ගැහැනියක් තවත් ගැහැනියක සමඟ තමන් ඇසුරු කළ පිරිමින් ගැන වැරදි අඩු පාඩු කියන්නේ ඇයි. සම්බන්ධයක් බිඳී ගිය විටදී නම් ඒ සම්බන්ධය බිඳී යාමට තමා වැරදිකාරියකැයි යන චෝදනාවෙන් නිදහස් වීමට විය හැකියි. දරුවන් ද හදා ගනිමින් ගත කරන විවාහ ජීවිතයක් නම් පිරිමි කොපමණ වැරදි කළත් ගැහැනිය විවාහය සහ දරුවන් වෙනුවෙන් ඒ සියල්ල දරා සිටිය යුතු යැයි සමාජය අපේක්ෂා කරයි. විවාහ ජීවිත දෙදරා යාමට බලපාන පිරිමින්ගේ වැරදි ලෙස බොහෝ විට සලකන්නේ අසීමිත බේබදුකම හෝ සල්ලාලකමයි. නැත්නම් ඒ දෙකමයි. ඒ වැරදි දෙකම තියෙන පිරිමියකු සමඟ වුවද ලෝකයට පෙනෙන්නට හෝ සතුටින් ජීවත් වීමට සමහර ගෑනු දක්ෂයි.
යුග දිවිය දෙදරා යන්නට බල පා ඇත්තේ ගැහැනියගේ වරදක් නම් එය ඒ ගැහැනියගේ වරද යැයි කීම පොදු සමාජයේ සිරිතයි. අනෙක් අතට ගැහැනියක එලෙස තම සැමියා හට නොසලකා වෙනත් පිරිමි ඇසුරකට පත් වූ විට සමාජය ඇයට ගර්හා කිරීම මෙන්ම ඇගේ සැමියාගේ නොහැකියාව නිසා ඈ පිට ගිය බව කියන්නට ද මැළි නොවෙති. එවිට එය පිරිමියාගේ ලිංගික ප්‍රශ්නයකි. ගැහැනියව ලිංගිකව සන්තර්පණය කිරීමට නොහැකි වීමකි. පිරිමියාගේ පිරිමිකමේ අඩුපාඩුවකි.
මෙසේ යුගදිවිය තුළ අඹු සැමියන් අතර ඇතිවන ගැටුම් සරල රේඛීයව තේරුම් ගත හැකි දැයි නිගූ සිතයි. ඒවා කොතරම් සංකීර්ණ ද? පුතෙකුට අම්මා සමඟ ඇති නොලිහෙන බැඳීම බිරියක් කියවා ගන්නේ කෙසේ ද? එය යුග දිවිය දෙකඩ වන්නට තරම් හේතුවක් විය හැකි ද ?
“මැඩම් කිව්වෙ එයාට කවදාවත් මාව සතුටු කරන්න බැරි වුණා කියලා. එයා කියන්නෙ ඔයා..”
සාරදා තවත් පෝස්ටරයක් වේළෙන්නට අතුරා පැමිණ, වටපිට බලා නිගූට වඩාත් ළංව පවසයි. නිගූ ඊළඟ පෝස්ටරය ඇඳීමට පෙර කහ සහ තැඹිලි වර්ණ මිශ්‍ර කර ස්පොන්ජ් කැබැල්ලකින් ලොකු ලොකු පුල්ලි කිහිපයක් කඩදාසියේ අඳියි. සාරදා පැවසූ දෙයින් ඔහු මඳකට විපිළිසරව ඈ දෙස බලයි.
ඔහු පුදුම වන්නේ කාංචනා නිතර නිතර තමාට ද කියා ඇති ඒ වචන මේ දැන් අහම්බෙන් හමු වූ ගැහැනියකගෙන් ද පිටවීම නිසයි.
නිගූගේ මුහුණේ ඇති වූ වෙනස් වීම ව්‍යාජ සිනහවකින් මකා ගන්නට උත්සාහ කළද ඔහු තුළ හටගත් සියුම් තිගැස්ම සාරදා දකියි. තමාගේ වචනවලින් නිගූගේ සිත සසල කිරීම තමා අතින් වූ වරදක් යැයි වරදකාරී හැඟීමක් ඈ තුළ හටගනියි. එහෙත් ඒ වචන ආපසු ගත නොහැකියි. කාංචනා මැඩම් තමා කෙරෙහි රැඳ වූ මහත් විශ්වාසයෙන් කියූ වචන පෙරලා නිගූටම පැවසීම එක් අතකින් ඇගේ විශ්වාසය බිඳීමක් නොවේ දැයි ඇයට සිතෙයි. නිගූ අඳිමින් සිටි පින්සල තීන්ත බඳුනෙහිම ලා වැරැන්ඩාව කෙළවර කොට බිත්ති කණ්ඩියෙන් වාඩි වෙයි. ඩෙනිම් කලිසමෙන් ඩන්හිල් පැකැට්ටුව ගෙන ඩන්හිලයක් ඇද, සාරදාට ද පැකැට්ටුව දිගු කරයි. ඈ ඉන් එකක් ගෙන දෙතොලතර රඳවා නිගූගේ ලයිටරය දැල්වෙන තුරු බලා සිටියි. ඈ ඩන්හිලය දල්වා ස්වීච් කර සනීප දුම් උගුරක් ඉහළට අදියි. ඈ ඒ දුම් උගුර ගැඹුරටම ඇදගන්නා හඬ ද ඇසෙයි.
කාංචනා ඒ තරම් පෞද්ගලික දෙයක් පවා ඇයට කියන්නට නම් ඔවුන් කොතරම් සමීපව ඇසුරු කරන අය විය යුතුදැයි නිගූ සිතයි.
කාංචනාට ළෙන්ගතු මිතුරියන් නැති තරම්ය. ඈ කාලයෙන් කාලයට මිතුරියන් බවට පත් කර ගන්නේ ඒ ඒ කාලවල රාජකාරි කරන ස්ථානයෙහි හමුවන තමන්ට පහළ තනතුරක සිටින සුවිශේෂ යුවතියකි. පේරාදෙණියේ දී අවුරුදු දෙකක්ම ඇගේ රූමිය වූයේ මුස්ලිම් ගැහැනු ළමයෙකි.
බොහෝ විට මේ සුවිශේෂත්වය වන්නේ පවතින සමාජ සම්මුතීන්ට එරෙහිව නිහඬව කැරලි ගැසීමයි. ඇගේ රූමිය වූ මුස්ලිම් ගෑනු ළමයා ද සිංහල කොල්ලකුට ආදරය කරන බවත්, ෆර්දාව ගලවා කාංචනාගේ ඩෙනිමක් ඇඳ එක එක ඉරියව්වලින් පොටෝ කීපයක් ගසා කොල්ලාට යැවූ බවත් කාංචනා හරිම විනෝදයෙන් කියූ අයුරු නිගූට මතක් වෙයි. එහෙත් කාංචනා කිසි විටෙක සම්මුති සමාජය එළිපිට ප්‍රශ්න කරනු හෝ ඊට එරෙහිව අදහස් කියනු නිගූ දැක නැත. ඇයට ඒ සම්බන්ධයෙන් ඇත්තේ බළලුන් ලවා කොස් ඇට බාවන සිරිතක් යැයි ඔහුට සිතෙයි.
කාංචනා මේ තරම් සාරදාට ළං වෙන්නට ඇත්තේ ඈ තුළ ඇති නිදහස්කාමී අදහස් නිසා විය හැකියි. නිදහස් අදහස් ඇති ගැහැනුන් ඇසුරු කිරීම මතුපිටින් කොතරම් පහසු සනීප දෙයක් දැයි බැලූ බැල්මට පෙනුණ ද එය සාම්ප්‍රදායික ගැහැනියක සමඟ ඇසුරු කිරීමට වඩා අතිශයින් භයානක බවත්, අනාරක්ෂිත බවත් නිගූට සිතෙයි.
තැන තැන වේළෙන්නට අතුරා ඇති පෝස්ටර් එක ගොඩකට ගෙන ගොස් දැමූ සාරදා අලුතෙන් අඳින පෝස්ටර් ඇතිරීමට ඉඩ සාදා ගනියි. ඩන්හිලය ඇගේ අතේ දැල්වෙයි. නිගූ අසලට පැමිණ යළි දුම් උගුරක් හඬ නැඟෙන සේ ගැඹුරට ඇද නිගූ දෙසට හැරෙයි.
” ඔයා අවුල් වුණා ද? මං අනවශ්‍ය දෙයක් මතක් කළා නේද? කාංචනා මැඩම් ඔයා හරි සංවේදී කෙනෙක් කියලත් කිව්වා හැබැයි..”
සාරදා තමාගේ පෞද්ගලික ජීවිතයට ආක්‍රමණශීලී ලෙස පිවිසෙන්නේ දැයි නිගූට සිතෙයි. ගැහැනියක සතුටු කරන්නට නොහැකි වීම යන්නෙන් කියැවෙන දේ සාරදා තේරුම් ගන්නට ඇත්තේ කෙසේදැයි නිගූ කල්පනා කරයි. කාංචනා කියන්නේ නිගූ ඇයව ලිංගිකව සතුටු කිරීමට අපොහොසත් බවද? නැත්නම් ඇගේ ආශා අපේක්ෂා සිතැඟි ඉටු නොකළ බවද? සාරදා එය තේරුම් ගන්නට ඇත්තේ කෙසේද ? මෙබඳු ප්‍රශ්න රැසක් නිගූගේ සිතට එකවර ගලා එයි.
“කවුද දැන් මේ ටික හෙට ගහන්න යවන්නෙ ?”
අනුරුද්ධ එකතු කළ පෝස්ටර් දෙස බලමින් වැරැන්ඩාවට පැමිණෙයි.
” අපේ කොල්ලො සෙට් එකක් ඉන්නවා අනුරුද්ධ අයියා. සමීරයි, සංජකයි යවමු නේද බොස්. ”
වැරැන්ඩාවේ එහා කෙළවරේ සිට විරාජයා ඔවුන් සිටින තැනට පැමිණෙයි. නිගූගෙන් ඩන්හිල් පැකැට්ටුව ඉල්ලා ගෙන ඩන්හිලයක් දල්වාගෙන ස්වීච් කරයි. සඳයා පැමිණ ජංගමයේ තිරය මත අම්මා කෙනකු දරු පැටියකු වඩාගෙන ඉටිපන්දමක් දල්වාගෙන සිටින පසුපස දසුනෙහි කලාත්මක පොටෝවක් පෙන්වයි.
” මේ පාර නම් ලේසි වෙන්නෙ නෑ. ගෑනු අය පාරට බැහැල ඉන්නෙ.. මෙච්චරකල් ගෑනු පොලිටිකලි නිව්ට්‍රල් වෙලානෙ හිටියෙ.”
අනුරුද්ධ අරගලය ගැන විශ්වාසයෙන් කතා කරයි. සඳයා නිගූත් සමඟ ගොස් වැරැන්ඩාවේ එහා කෙළවර පඩිපෙළින් වාඩි වී සංලාපයකට වැටෙයි. අනුරුද්ධගේ වචන එන්න එන්නම මුවහත් වෙයි. ඔහු කතා කරන විට ඇස් ගිනියම් වෙයි. පීඩක පාලකයන් කෙරෙහි කෝපය පුපුරු ගසයි.
සාරදා විටින් විට නිගූ දෙස බලයි. ඈ තුළ නිගූ කෙරෙහි අනුකම්පාවක් ද උපදියි. තමාගේ වචනවලින් ඔහු සම්පූර්ණයෙන්ම පැරද පසුබා ආත්මය පහළටම කඩා වැටී ඇති බව ඇයට දැනෙයි. යළි යළිත් නිගූ දෙසට යොමු වන ඇගේ ඇස් දිලිසෙයි.
සඳයා සමඟ සල්ලාපය අතර නිගූගේ ජංගමය හඬයි. අසී යනුවෙන් තිරය මත වැටෙයි. නිගූ අමතයි. එහා කෙළවරින් අසෙනිගේ හඬ ඇසෙයි.
“ඔයා කොහෙද ඉන්නෙ.. ඇයි මට කතා කළේ නැත්තෙ.. ”
තවත් කොටසකින් හමුවෙමු
