සිඟිත්තියක් ගෙදර ඉන්නවා කියන්නේ මුළු ගෙදරම හරි සිරියාවයි. ඉතින් අම්මලා හැම වෙලාවෙම බලන්නේ තමන්ගේ පුංචි දියණියව හරි ලස්සනට හැඩට තියාගන්න. පුංචි පුංචි ගවුම් පොඩිති, කොණ්ඩ කටු, හෙයාර් බෑන්ඩ්, තෝඩු වගේ දේවල් අතින්ම හදලා දියණියට පලඳන එක තරම් සතුටක් අම්මෙක්ට තවත් තියෙනව ද? අද තරුණී වෙතින් තිළිණ කරන්නේ පුංචි දෝණිගේ කොණ්ඩය සරසන අපූරු කොණ්ඩා කටු පෙළක්. ඔයත් මේ විදිහට නිර්මාණය කර බලන්න. ඒ විතරක් නෙවෙයි මේ නිර්මාණ ස්වයං රැකියාවකටත් කදිම මාර්ගයක්.
අවශ්‍ය ද්‍රව්‍ය
කොණ්ඩ කටු
ලිනන් රෙදි කොටසක්
B6000 Glue හෝ බයින්ඩර් ගම්
බේබි රිබන්
පබළු
ටැපස්ටි ඉදිකටු
සාමාන්‍ය ඉදිකටුවක්
නූල්
එම්බ්‍රොයිඩරි ෆ්‍රේම්
ෆෙල්ට් ශීට්
නිර්මාණය කරගන්නා ආකාරය
කොණ්ඩ කටු නිර්මාණය කිරීමේ දී වෙළෙඳපොළෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් කටු මිලදී ගන්න.
ලිනන් රෙදි කොටස එම්ෙබ්‍රායිඩරි රාමුවට දමා සකසා ගන්න. අනතුරුව කොණ්ඩ කටුව රෙදි කොටස උඩින් තබා පිටපත් කර ගන්න.
ඉන්පසු කොණ්ඩ කටුවේ හැඩයට ෆෙල්ට් ශීට් කොටස් කපා ගන්න. එක කොණ්ඩ කටුවකට දෙක බැගින් අවශ්‍ය වේ. රූපයේ දැක්වෙන පරිදි අපි දැන් කොණ්ඩ කටු නිර්මාණය කරගනිමු. මෙහි දැක්වෙන කොණ්ඩා කටු හතරෙන් 1 සහ 4 කොණ්ඩ කටු නිර්මාණය කර ගන්නේ එකම ආකාරයකටයි.
1 සහ 4 නිර්මාණය කර ගන්නා ආකාරය
මෙහිදී ටැපැස්ටි ඉදිකටුවට බේබි රිබන් එක අමුණාගෙන තමන්ට කැමැති ලෙස හැඩය වෙනස් කරගනිමින් ප්‍රංශ ගැටය ආධාරයෙන් කොණ්ඩ කටුවට නිර්මාණයක් සකසා ගන්න. නටුව කොළ පැහැති බේබි රිබන් එක අඹරවා ගනිමින් මසා ගන්න. කොළ මසා ගන්න.
2 නිර්මාණය කරගනිමු
රිබන් මැස්මෙන් ඔබට අවශ්‍ය දිගින් මල් පෙති මසා ගන්න. අවශ්‍ය ලෙස පත්‍ර යොදා ගන්න. මලේ මැද කොටසට ගැළපෙන ලෙස කුඩා පබළුවක් මසා ගන්න.
3 නිර්මාණය කරන්නේ මෙහෙමයි
කුඩා රෝස මල මසා ගැනීමට folded stitch ක්‍රමය යොදාගෙන ඇත. මෙහිදී රිබන් එක ත්‍රිකෝණාකාර එක ඇතුළට නවමින් රෝසමලක් ලෙසට මසා ගත යුතුය. අවශ්‍ය තැන්වලට පත්‍ර මසා ගන්න.
ඉහත ආකාරයට කොණ්ඩ කටුවට ත්‍රිමාණ ලෙස නිර්මාණය කර ගැනීමෙන් පසුව, මැහුම් වාසි තබා මසා ගත් කොණ්ඩ කටුවේ සැකැස්ම කපා ගන්න.
නිර්මාණය කරගත් කොණ්ඩ කටුවේ සැකැස්මට කණපිටින් පෙර සූදානම් කරගත් ෆෙල්ට් ෆීට් කැබැල්ල ගම් ගා අලවා ගන්න. පසුව කොණ්ඩ කටුවේ මැහුම් වාසිය ඇතුළට එන ලෙස නූලක් දුවවා ගන්න. නැවත ගම් ගා කොණ්ඩ කටුවට හොඳින් අලවා ගන්න. පසුව කොණ්ඩ කටුවේ යට පැත්තට ද ෆෙල්ට් ශීට් කැබැල්ලක් තබා අලවාගෙන, කොණ්ඩ කටුවේ වටේට ඇතුළු පැත්තෙන් බ්ලැන්කට් මැස්මෙන් වාටියක් ආකාරයට මසා සම්පූර්ණ කරගන්න.
මේ කොණ්ඩා කටු නිර්මාණය කර ගන්නා විට තමන්ගෙ නිර්මාණාත්මක අදහස් ද යොදා ගනිමින් මේවා තව තව අලංකාර කරගන්න පුළුවන්.
