ඔක්තෝබර් 21 වැනිදා ජපානයට ඓතිහාසික දිනයක් වුණා. ඒ , එරට පළමු අගමැතිනිය තේරීපත්වීම නිසා. ඇය , සනායේ ටකායිචි. 64 හැවිරිදි සනායේ , පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) නියෝජනය කරන අතර , මෙම තනතුරට පත්වීමට දින කිහිපයකට පෙර පක්ෂයේ නායිකාව වශයෙන් ද ඇය තේරී පත්ව සිටියා. එම තනතුරට පත් පළමු කාන්තාව ද ඇයයි. සනායේ , ජපානයේ 104 වැනි අගමැති වන අතර , ආසන්න පස් වසරක කාලසීමාව තුළ තෝරාගත් සිවුවැනි අගමැතිවරිය ද වනවා.
මෙම පත්වීම සිදුවූයේ , ඉකුත් සැප්තැම්බරයේ දී අගමැති ෂිගෙරු ඉෂිබා ඉල්ලා අස්වීම හේතුවෙන්. ජපානය සිය පළමු අගමැතිවරිය තෝරාගන්නේ , ශ්‍රී ලංකාව ලොව පළමු අගමැතිනිය බිහිකර 65 වසරකට පසුවයි. තවමත් දේශපාලන මෙන්ම පරිපාලන තන්ත්‍රයේ ද ඉහළ වගකීම් හා තනතුරු පුරුෂාධිපත්‍යයට නතුව ඇති පසුබිමක සනායේ ගේ පත්වීම වඩාත් විශේෂ කාරණයක්.
සනායේ, ජපනුන් අතර ප්‍රචලිතව සිටින්නේ “ජපානයේ යකඩ ගැහැනිය” යනුවෙන්. හිටපු බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් තමන්ට ආභාෂයක් වූ බව ඇය පවසා තිබෙනවා. තැචර් ද ලෝ පතල වූයේ , “යකඩ ගැහැනිය” යනුවෙන්.
සනායේ අයත්වන්නේ LDP යේ දැඩි මතධාරී ප්‍රතිසංස්කරණ වාදී පාර්ශ්වයටයි. ඝාතනයට ලක්වූ හිටපු අගමැති ෂින්සෝ අබේ ද එම ප්‍රතිපත්ති මත පිහිටා සිටි දේශපාලන නායකයෙක් වූවා. සනායේ ද අබේගේ මඟ අනුගමනය කරන හා ඔහු හඳුන්වාදුන් “අබෙනොමික්ස්” ආර්ථික වැඩපිළිවෙළ අනුමත කරන්නියක වනවා. මෙතැන් සිට ඇගේ ආර්ථික වැඩපිළිවෙළ “සනායේ නොමික්ස්” වශයෙන් හැඳින්වෙනු ඇතැයි මත පළවී තිබෙනවා. මෙම තනතුරට පත්වීම සඳහා ඇය තෙවරක්ම ප්‍රයත්න දරන ලද අතර , එම වෑයම සඵල වූයේ මෙවරයි. ජපාන පාර්ලිමේන්තුවේ පහළ මණ්ඩලය සරල බහුතරයකින් ඇය තෝරාගත් අතර , එම පත්වීම ඉහළ මණ්ඩලය විසින් ද බහුතර ජන්දයෙන් අනුමත කරනු ලැබුවා.
මිලියන 120 ක ජනගහනයක් සහිත ජපානය යනු ලොව සිවුවැනි ආර්ථික බලවතා වන නමුත් මේ වනවිට එරට ආර්ථික වර්ධනය මන්දගාමී වී තිබෙනවා. නව අගමැතිනිය විසින් වහා ප්‍රතිචාර දක්වනු ඇති කාරණා අතර , ආර්ථිකය වේගවත් වර්ධනයක් සඳහා හේතුවනු ඇති ප්‍රතිසංස්කරණ හා නව වැඩපිළිවෙළ හඳුන්වා දීම , උද්ධමනය අඩුවන පරිදි ජීවන වියදම පහතට ගෙන ඒම , බදු බර අඩුකිරීම වැනි කාරණා තිබෙනු ඇතැයි පැවසෙනවා.
එරට ජනගහන වර්ධනය අඩුවීම , ණයබර අඩුකර ගැනීම , ජපාන – අමෙරිකා සම්බන්ධතා වර්ධනය කරගන්නා අතරම චීනය සමඟ ද යහපත් සම්බන්ධතාවක් පවත්වාගැනීම වැනි කාරණා ද ඇය ඉදිරිපිට ඇති තවත් අභියෝග වශයෙන් විචාරකයන් පෙන්වා දෙනවා. ජාතිකවාදය හා සාම්ප්‍රදායික පරමාදර්ශ මත පදනම් වූ ප්‍රතිසංස්කරණවාදී පාලන තන්ත්‍රයක් ඈ ගෙනයනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.
1996 වසරේ දී LDP යේ සාමාජිකත්වය ලබාගනිමින් ඇය සිය දේශපාලන ගමන අරඹන්නේ තුරුණු වියේදී. ගතවූ කාලසීමාව තුළ 9 වතාවක්ම පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඇය අගමැති ෂින්සෝ අබේ සහ අගමැති ෆුමියෝ කිෂිඩා ගේ පාලනය යටතේ කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූවා.
නව අගමැතිවරිය බලයට පත්වී දින කිහිපයක් ඇතුළත සිදුවූ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජපාන සංචාරය ද විශේෂ අවස්ථාවක් . සනායේ , මෙම තනතුරට පත්වීමටත් පෙර ජනාධිපති ට්‍රම්ප් ඇය හඳුන්වා තිබුණේ , “බුද්ධිමත් දේශපාලන නායිකාවක් ” වශයෙන්.
අගමැති වශයෙන් පත්වීමෙන් අනතුරුව සිය පළමු ප්‍රවෘත්ති සාකච්ජාව සඳහා එක්වෙමින් ඇය පවසා තිබුණේ , රටේ සහ ජනතාවගේ අභිලාෂ ඉටුකිරීම මෙන්ම ආර්ථිකය පෙළන්නා වූ ගැටලු විසැඳීම සඳහා ද තමන් වෙහෙස නොබලා කැපවනු ඇති බවයි. එහිදී අවශ්‍ය කරන්නා වූ වෙනස්කම් නොබියව සිදුකරනු ඇති බව ද ඈ වැඩිදුරටත් පවසා තිබිණි.
ජපානයේ නාරා දිස්ත්‍රිකයේ ඇය උපත ලැබුවේ , 1961 වසරේ දී. ඇගේ පියා ටොයොටා සමාගමේ සේවය කළ අතර , මව පොලිස් නිලධාරිනියක වූවා. නාරාහි පිහිටි උතෙබි උසස් පාසලෙන් අධ්‍යාපනය ලැබ කෝබේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඇය 1984 වසරේ දී ඉන් නික්මුණේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක වශයෙන්. සීමාවාසී පුහුණු කාල සීමාව සඳහා ජපානයේ මට්ෂුෂිබා ආයතනයේ අනුග්‍රහය ඇතිව 1987 දී අමෙරිකාව බලා යන ඇය , කොංග්‍රස් සභික පැට් ෂ්‍රෝඩර් යටතේ එය සාර්ථකව සම්පූර්ණ කළා. 1989 වසරේ දී ඇය මවුබිමට ආපසු එන්නේ අමෙරිකා දේශපාලනය පිළිබඳව ද , අත්දැකීම් සහිතවයි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර කෙටි කලක් රූපවාහිනී නිවේදිකාවක ලෙස ද කටයුතු කළ ඇය ලේඛන කටයුතුවලද නියැළුණා. පාසල් තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කර ඇති අතර ඩ්‍රම්ස් වාදනය සඳහා ඇය තවමත් දක්වන්නේ ඉහළ දක්ෂතාවක් හා කැමැත්තක්.
මෑත දී යූටියුබ් සම්මුඛ සාකච්ජාවක දී ද ඇය මෙම හැකියාව හා කැමැත්ත ගැන ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ , ඩ්‍රම්ස් කට්ටලයක් තවමත් තම නිවෙසේ ඇති බව සහ සැමියා නින්දට ගිය පසුව තමන් එය වාදනය කරන බවයි. 2004 වසරේ දී සනායේ විවාහ වූයේ , කලක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යටතේම පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලනඥයෙක් වූ ටකු යමමොටෝ සමඟ. ඔහු , තමන් කෙරෙහි ඇති කැමැත්ත පළ කළේ දුරකතනයෙන් බව පවසා තිබුණා. ඉවුම් පිහුම් කලාවේ ද දක්ෂයෙක් වූ ඔහු , තමන් සමඟ විවාහ වුවහොත් කිසි දිනෙක ඇයට බඩගින්නේ නිවෙසෙන් බැහැර වීමට සිදුනොවනු ඇතැයි පැවසූ බවද එය ඇසීමත් සමඟ ඒ හැටි නොසිතාම අවදානම බාරගනිමින් වුවද ඔහුට කැමැත්ත දුන් බව ඇය සංවාදයක දී පවසා තිබුණේ සිනහසෙමින්.
මේ යුවළට දරුවන් තිදෙනෙක් සිටිනවා.
තුරුණු වියේ දී තමන් සන්තකයේ වූ කවසාකි Z400 GP යතුරුපැදිය දේශපාලනයට අවතීර්ණ වීමත් සමඟ විකුණා දැමුවේ අනතුරු ගැන කල්පනාකාරී වෙමින් බව ඇය වරෙක පවසා තිබුණා. දේශපාලනයට උනන්දුවක් දැක්වූ සමයේ පටන්ම තැචර් මෙන්ම කෙටි කොණ්ඩය ඇගේ විලාසිතාව වනවා.
බහුවිධ දක්ෂතා ඇති මෙන්ම දේශපාලනයේ අත්දැකීම් ද ඇති ජපානයේ නව අගමැතිවරියගේ නම, එරට බිහිකළ පළමු අගමැතිවරිය වශයෙන් දැනටමත් ඉතිහාසයේ ලියැවී අවසන්.
ඒ නම ඉදිරියෙන් ඇයගේ කාර්යසාධනය සටහන් වනු ඇත්තේ පාලනයේ දී ඇය සාර්ථක වනු ඇති ප්‍රමාණය අනුව බව පැහැදිලියි .එහි දී තම පක්ෂයේ සමඟිය මෙන්ම විපක්ෂයේ සහාය ලබාගැනීම ද තීරණාත්මක වශයෙන් වැදගත් වනු ඇති. ඇයට සුබපතමින් අපි කාලයට ඉඩ දෙමු.
