වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පිටිය තුළ පැවති රික්තය බිඳ දමමින් අද යළිත් අපගේ ලක් දෙරණට ක්‍රීඩා වසන්තයක් උදා වී තිබේ. මෙය සමස්ත ජාතියක් ලෙස අප ලැබූ විශාල භාග්‍යයකි. පසුගියදා අවසන් වූ දකුණු ආසියාතික ක්‍රීඩා උලෙළේදී අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් හතළිහකට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීම ශ්‍රී ලංකා ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ වූ සුබ ලකුණු පළ කිරීමකි.
ඉන්දියාවට පමණක් දෙවැනි වෙමින් ලැබූ මෙම ජයග්‍රහණ මාලාවත් සමඟ මුළු ලෝකයේම අවධානය යළි අප වෙත යොමු වීම අරුමයක් නොවේ. මෙලෙසින් ජයග්‍රහණය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් මහනුවර විහාරමහාදේවි බාලිකාවෙන් බිහි වූ සෆියා යමික් රන් පදක්කම් තුනක් දිනා ගනිමින් ඉතිහාසගත වීම විශේෂත්වයකි. එසේම දිල්හානි ලේකම්ගේ පදක්කම් දෙකක් දිනා ගැනීම ද කැපී පෙනෙන සිදුවීමකි. මෙම ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සාර්ථකත්වය අත්කර ගන්නා මුස්ලිම් දියණියක වන සෆියා යමික්ගේ දස්කම් අප රටේ මුස්ලිම් සංස්කෘතිය තුළ විශාල ජයග්‍රහණයකි. පටු සංස්කෘතික රාමු තුළ සිර නොවී ක්‍රීඩාව වැනි පොදු වේදිකාවක් තුළින් ඇය ඉදිරියට පැමිණීම සමස්ත කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා කදිම ආදර්ශයකි. ඇයගේ සාර්ථකත්වය, ජාතික සමඟියට ද මහත් පිටිවහලක් සපයයි.
මීට පෙර අපට මෙවැනි ඓතිහාසික සිදුවීම් මාලාවක් අසන්නට ලැබුණේ සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ, දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න වැනි අති දක්ෂයින්ගේ යුගයේදීය. එපමණක් නොව, අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනා ගැනීමත් සමඟ, සනත් ජයසූරියගේ පිති හරඹය හා මුරලිදරන්ගේ දඟ පන්දු යැවීම තුළින් මේ පුංචි දිවයින ක්‍රීඩාවෙන් උපන් හපන්කම් ඇති දක්ෂයින් සිටින රටක් ලෙස ලෝක සිතියම මත සනිටුහන් විය. එහෙත් එම යුගයෙන් පසු පැවති රික්තය පසුගිය වසර ගණනාවක් පුරාම බිඳ වැටෙමින් තිබුණි. චමරි අතපත්තුගේ නායකත්වය යටතේ අපගේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු තරගාවලිය ජය ගැනීමත් සමඟ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් විය.
මෙලෙසින් අපට ක්‍රීඩා වසන්තය උදා වීමට ප්‍රධානම හේතුවක් වූයේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නිදහසේ ක්‍රීඩාව දියුණු කිරීමට සැකසූ පසුබිමයි. ක්‍රීඩාව පාලනය කරන ආයතන ස්වාධීන වීම නිසා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දක්ෂතා උපරිමයෙන් පෙන්වීමට අවශ්‍ය ජීවය ලැබී ඇත. මේ නව වසන්තය පෝෂණය කරමින් අපගේ ක්‍රීඩාව තුළින් ඉදිරියට පැමිණීම ශ්‍රී ලංකාවේ අනාගත බලාපොරොත්තුව ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම බවට පත්ව ඇත. සෆියා යමික් වැනි ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමේ තරගවලදී විශිෂ්ට දස්කම් පාමින් ඔලිම්පික් පදක්කමක් රැගෙන එන බවට ඇති බලාපොරොත්තු අප්‍රමාණය.
