගේ ආහාර රටාවක් තනියම පටන් ගන්නවට වඩා, අනිවාර්යයෙන්ම ඔයාගේ දොස්තර මහත්තයා එක්ක කතා කරලා, අවශ්‍ය නම් පෝෂණවේදියකුගේ උපදෙස් ගන්න.
📌 මතක තබා ගතයුතු කරුණු
➡️ DAO කියන්නේ අපි කන කෑමවල තියෙන හිස්ටමින් බිඳදාන වැදගත් එන්සයිමයක්.
➡️ ශරීරයේ DAO මදි වුණොත්, හිස්ටමින් එකතු වෙලා, අසාත්මිකතාවකට සමාන රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.
➡️ DAO අතිරේක සමහර අයට උදවු වෙන්න පුළුවන් වුණත්, ඒවායේ ආරක්ෂාව ගැන තවම ස්ථිර නිගමන නෑ.
➡️ මේ තත්ත්වය කළමනාකරණය කරගන්න හොඳම ක්‍රමය වෙන්නේ, වෛද්‍ය උපදෙස් මත හිස්ටමින් අඩු ආහාර වේලක් අනුගමනය කිරීමයි.
වෛද්‍ය
ප්‍රියා සම්මානි
MBBS, Pg Dip in Family medicine
සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ
