තරුණියක් ලෙස ඔබ නිරතුරුවම ලස්සනට, නීරෝගිව සිටීමට කැමැති බව අපි දනිමු. නමුත් ඒ සඳහා Diet Plans අනුගමනය කිරීමෙන් ඔබ වෙහෙසට පත්ව සිටිනවාද? සෑම වසරකම නව ඩයට් එකක් අත්හදා බැලීම වෙනුවට, ඔබේ ජීවන රටාව වෙනස් කරමින් සතුටින් හා නීරෝගිව සිටීමට රහස් මෙන්න.
ඔබේ ශරීරය හොඳින් තේරුම් ගැනීම සහ ‘ඩයට් මානසිකත්වයෙන්’ මිදීම මෙහිදී වැදගත් වේ. නීරෝගි ජීවිතයක් යනු තාවකාලික ක්‍රමයක් නොව, ජීවිත කාලයටම පුරුදු විය යුතු සරල දින චර්යාවන් කිහිපයකි.
බඩගින්නට සවන් දෙන්න
අපි බොහෝ විට ආහාර ගන්නේ ඔරලෝසුවට අනුව මිස ඇත්තටම බඩගිනි වූ විට නොවේ. “Intuitive Eating” යනු ඔබේ ශරීරය දෙන සංඥාවලට සවන් දීමයි.
ඇත්තටම බඩගිනිද? කම්මැළිකම නිසා හෝ වෙලාව නිසා කෑමට පෙර මොහොතක් සිතන්න. නිසියාකාරව තමාගේ ආහාර රටාව ක්‍රියාත්මක කරන්න.
ඔබ සතුටින් ආහාර ගන්න. ඔබ කැමැති ආහාරය කුමක්දැයි ශරීරයෙන් අසා, එය ප්‍රමාණයට අඩුවෙන් රස විඳින්න. තහනම් කළ ආහාරයක් නැත. සියල්ල මධ්‍යස්ථව තමාට සුදුසු පරිදි වෛද්‍ය උපදෙස් තිබේ නම් ඒවා අනුගමනය කරමින් ආහාර අනුභව කරන්න.
තෘප්තිය හඳුනා ගෙන ආහාර ගන්න.
තව ටිකක් කන්න තිබුණා නම් හොඳයි යන හැඟීම ඇතිවීමට පෙර ආහාර ගැනීම නවත්වන්න. මෙය ඔබ විසින්ම සිදු කළ යුතු ක්‍රියාවකි.
‘කුඩා වෙනස්කම්’ විශාල ප්‍රතිඵල ගෙනදෙයි
ඔබේ ආහාර වේල එක්වරම මුළුමනින්ම වෙනස් කිරීම වෙනුවට, කුඩා සෞඛ්‍ය සම්පන්න වෙනස්කම් එකතු කරන්න.
ඔබ කෑමට පෙර වතුර වීදුරුවක් පානය කරන්න. එවිට කුසගින්න පාලනය කරගත හැකි අතර, සිරුරේ ජලය සමබරව තබාගත හැකියි. මෙය ඉතා වැදගත් ක්‍රියාවලියකි.
සාමාන්‍යයෙන් ඔබ ආහාරයට ගන්නා සුදු පාන්, සුදු බත් වෙනුවට සම්පූර්ණ ධාන්‍ය හෝ රතු සහල් වැනි තන්තු බහුල දේ තෝරා ගන්න. ඒ මඟින් ශරීරය ලෙඩ කරවීම වළක්වනු ලැබේ.
දිනපතා ඔබ ලබා ගන්නා ආහාරවේලකට සලාදයක් එකතු කර ගන්න. සෑම ප්‍රධාන ආහාර වේලකටම කොළ එළවළු ටිකක් හෝ සලාදයක් එකතු කර ගැනීම පුරුද්දක් කර ගන්න.
බැදපු ආහාර වෙනුවට තැම්බූ, ග්‍රිල් කළ හෝ බේක් කළ ආහාර තෝරා ගන්න. මෙවැනි ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථක වෙනස්කම් රැසක් දැක බලා ගැනීමට හැකිය.
ඇවිදීම විනෝදයක් කරගන්න
නීරෝගිව සිටීමට පැය ගණන් ජිම් එකේ ගත කිරීම අවශ්‍ය නැත. දවස පුරා සක්‍රියව සිටීම වැදගත්ය. දිනකට මිනිත්තු 30ක වේගවත් ඇවිදීමක් පුරුදු කරන්න. වැඩ නිම වී ගෙදර යන විට බස් එකෙන් පොඩ්ඩක් කලින් බැහැලා ඇවිදින්න.
හැකි අවස්ථාවකදී ඔබ කැමැති සංගීතයට විනාඩි 15ක් විතර නටන්න. එය හොඳ ව්‍යායාමයක් මෙන්ම මානසික ආතතිය අඩු කිරීමටත් උපකාරී වේ.
ඒ වගේම නිදහස් අවස්ථාවකදී සිදු කිරීමට ඔබ කැමැති දෙයක් තෝරා ගන්න. පිහිනීම, සයිකල් පැදීම, යෝගා වැනි ඔබ සතුටු කරන ඕනෑම ව්‍යායාමයක් තෝරාගෙන එය විනෝදාංශයක් බවට පත්කර ගන්න.
නිදිමතට නිසි තැන දෙන්න
බොහෝ දෙනෙක් නොසලකා හරින වැදගත්ම සාධකය මෙයයි. ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් හෝමෝන අසමතුලිතතා ඇති වී, ආහාර රුචිය වැඩි වී අනවශ්‍ය ලෙස ආහාර ගැනීමට පෙලඹේ. ඒ නිසා රාත්‍රියේදී පැය 7-8ක් නිදාගන්න. නින්දට ස්ථිර වේලාවක් වෙන් කර ගැනීමෙන් ඔබේ ශරීරය නැවත ශක්තිමත් වී, පසුදිනට අවශ්‍ය ප්‍රබෝධය ලබාදේ.
අවසාන වශයෙන් නීරෝගි බව යනු බර අඩු කර ගැනීම පමණක් නොවේ. එය ශරීරයෙන්, මනසින් හා ආත්මයෙන් සතුටින් සිටීමයි. ඔබ ඔබව පිළිගන්න ඔබේ ශරීරයට ගෞරව කරන්න. ඩයට් සැලසුම් පස්සෙන් නොගොස් සතුටින් ආහාර ගනිමින් නීරෝගි ජීවන රටාවක් අදම ආරම්භ කරන්න.
