කෙසෙල් කොළයකින් අපිට මොනවද කරන්න පුළුවන්? බත් මුලක් බැඳ ගන්න, ව්‍යාංජනයක් ඔතා ගන්න, බුලත් ගොන්නක් බැඳලා වෙළෙඳපොළට යවන්න, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලදී මල් ආසනයේ තියන්න මේ ආදී කර්ත්‍යවයන් සඳහා අපි අතීතයේ පටන් කෙසෙල් කොළය උපයෝගී කර ගත්තෙමු. ඒත් ඔබ දැන සිටියාද වියළි කෙසෙල් කොළවලින් විස්මිත, අපූර්ව වූ නිර්මාණයන් කළ හැකි බව. එවැනි නිර්මාණයන් දැයට හඳුන්වා දෙමින් පසුගියදා සම්මාන පවා හිමිකර ගත් ඈ නිවන්දනී කිෂානි හෙට්ටිආරච්චියි. අනුරාධපුර – තලාව – සුමුදුගම හන්දියේ පදිංචි නිවන්දනීගේ නිවෙසට මා ගොඩ වැදුණේ ඇයගේ නිර්මාණ කටයුත්ත ගැන ‘තරුණී’ පාඨක ඔබ හමුවේ තබන්නයි.
නිවන්දනී ඔයාගෙ නිර්මාණය ගැන කියන්න කලින් කියන්නකෝ ඔයා ගැන තොරතුරු ටිකක්?
“මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ ත්‍රිකුණාමලයේ ශාන්ත මරියා කොන්වන්ට් එකේ. ඒ මගේ පියා නාවික හමුදාවේ සේවය කරපු නිසා අපිට ඔහු සේවය කරපු දිස්ත්‍රික්කයේ ජීවත්වෙන්න සිද්ධ වුණා. පසුව අපි අනුරාධපුරේට පදිංචියට ආවා. එහිදී මම අනුරාධපුර ස්වර්ණපාලි බාලිකාවේ උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවා. උසස් පෙළ සමත් වෙලා මම ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියක් ලෙසින් අවුරුදු 30ක් රජයේ පාසල්වල ඉගැන්වූවා. මගේ මහත්තයා සුනිල් දිසානායක. අපිට ඉන්නෙ එක දුවයි. ඈ සඳනි රංසිකා. ඇයත් දැන් එක් දරු මවක්. ඒ කියන්නෙ මම ආත්තම්මා කෙනෙක්.”
ආත්තම්මා කෙනෙක් වුණාට, තාම ඔබ තරුණයි. කොයි කාලෙද මේ කෙසෙල් කොළයෙන් නිර්මාණ කරන්න අදහසක් හිතට ආවෙ?
“ස්වර්ණපාලියෙ 7-8 වසරේ පන්තිවල ඉන්න කාලෙ යාළුවන්ගෙ උපන්දිනවලට කාඩ් ගන්න ඒ දවස්වල සල්ලි නැහැනෙ. මම ඉතින් මල් ටිකක්, කොළ ටිකක් කාඩ්බෝඩ් කෑල්ලක අලවලා එයාලට තෑගි කරනවා. ඒවා දැකපු ගොඩක් අය වර්ණනා කළා. මේ අවධියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන ජනාධිපති ජංගම සේවාව යටතේ අනුරාධපුර සෙන්ට්‍රල් කොලේජ් එකේ නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්වුණා. එදා තමයි මම මුල් වතාවට කෙසෙල් කොළවලින් කරපු නිර්මාණයක් ඉදිරිපත් කළේ. එහිදී මම ජනාධිපති අති විශිෂ්ට සම්මානයකින් පිදුම් ලැබුවා. ඒක තමයි මේ නිර්මාණ කරන්න මම ලබාපු ලොකුම අභිප්‍රේරණය.”
ඒ නිර්මාණ වැඩි දියුණු කරලා අද තියෙන තත්ත්වයට ගෙන එන්න මූලික අරමුණ වුණේ මුදල් ඉපැයීමද?
“මම කවදාවත් මුදල් අරමුණු කරගෙන මේ නිර්මාණ කාර්යයේ නියැළුණේ නැහැ. එහෙම කළානම් මේ නිර්මාණවල ‘කොලිටි’ එක නැතිවෙනවා. මගේ අභිප්‍රාය වුණේ පුළුවන් තරම් කාලය මිඩංගු කරලා හෙමින් ගමනක් ගිහින් මේ නිර්මාණ උසස් ප්‍රමිතියෙන් රඳවා තියන්නයි.”
කෙසෙල් කොළයෙන් මෙවැනිම නිර්මාණ කරන අය අපේ රටේ ඉන්නවද?
“දන්න තරමින් නැහැ. නිර්මාණ කොල්ලයට අහුවෙන්න ඉස්සරවෙලා මේ සඳහා ‘පේටන්ට්’ බලපත්‍රයක් ගමු කියලා මට යෝජනා කළේ නිර්මාණ ශිල්පියකු වන මනෝජ් කියන අනුරාධපුරේ ඉන්න මගේ මිතුරෙක්. 2006 දී මම ඒ බලපත්‍රය ලබා ගත්තා. ඊට පස්සෙ මට අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නොවිධිමත් අධ්‍යාපන ඒකකය හරහා ආරාධනාවක් ලැබුණා රැකියා විරහිත, පාසල් හැරගිය සිසුන් සහ වැඩිහිටියන් වෙනුවෙන් මගේ දැනුම බෙදා දෙන්න. අද දවසේ මම අනුරාධපුර බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ට පුනරුත්ථාපන ව්‍යාපෘතියක් හැටියට මෙම නිර්මාණ කටයුත්ත පුහුණු කරනවා. මෙය ඉතාම ඉවසිලිමත්ව, සුමටව භාවනාවක් වගේ කරන්න ඕනි කාර්යයක් නිසා ඕනිම අයකුගේ මනසට සැහැල්ලුවක් වගේම ජීවයක් ලැබෙනවා.”
මෙවැනි නිර්මාණයන් කරන්නට ච්ත්‍ර ඇඳීමේ හැකියාවක් තිබිය යුතුද?
“නැහැ. අපිට අන්තර්ජාලයෙන් විවිධ චිත්‍ර අරගෙන ඒවා ප්‍රතිනිර්මාණය කළ හැකියි. ඒත් චිත්‍ර ඇඳීමේ හැකියාව තියෙන කෙනකුට වඩාත් හොඳ නිර්මාණයන් කිරීමේ වාසියක් තියෙනවා.”
ඔබේ නිර්මාණවලට ගොඩාක් පාදක වී තියෙන්නෙ අපේ සංස්කෘතිය සහ අනන්‍යතාව පිළිබිඹු වන රූප. ගෝලීයකරණය වූ ලෝකයේ දකින්න තියෙන රූප මේ සඳහා යොදා ගන්න අදහසක් නැද්ද?
“ඇත්ත. අපි මේකෙන් පරිබාහිරව ලෝකෙට යන්න ඕනි. ඒත් අපි ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ අනන්‍යතාව රැකගත යුතුයි. ඉතිහාසයක් නැතිව, අක්මුල නැතිව මල්පල ගැන්වීමක් නැහැයි කියන තැන මම ඉන්නවා. මේ නිසා මම නිර්මාණ කිරීමේදී ඉතිහාසය ගැන මූලික අවධානය යොමු කරනවා. ඇම්බැක්ක දේවාලයේ කැටයම්, කැලණි පන්සලේ සිතුවම් මේ ආදී පුරාණ නිර්මාණයන් කෙරෙහි මගේ අවධානය යොමු වෙනවා. ආවාට ගියාට මම මේ නිර්මාණ සඳහා වස්තු විෂයයන් තෝරාගන්නේ නැහැ. සමහරවිට එක නිර්මාණයක් කරන්න මම චිත්‍ර සිය ගණනක් විතර අධ්‍යයනය කරනවා. ඒ වගේම මම ලෝකයේ වෙනත් රටවල චිත්‍ර ගැනත් කිසියම් විශ්ලේෂණයක නිරත වෙනවා. ‘Modern Art’ උපයෝගි කරගෙන නිර්මාණ කරලා තියෙනවා සහ ඉදිරියේදී අලුත් දේවල් කරන්න අදහස් කරගෙන ඉන්නවා.”
මේ දිනවල මම අලුත් නිර්මාණයන් කිහිපයකට අතගහලයි තියෙන්නෙ.
මේ කටයුත්තේදී මට උදවු කළේ ස්වර්ණපාලි බාලිකාවේ මගේ මිතුරියක් වන රේණුකා තිරිමැදුරයි.
මොනවද ඒ නිර්මාණ?
“මම මෑතකදී පටන් ගත්තා ග්‍රැනයිට් පතුරුවල මේ කෙසෙල් කොළ නිර්මාණ කරන්න. ඒ වගේම අහක දාන බෝතල්වල මැටිවලින් රූරටා නිර්මාණය කරලා ඒවා බෝතල්වල අලවලා අලුත් වැඩක් පටන් ගත්තා. ඒක තාම මූලික අවධියේ පවතින්නෙ.”
පසුගියදා මේ නිර්මාණ කාර්යය වෙනුවෙන් ඔබට සහතික සම්මානයක් හම්බ වුණා. ඒ ගැනත් කියමුද?
“ඔවු. මට හරි සතුටුයි. පසුගිය දා කාන්තා කළමනාකාර ආයතනය සංවිධානය කළ ක්ෂුද්‍ර, කුඩා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායක 2025 සම්මාන උලෙළේ ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි තෝරාගත් ව්‍යවසායිකාවන් 40කින් මටත් සම්මාන සහතිකයක් ලැබුණා. ”
විදේශීය වෙළෙඳපොළට අවතීර්ණ වෙන්න සහ ඔබේ සන්නාමයෙන් වෙළෙඳ ආයතනක් පටන් ගන්න අදහසක් නැද්ද ?
නේත්‍රාංජන කියන කුරුණෑගල පදිංචි මගේ හිතවත් වෙළෙඳ ව්‍යාපාරික මහත්මයෙක් එයාගෙ ආයතනය හරහා මට හොඳ ‘web site’ එකක් නිර්මාණය කරලා දුන්නා. අපි එය ලඟදී ‘ලෝන්ච්’ කරනවා. මං හිතනවා ඒ හරහා මගේ නිර්මාණවලට හොඳ විදේශීය ආකර්ෂණයකුත් ලැබේවි කියලා”
ස්වයං රැකියාවක් ලෙසින් කාන්තා ඔබත් නිවන්දනීගේ මෙම නිර්මාණයන් ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටිනා බැව් අපි දනිමු. එහෙමනම් ලබන සතියේ අපි මේ නිර්මාණ පෙළගස්වන අයුරු ඉගෙන ගමු. ‘තරුණී’ පුවත්පත වෙනුවෙන් කාන්තා ඔබට එය දායාද කරන්නට නිවන්දනී සූදානම්.
ඇගේ නිර්මාණ කටයුතු දිනෙන් දින දියුණු වේවා! යයි අපි ශුභාශිංසනය කරමු.
