ස්ත්‍රීන්ට රැකියා එපා කරවන තවත් අවස්ථාවක් නම් ගැහැනුන්ගෙන් බලාපොරොත්තු වන ලිංගික අල්ලස්ය. ඒවාට නතු නොවන ගැහැනු ඇතැම් විට රැකියා අතැර දා යති. ඇතැම් විට යම් ස්ත්‍රියක් රැකියාවට බඳවා ගන්නේම ඇයගෙන් ලිංගික අල්ලස් බලාපොරොත්තුවෙනි. එසේ නොකළ විට බොරු වැරදි පටවමින් ඇය පීඩාවට පත් කරයි.
රැකියාව අප්‍රසන්න තැනක් බවට පත් කරයි. ආර්ථික දුෂ්කරතා ඇති ගැහැනු ළමයි මෙවැනි ලිංගික ගොදුරු බවට පත්වෙති. ඇතැම් විට ජීවිතයම ආයතන ප්‍රධානියකුගේ අනියම් බිරියක් වශයෙන් කල් ගෙවමින් තමන්ගේ පීඩාව අන් අය පිටින් යවයි.
පසුගිය දිෙනක මට ආරංචි වූයේ වයස හැට ගණනක ආයතන ප්‍රධානියකු වයස දහඅටක, දහනවයක යුවතියකට කරන ලද ලිංගික බලහත්කාරකමක් පිළිබඳයි. දිගුකාලීනව ඇය ලිංගික ගොදුරක් වශයෙන් තබාගෙන සිට ඇති අතර, ඇයට වැටුපට අමතර දීමනා සහ රත්රන් බඩු ආදිය ආයතන ප්‍රධානියා රැගෙන දුන් බවට එම පුවතේම කියවිණි. ඇය මේ වයසක මිනිසාගේ ලිංගික ආශාවන් ඉටු කරන්නට පෙළඹෙන්නේ ඇගේ ආර්ථික දුෂ්කරතා නිසාය.
ඇතැම් විට උසස්වීම් සඳහා මෙසේ ලිංගික අල්ලස් දීමට ගැහැනුන්ට සිදු වේ. පසුගිය දිෙනක මාගේ පර්යේෂණයක් අතර හෙළි වූයේ ක්ෂුද්‍ර මූල්‍ය ණයදෙන ආයතනවලින් ණය ලබා ගත් ස්ත්‍රීන්ට එම ණය ගෙවන්නට අපොහොසත් වන අවස්ථාවල සිදුවන්නේ එම ආයතනයෙන් පැමිණෙන නියෝජිතයාගේ ලිංගික අවශ්‍යතා ඉටු කරන්නට බවය.
මෙම ලිංගික අල්ලස් සඳහා රැකියාවල උසස්, පහත් භේදයක් නැත. ඉතාමත් පහළ යැයි සම්මත රැකියාවල එසේ ලිංගික බලහත්කාරයට නතු වීම සිය ඉරණම බවට පත්ව තිබෙන අතර උසස් රැකියාවල පවා තමන්ට අයත් වරප්‍රසාද ලබා ගැනීමට, උසස් වීම් ලබා ගැනීමට, ස්ථාන මාරු ලබා ගැනීමට ආදී විවිධ වෘත්තියමය අවශ්‍යතා සඳහා ගැහැනුන්ට ලිංගික අල්ලස් දීමට සිදු වේ.
එවැනි අවස්ථාවල ඒවා පැමිණිලි කළ හැකි විශ්වාසවන්ත ආයතන තිබේ ද? ඒවායේ පැමිණිලි අපක්ෂපාතීව විභාග වේ ද? ඒවායේ ප්‍රතිඵල මහජනතාවට දැන ගැනීමට සලස්වයි ද? මේ කිසිවක් නිසි ක්‍රමවේදයකට අනුව සිදු නොවේ.
පසුගිය දිෙනක එසේ ලිංගික අල්ලස් ඉල්ලීම නිසා රැකියාව හැර ගිය රූපවාහිනී නාළිකාවක නිවේදිකාවට සාධාරණය ඉටු වූවා ද? මෙවැනි ලිංගික අල්ලස් ඉල්ලූ නිලධාරීන් අදාළ තනතුරුවලින් ඉවත් කරන ලද්දේ ද? මෙවැනි පසුවිපරම් තොරතුරු සංසරණය වීමක් සිදු නොවන තාක් කල්, විපතට පත් කිසිම ස්ත්‍රියක නීතිය ඉදිරියට නොයනු ඇත.
ගැහැනියකට එවැනි යෝජනා කරන්නට බයක් ඇති කරවන සමාජයක් අප සාදන්නේ කවදා ද?
