පසුගිය දවස්වල මා හමුවීමට පැමිණි රෝගීන් අතරේ එකම රෝගය වැලඳී සිටි කිහිපදෙනකු හමුවූවා. ඔවුන් වයස් කාණ්ඩ කිහිපයක් නියෝජනය කළ අය වුවද රෝග ලක්ෂණ එක සමානයි. මුලින්ම මට හමුවුණේ වයස අවුරුදු 27ක කාන්තාවක්. ඒ වනවිට ඇය මාස හතක ගැබිනියක්. ඇගේ යෝනි ප්‍රදේශයේ කුඩා කුඩා මස්දලු වර්ධනය වී ඇතිබව පැවසූ අතර එය ලිංගික රෝගයක් යැයි බියපත්ව සිටියා. එවැනි රෝගයක් සෑදීමට තරම් වෙනත් කිසිදු සම්බන්ධතාවක් නොපැවැති බව දිගින් දිගටම පැවසූ ඇය කියා සිටියේ සිය සැමියා තුළ මෙවැනි රෝග ලක්ෂණ නොපවතින බවයි. ඔහු පිළිබඳත් කිසිදු සැකයක් නොමැති බව පැවසූ ඇය වඩාත් දුක් වූයේ සිය සැමියාට සහ කුසෙහි සිටින දරුවාට මෙයින් කරදරයක් වනු ඇතැයි සිතාය.
මා හමු වූ අවුරුදු 42ක පමණ පුද්ගලයා දියවැඩියාව සහිත රෝගියෙක්. ඔහුගේ ශිෂ්ණය ප්‍රදේශයේ මස්දලු වැනි ඉන්නන් ඇති බව පැවසුවා. රෝගියාව පරීක්ෂා කර බැලීමේදී ඇත්ත වශයෙන්ම ඔහුගේ ශිෂ්ණයේ පෙරහම සහ ලිංග මුණ්ඩයේ පොකුරු පොකුරු ආකාරයට මාංසමය වර්ධනයන් තිබුණා. එය ප්‍රතිකාර කිරීමටත් අපහසු මට්ටමේ තත්ත්වයක්.
වයස අවුරුදු 7ක විතර පුංචි ගැහැනු දැරිවියක් සිය ආච්චි සමඟ සායනයට පැමිණියේ යෝනි ප්‍රදේශයේ තිබෙන අසාමාන්‍යතාවක් පෙන්වීමට. පරීක්ෂා කර බැලීමේදී පෙනී ගියේ ඇයගේ යෝනි ප්‍රදේශයේ ද ලිංගිකව බෝවන ඉන්නන් පොකුරක් සේ හටගෙන තිබුණු බවයි.
මේ සියලුදෙනාම ගොදුරු වී සිටියේ ලිංගාශ්‍රිතව බෝවන ඉන්නන් රෝගයටයි.
ඩොක්ටර් මොකක්ද මේ ලිංගිකව ඉන්නන් බෝවෙනවා කියන්නේ?
මේ තත්ත්වය ඇතිවෙන්නේ Human pappiloma virus (HPV) නමින් හඳුන්වන වයිරස් ආසාදනයක් නිසා. එම වයිරස් ප්‍රභේද දැනට 200කට අධික සංඛ්‍යාවක් තියෙනවා.
මේ රෝගය බෝවෙන්නෙ ලිංගික එක්වීමෙන් විතරම ද?
මෙය බෝ වන්නේ ලිංගික ප්‍රදේශ අතර සිදුවන පිරිමැදීමේ හෝ ඇතුළු කිරීමේ ලිංගික චර්යාවන් නිසා. ඉතාමත්ම කලාතුරකින් ලිංගික නොවන ක්‍රමවලින් ද තව කෙනකුගේ සමට පැතිරීම සිදුවිය හැකියි. එහිදී සිදුවන ශුද්‍ර සීරීම් තත්ත්ව නිසා එක් කෙනකුගේ චර්මයේ ඇති වයිරසය අනිත් කෙනාට සම්ප්‍රේෂණය විය හැකියි. එම නිසා ලිංගික ක්‍රියාවලියේ දී සිදුවන යෝනි, මුඛ, ගුද සංසර්ගවලදී බෝ වෙනවා. මෙම වයිරසය ලිංගික ක්‍රියාවන්වලදී බහුල ලෙස බෝ වුණත්, පිටතට පෙනෙන ලෙස මස්දලු මෙන් රෝග ලක්ෂණ ඇතිවන්නේ 100කට 1ත් 5ත් අතර සංඛ්‍යාවකටයි. මේ නිසා අපි ඉහත සඳහන් කළ ගැබිනි කාන්තාවගේ රෝග ලක්ෂණ තිබී ස්වාමි පුරුෂයාගේ රෝග ලක්ෂණ නැති වෙන්නට පුළුවන්. නමුත් ඔවුන් දෙදෙනාගේම සමට ආසාදනය වී තිබෙනවා.
මෙය සමාජයේ බහුලව පවතින රෝගී තත්ත්වයක් ද?
ශ්‍රී ලංකාවේ රජයේ ලිංගික සෞඛ්‍ය සේවා සායනවලට වර්ෂයකට දළ වශයෙන් රෝගීන් 2000 – 2500ක් පමණ වාර්තා වෙනවා. ඒ වගේම පෞද්ගලික වෛද්‍ය සේවයටත් සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වෙනවා.
මෙහි රෝග ලක්ෂණ?
අසාදනයේ සිට බාහිරට පෙනෙන ලිංගික ඉන්නන් ඇතිවීම සාමාන්‍යයෙන් මාසයක සිට අවුරුද්දක කාල පරාසයක් තුළදී සිදුවිය හැකියි. එසේම බහුතරයකගේ එම HPV වයිරසය අවුරුදු දෙකක් පමණ යන විට ස්වභාවයෙන්ම ශරීරයෙන් ඉවත් වෙනවා.
ඇතැම් අයගේ එම වයිරසය ඉවත් නොවී ආසාදනය වූ ස්ථානවල දීර්ඝ කාලයක් පවතින්නත් පුළුවනි. නමුත් එම ලක්ෂණ ඇතිවන්නේ ආසාදිත අයගෙන් 1-5 %ත් අතර සංඛ්‍යාවකටයි.
මේ ඉන්නන් ලිංගාශ්‍රිත ප්‍රදේශවල වර්ණය වෙනස් වූ කැළලක්, සමෙන් ඉහළට එසවුණු පැතලි වර්ධනයක්, මස්දල්ලක්, ගෝවා මලක් ආකාරයෙන් හටගන්නා, පොකුරු හැටියට වර්ධනයන් සිදුවිය හැකියි. සමහර අයගේ මෙය මෘදු පටක ස්වරූපයක් ගන්නා අතර තවත් අයගේ ඝනකම් ස්වරූපයක් ගත හැකියි. ඇතැම් අයගේ හමේ වර්ණයට වඩා අව පැහැ ආකාරයෙන් පැවතිය හැකි සේම හමේ වර්ණය හෝ ඊට වඩා වැඩි තද පාටින් මෙම වර්ධනයන් පැවතිය හැකියි.
මෙම ලිංගික ඉන්නන් පැතිරී යන ප්‍රදේශ සැලකීමේ දී කාන්තාවන්ගේ බාහිර ලිංගාශ්‍රිත චර්මය, යෝනි තොල් සහ යෝනි මාර්ගය, ගැබ් ගෙල හා පුරුෂයින්ගේ ශිෂ්ණය, පෙරහම, ලිංග මුණ්ඩය, වෘෂණකෝෂ ආශ්‍රිත චර්මය සහ ගුද මාර්ගය ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවිය හැකියි. කලාතුරකින් ඇතැම් පිරිමින්ගේ මූත්‍රා නාළයේ කෙළවරවලද ඉන්නන් ඇතිවිය හැකියි. ඊට අමතරව ගර්භිණී කාන්තාවන් හට එම අවධියේ ඇති ප්‍රතිශක්තියේ වෙනස්කම් නිසා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් හෝ පැතිරී යාමක් සිදුවිය හැකියි. ඉතා කලාතුරකින් යෝනි මාර්ගය තුළ අධික ලෙස ඉන්නන් ඇතිවී ඇතැම් විට යෝනි ප්‍රසවයක් සිදු කිරීමට බාධා පැමිණිය හැකියි. කුඩා දරුවන්ගේ මෙවැනි ලිංගිකව බෝවන ඉන්නන් ඇතිවී නම් එම දරුවන් ලිංගික අපයෝජනයට ලක් වී ඇත්දැයි පරීක්ෂා කළ යුතු වෙනවා.
එම ප්‍රදේශ කැසීමේ දී රෝගය හම මතුපිට පැතිරී යාම වැඩි වේ. ඊට අමතරව දියවැඩියාව වැනි රෝගවලදී ලිංගාශ්‍රිතව හටගන්නා Candida අසාදනය නිසා හමේ සිදුවන දුර්වල වීම නිසා ඉන්නන්ගේ වර්ධනය ශීඝ්‍රයෙන් සහ වැඩි ප්‍රදේශයක පැතිර යයි. එහිදී ප්‍රතිකාර කිරීම ද අපහසුයි. ඇතැම් අයගේ යෝනි, ගැබ්ගෙල, මුඛ හෝ ගුද ආසාදන ඉතා කලාතුරකින් පිළිකා තත්ත්වයන් ඇතිවීමද හේතුවිය හැකි යි.
ඩොක්ටර් මේක හැදෙන හැමෝටම පිළිකා අවදානමක් තියෙනවද?
මම සඳහන් කළා මෙම HPV වයිරසයේ ප්‍රභේද 200කට අධික ප්‍රමාණයක් තියෙන බව. එයින් අවදානම් සහිත ප්‍රභේද වන්නේ HPV 16, 18, 31, 33, 45, 52, 58 යන ප්‍රභේදයි. එසේම හොඳින් මතක තබාගත යුතු දෙයක් වන්නේ ආසාදනය සිදුවී ඇති හැමෝටම පිළිකා ඇති නොවන බව නමුත් ගැබ් ගෙල පිළිකා සහිත අයගෙන් 99.7%කගේ පටකවල HPV වයිරස් හඳුනාගෙන තිබෙනවා. ගැබ් ගෙල පිළිකාව ඇතිවීමට නම් කල් පවතින පිළිකා අවදානම් ඇති HPV සමඟ තවත් අවදානම් සාධකයන් එක්ව ක්‍රියාත්මක විය යුතු වෙනවා. නමුත් මේ සඳහා බිය විය යුතු නැහැ. අසාදනයන් වන අයගෙන් 1%කට වත් පිළිකාමය තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ. නමුත් වයස අවුරුදු 35 දී සහ 45 දී සුවනාරී සායනවල සිදුකරන පැප් පරීක්ෂණය මෙවැනි අවදානමක් කල් තියා හඳුනා ගැනීමට උපකාරී වෙනවා.
මෙම රෝගය කොහොමද හරියටම හඳුනා ගන්නේ?
සාමාන්‍ය පියවි ඇසෙන් පරීක්ෂා කොට එහි ලක්ෂණ අනුව හඳුනා ගත හැකියි. එසේ අපහසු අවස්ථාවලදී එම පටක පරීක්ෂණය සහ පැප් පරීක්ෂණය මඟින් හඳුනා ගැනීමට සිදු වේ.
මේ සඳහා මොනවද තියෙන ප්‍රතිකාර ?
ඉන්නන් ඉවත් කිරීමේ ප්‍රතිකාර ලෙස පහත ප්‍රතිකර්ම වෛද්‍ය උපදෙස් මත ලබාගත හැකියි.
1. අනුමත ඇසිඩ් ආලේප
2. ද්‍රව නයිට්‍රජන් ප්‍රතිකාරය
3. ලේසර් ප්‍රතිකාර ක්‍රම
4. සාමාන්‍ය සුළු ශල්‍යකර්ම මඟින් කපා ඉවත් කිරීම
5. Electrocautery ප්‍රතිකාරය
6. චර්ම ප්‍රතිශක්තිය දියුණු කිරීමේ ක්‍රීම් වර්ග
7. පිළිකා මර්දන ක්‍රීම් වර්ග ආලේපය (මේ සඳහා වෛද්‍ය උපදෙස් හා මඟ පෙන්වීම මත භාවිත කළ හැකියි.)
මෙය වළක්වා ගන්නේ කෙසේද?
1. ලිංගික සම්බන්ධතා අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාසිත එක් අයකුට පමණක් සීමා කිරීම
2. නිවැරදි ලෙස කොණ්ඩම් භාවිත කිරීම
3. පැප් පරීක්ෂණ සිදු කිරීම
4. HPV වැළක්වීමේ එන්නත ලබා ගැනීම. මෙය ශ්‍රී ලංකාවේ දැනට පාසල් යන ගැහැනු දරුවන්ට ලබා දෙනු ලැබේ. පළමු එන්නත වයස අවුරුදු දොළහේ දී ද දෙවැනි එන්නත ඉන් මාස හයකට පසුවද ලබාදෙනු ඇත. එය තමන්ගේ දරුවන්ට ලබාදීම තහවුරු කරගන්න.
අවදානම් ලිංගික සම්බන්ධතා ඇති අය වෛද්‍ය උපදෙස් මත පැප් පරීක්ෂණය සඳහා හෝ යෝනි පරීක්ෂණ සඳහා යොමුවන්න. වඩාත් උචිත වන්නේ මෙම රෝගයේ මුල්ම අවස්ථාවේදීම ප්‍රතිකාරවලට යොමු වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට උනන්දු වීමයි.
