බතල කියන්නේ හරිම රසවත් අල වර්ගයක්. තරමක් තරබාරු අයටත් අපි ‘බතලයා‘ කියන නම කිවුවට බතල තරබාරු බව මට්ටු කරන්න සුදුසුම ආහාරයක් කිවුවොත් ඔබ පුදුම වෙන්නත් පුළුවන්. බතල කියන ආහාරයේ ඔබ නොදන්නා ගු ණ ගැන කියා දෙන්නයි මේ සූදානම.
රසවත් හා ගුණවත් බව වගේම කෙඳි බහුලව හා කැලරි අඩුවෙන් අඩංගු ආහාරයක් වන බතල හරිම රසවත්. ජලයත් අධිකව මෙහි අඩංගු වන නිසා බතල කියන්නේ බර අඩුකර ගැනීමට නම් සුදුසුම ආහාරයකි. බතල ස්වභාවයෙන්ම රසවත් නිසා ලුණු ස්වල්පයක් එක්කරගෙන වුවත් ඔබට ඕනෑම වේලාවක රස විඳින්නට පුළුවන්.
ආහාර සංස්කෘතියෙන් අපිට හිමිවූ අනභිභණීය ආහාරයක් තමයි බතල කියන්නේ. විටමින් A සීයට දෙසීයකටත් වැඩියෙන් ලබා දෙන බතල තරම් වෙනත් ආහාරයක් නොමැති තරම්. විටමින් A විතරක් නෙමෙයි විටමින් C, විටමින් B-6 ආදී තවත් බොහෝ විටමින් වර්ග ද යහමින් අඩංගු නිසා බතල කියන්නේ ඇත්තටම විටමින් අලයක්. විටමින් පෙතිවලින් විටමින් විතරක් ලැබුණට බතල ඔබට එහෙම කරන්නේ නැහැ. බතල කන ඔබට ඒ බතල අලය විසින් ප්‍රෝටීන්, මැග්නීසියම්, යකඩ, කැල්සියම්, සෝඩියම්, පොටෑසියම් ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථයන් ද ලබා දෙනවා. ඔබේ ප්‍රතිශක්තිය වැඩිකර ඔබව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරයි. පිළිකාව, අධි රුධිර පීඩනය, මල බද්ධය ආදී බොහෝ බෝ නොවන රෝග රැසකට වැට කඩුලු බඳිනවා. ඒ විතරක් නෙවෙයි චර්ම රෝග, ක්‍රිම් රෝග ආදී රෝග රැසකින්ම ඔබව මුදවා ගන්නවා. තරමක් පැණි රසැති නිසා දියවැඩියාව හැදේයිදෝ කියලා සැකයක් ඇති. ඒත් ඇත්තටම බතල කියන්නෙ දියවැඩියාව නිසා ඔබේ ඇසට සිදුවෙන හානි අවම කරන විශිෂ්ට ආහාරයක්.
ඔබ ගර්භිණී මවක් නම් ගර්භිණී සමය තුළ ගත හැකි පෝෂණීයම ආහාරයක් ලෙස මේ බතල හඳුන්වන්න පුළුවන්. බතල ගැබිනි මවකට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථයන් නොඅඩුව ලබා දෙනවා විතරක් නෙවෙයි මව්කිරි හොඳින් වඩවනවා. මහත අය දැක්කම විහිළුවට ‘බතලයා‘ ‘බතලයා‘ කිවුවට ඇත්තටම බතල කෑවාම මහත් වෙන්නේ නෑ. බතල හොඳ කෙඳි සහිත ආහාරයක් නිසා ඉක්මනට බඩ පිරෙනවා. අනෙක් ආහාරවල අඩංගු කැලරි ප්‍රමාණයට සාපේක්ෂව බතලවල තියෙන්නෙ කැලරි 86 වගේ ඉතා සුළු ප්‍රමාණයක් නිසා ඔබව අනවශ්‍ය ලෙස මහත්වීම ප්‍රමාද කරනවා.
බතල හරියම පෝෂණීය කප්රුකක් වගේ. බතල අලය විතරක් නෙවෙයි බතල කොළ කියන්නෙත් හොඳ පෝෂණ ආහාරයක්. හොඳ එළවළුවක්. ඒ වගේ හොඳම හොඳ ඖෂධයක්.
බතල මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා ගත් අල කෝප්ප1ක්
තම්බා ගත් පාන් පිටි කෝප්ප 1ක්
ලුණු කුඩු
දුරු කුඩු
පොල් තෙල්
පිළියෙල කරන ආකාරය
බලත හොඳින් පොඩිකර පාන් පිටි, ලුණු කුඩු හා දුරු කුඩු සමඟ මිශ්‍ර කර උණු වතුරෙන් ඉඳි ආප්ප පිටි පදමට අනාගන්න. එය මුරුක්කු වංගෙඩියෙන් රත් කළ තෙල්වලට වත් කර බැද ගන්න. සුළං නොවදින සේ අසුරා තබා ප්‍රයෝජනයට ගත හැකිය.
බතල ක්‍රැකර්

අවශ්‍ය ද්‍රව්‍ය
බතල ග්‍රෑම් 400
හකුරු ග්‍රෑම් 20
බටර් ග්‍රෑම් 30
ලුණු
හාල් පිටි/කෝන් පිටි
පිළියෙල කරන ආකාරය
මුලින්ම බතල ටික හුමාලයෙන් තම්බා ගන්න. ඉන්පසු තම්බා ගත් බතල හොඳින් පොඩි කර ගන්න. ඉන්පසු එයට ලුණු, බටර්, හකුරු (සීනි) දමා හොඳින් කලවම් කර ගන්න. ඉන්පසු හාල් පිටි හෝ කෝන් පිටි එකතු කර නැවත කලවම් කරන්න. ඉන්පසු බේකිං ට්‍රේ එක මත ක්‍රැකර් හැඩයෙන් සාදා ගන්න. ඉන්පසු සෙල්සියස් අංශක 140 විනාඩි 10ක් Preheat කරලා සෙල්සියස් අංශක 180 විනාඩි 45ක් bake කර ගන්න. නිවෙන්නට හැර ආහාරයට ගන්න.
