කාන්තාව කියන්නේ ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්. එසේම පවුලක සතුට, සැහැල්ලුව රැඳෙන්නෙත් ඇය මතයි. මාසික ඔසප් වීම එහෙව් කාන්තා ඔබට අසීරු කාලසීමාවක්. ඉතින් මේ අපහසු කාල සීමාව ඉතා ආරක්ෂාකාරීව හා සුවපහසුවෙන් ගෙවන්නට අවශ්‍ය දේවල් ටිකක් ගැන අපි අද කතා කරමු.
ඔසප් දින කිහිපයේදී සැලකිලිමත් විය යුතුයි. ඔසප් දින කිහිපය තුළ අඩු වැඩි වශයෙන් රුධිරය වහනය වීම නිසා ශරීරයේ ශක්තිය රඳවා තබා ගැනීමට සුදුසු ආහාර වේලක් ගැනීමට වගබලා ගන්න. මෙහිදී අපට ශරීරයේ රුධිර උත්පාදනයට උපකාරී වන ආහාර වර්ග කෑමට ගන්න පුළුවන්.
* පලා වර්ග
* කුකුළු මස්
* එළවළු
* විටමින් සී සහිත පලතුරු
ඒ වගේම මේ සමයේදී කැෆේන් අධික ආහාර, අධික තෙල් සහිත ආහාර අවම කළ යුතුයි. කාන්තාවක් සෑම විටම උත්සාහ කරන්නේ ලස්සනට අඳින්න, පලඳින්න. නමුත් මෙම කාල සීමාව තුළ ඔබ ඔබේ ලස්සන වගේම සුවපහසුව ගැන සැලකිලිමත්ව ඇඳුම් තෝරා ගත යුතුයි. ඇතැම් කාන්තාවන්ට ඔසප් සමය තුළ ඇතිවන ගැටලුවක් තමයි ක්ලාන්ත වීම. සුවබර නින්දක් සහ කායික – මානසික විවේකයක් නොමැති වීම ද ඊට හේතුවක් විය හැකියි. එම නිසා මෙම කාලයේදී පෙරටත් වඩා තම කායික – මානසික සුවය ගැන සැලකිලිමත් වන්න.
නිවැරදි සනීපාරක්ෂාව
සමාජයේ ඉතා සුලබ මතයක් තමයි Periods දිනවලදී නෑම සුදුසු නැහැ කියන එක. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රමුඛකොට දක්වන්නේ කායික පිරිසුදු බවයි. එම නිසා විශේෂයෙන් මෙම දින කිහිපය තුළ පෙරටත් වඩා ඔබේ පිරිසුදු බව ගැන සැලකිලිමත් වන්න. තවත් දෙයක් නම් මෙම දිනවලදී ලිංගික අවයව පිරිසුදු කිරීමට, මෘදු පිරිසුදු කාරක ද්‍රව්‍ය භාවිත කිරීමයි. එය ඔබේ ආරක්ෂාව මෙන්ම සුව පහසුවට ද ඉතා වැදගත්. මේ සඳහා වෙෙළඳපොළ තුළ Intimate wash වර්ග හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම ඔබ භාවිත කරන සනීපාරක්ෂක තුවා පැය 4කට – 6කට වරක් හෝ මාරු කිරීම ඉතා යෝග්‍යයි. ඒ තුළින් විවිධ අසාත්මිකතා ඇති වීම වළක්වා ගන්න පුළුවනි.
සනීපාරක්ෂක තුවා තෝරා ගැනීම
ඔසප් කාලය තුළ ඉතාමත් වැදගත් දෙයක් තමයි සනීපාරක්ෂක තුවා. සනීපාරක්ෂක තුවා වර්ග ගණනාවක් තිබෙනවා. ඔබට ඔසප් වීම ආරම්භ වීමට නියමිත මුල් දින තුළ සහ අවසන් වන දිනවලදී Panty Liner එකක් භාවිත කරන්න පුළුවන්. නමුත් අනිත් දිනවල ඔබට සරිලන සනීපාරක්ෂක තුවා භාවිත කිරීම අවශ්‍යයි. මේවා Ultra thin, Regular, Maxi-Super ආදී වශයෙන් වර්ග කිහිපයක් තිබෙනවා. ඔබගේ රුධිර වහනය වන පරාසය මත ඔබට සරිලන සනීපාරක්ෂක තුවායක් තෝරාගන්න පුළුවන්. ඒ වගේම රාත්‍රියට ඔබට Over Night Pad එකක් භාවිත කිරීම ඉතා යෝග්‍යයි. පසු ප්‍රසව මවුවරුන්ට වඩාත් සුදුසු තුවා වර්ගයක් තමයි Maternity Pads. මේ වගේ සනීපාරක්ෂක තුවා වර්ග ගණනාවක් වර්තමානය වන විට හඳුන්වා දී තිබෙනවා. ඉස්සර වගේ නෙමෙයි, දැන් වයසට ගැළපෙන විදියට විවිධ වර්ගයේ Pads අපට තෝරාගන්න පුළුවන්.
මීට අමතරව ලෝකයේ තවත් සනීපාරක්ෂක උපකරණ භාවිතයේ තිබෙනවා. (Tampons, Menstrual Cup)
මාසික ඔසප් දින කිහිපය සැලකිල්ලෙන් සහ දැනුම්වත් භාවයෙන් යුතුව ගෙවන්න. එවිට ඔබට ඔබේ එදිනෙදා වැඩ කටයුතු වෙනදාටත් වඩා පහසුවෙන් සිදුකරන්නට පුළුවන්. ඒ වගේම ඔබේ රතු දින කිහිපය සාමාන්‍ය දින බවට පත් කරගන්නත් එවිට ඔබට පුළුවන්.
