ජන රළ ගොස නැගෙයි. ගාලු මුවදොර එකම හිස් ගොඩකි. ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් එකක් පරයා එකක් ඇසෙන සටන් පාඨ මහා ඝෝෂාවකි. මහා මිනිස් ගඟ අසීමිත උද්‍යෝගයකින් එදෙසට තල්ලු වෙති. ෂැන්ග්‍රිලා මහල් සංකීර්ණයට යාබද භූමි භාගයෙහි එක ළඟ එක කුඩා කූඩාරම් රැසක් ඉදිවී තිබෙයි. ගාලු පාරට මුහුණලා අනුරුද්ධ විජේබණ්ඩාර, අසේල සඳනායක, සාරදා සරච්චන්ද්‍ර අරගල බිමේ තාවකාලිකව අටවා ගත් පුස්තකාලය පිටුපස කූඩාරමක නිගූ එනතුරු බලා සිටිති. නිගූගේ සම්බන්ධීකරණයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනකුත්, කිතුනු පූජකයන් වහන්සේලා කිහිපනමකුත් හමුවීමට සැලසුම් කරගෙන තිබෙයි.
“සඳයා උඹ දැක්කද ප්‍රොෆෙසර් උයන්ගොඩ කියල තිබුණා මේක පෝස්ට් මොඩර්න් සෝෂල් මූමන්ට් එකක් කියලා.. එයාලත් මෙතෙන්ට එනවා කියන්නෙ හැම පැත්තෙන්ම සාධනීයයි.”
අනුරුද්ධ අරගලය මතින් සිදුවන සමාජ වෙනසක් පිළිබඳ අපේක්ෂා දල්වා ගනියි. එහෙත් බලය ලබා ගන්නේ කෙසේ ද? ඊට සංවිධානය වන්නේ කෙසේ ද? යන්න පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍යම දෙයකි. ඒ බව අවධාරණය කරමින් විද්වතුන්, සමාජ ක්‍රියාකාරිකයින් හා කලාකරුවන් ඒකරාශී කරගත් සහයෝගිතා කඳවුරක් නිර්මාණය කර ගැනීම ඔහුගේ වෑයමයි.
” කෝ බං නිගුවා ආන්සර් කරන්නෙ නැද්ද? විරාජයට ගනින් බලන්න..”
අනුරුද්ධ සඳයා දෙසට හැරෙයි.
” ගත්ත බං උන් දෙන්නම ගන්නෙ නෑනෙ.. නිගූගෙ නම් ඕෆ්.”
මූදු හුළඟට කූඩාරම්වල ටෙන්ට් රෙදි රුවලක මෙන් බොකු ගැසෙයි. එන්න එන්නම ජනගොස වැඩෙයි. සඳයාගෙ සුරත ඇඟිලිවර අග සිගරට්ටුවක් දැල්වෙයි.
නිගූගේ ෆෝනය තාවකාලික පුස්තකාල ඇටවුමේ චාර්ජ් වෙන්නට ගසා තිබෙයි. බණ්ඩාරනායක ප්‍රතිමාව අසල ගාලු පාරට මුහුණ ලූ අට්ටාලයක ඔහු මිනිස් අහිනක් අමතයි.
ඔහුගේ මිතුරෙකු වන ඩී.ජේ. සුරේන් ප්‍රසිද්ධ ඩී.ජේ. ශිල්පියෙකි. සුරේන් ශබ්දෝපකරණ කට්ටල ද කැටුව තම අවුඩි රථය පාර අද්දර නවතා ගෙන පොදිකන මිනිස් අහින තමා වෙතට රොක් කර ගනිමින් නිගූගේ කතාව දෙසට යොමු කරවයි.
නිගූ කිහිප වටයක් කතා කොට සුරේන්ව හග් කර සමු දී ජනගොස නැඟෙන මානයෙන් මෑත්ව කූඩාරම් අතරින් පුස්තකාල ඇටවුම දෙසට යයි. අතරමඟ බොහෝ සුහුරු මිතුරන් හමු වී ඇසිල්ලකට හෝ ගමන නතර කෙරෙයි. පුස්තකාල කූඩාරම හරියේදී නිගූට සාරදාලා මුණ ගැසෙති.
” කොහෙද බං ගියෙ.. අපි බලන් ඉන්නවා උඹ එනකල්.”
අනුරුද්ධට මදක් මල පැන තිබෙයි. වොයිස් ඔෆ් ගෝල්ෆේස් නමින් නාළිකාවක් ආරම්භ කර අරගලය සම්බන්ධ ප්‍රවෘත්ති සියල්ල විකාශනය කිරීමට සූදානම් කර ඒ ගැන අවසන් සාකච්ඡාවක් පැවැත් වීමටත් හෙට දින කළ යුතු ඉන්ටර්වීව් කිහිපයක් ගැන කතා කිරීමටත් තිබෙයි.
” මේ ඔක්කොටම කලින් මට වොෂ් එකක් දාගන්න ඕෙන.. තාම මේ නුවර ඉඳන් ආපු ගමන්.”
සඳයා උස් හඬින් කියයි.
” ඉතින් අර නාන්ඩ තැනක් හදල තියෙන්නෙ ගිහින් නාගනින්. නාගෙන අර කූඩාරමක බුදිය ගනින්.. ”
නිගූ වචනවල ඇත්තේ විධානයකි. ඔහු එසේ කීවද සාකච්ඡා කිරීමටත්, වොෂ් එකක් දාගෙන ඒමටත් මාලබේ හෝ දියගම යා යුතුය. සඳයා බැක් පැක් එක රුවාගෙන සූදානම් වෙද්දී නිගූ අනුරුද්ධට ඒ බව පවසයි. අනුරුද්ධගේ රථයේ සඳයා සහ තවත් මිතුරෙක් ද නිගූගේ රථයෙහි විරාජයාත් සාරදා සහ ඇගේ යෙහෙළියක් ද කැටුව ඔවුහු මාලබේ නිගූගේ නිෙවසට පිවිසෙති.
සාරදාගේ යෙහෙළිය අවස්ථා කිහිපයකදී නිගූ දැක තිබෙයි.
” මේ මතීශා.. මගෙ ළඟම යාළුවෙක්.. දවසක් ඔයා එක්ක කතා කළා කිව්වා මහවැලියෙදි හරි ප්‍රලේඛනේදී හරි හම්බ වෙලා.”
සාරදා ඇයව හඳුන්වා දුන් මොහොතේ සිට නිගූ ඒ ගැන සිතයි. පොත් දොරට වැඩුමක දී හෝ එබඳු සාහිත්‍ය සම්භාෂණයක හමුවන්නට ඇතැයි ඔහුට සිතෙයි. ඈ කොණ්ඩය කෙටිකර කැපූ යුවතියකි. ඇගේ ගමනෙහි මඳ වශයෙන් පිරිමි තාණ්ඩවයක් මතු වෙයි.
නිගූගේ නිෙවසෙහි සිටි කාලය පුරා සාරදාත්, මතීශාත් බැල්කනියට වී සුළං සුව විඳිති. ඩන්හිල් දල්වති. විරාජයා ද තව තවත් එතුම් කළමනා කිසිවක් ද ලිහාගෙන ඔවුන් සමඟ සල්ලාපයට වැටෙයි.
” රස්නෙට බත් ටිකක් උයාගෙන කාලාම ගියොත් නරක ද?”
නිගූ විරාජයා දුන් වැටියක් දල්වා ගනිමින් අසයි.
” අනුරුද්ධ සර්ගෙන් අහන්න වෙයි. ෆාදර් ජිතේන්ද්‍රව හම්බ වෙන්න තියෙනවා කිව්වා කීයට හරි.”
සාරදා කියයි.
“හරි, හරි. කීයට හරිනෙ.. අන්න පුටුව උඩ නින්ද ගිහිල්ලා.. පස්සෙ ඇහැරවලා අහමු.. දැන් මොනා හරි ටිකක් උයමු.. දවල්ට කාලත් නෑ..”
නිගූ එසේ කියත්ම සාරදා පැන්ට්‍රිය දෙසට ඇදෙයි. නිගූ ඈ ඉක්මවා ගොස් රයිස් කුකරය ගෙන හාල් දමා සින්ක් එකෙන් තබා කරාමය අරියි. සාරදා ඔහුගේ ගෑවෙන නොගෑවෙන සමීපයට පැමිණෙයි.
” කෝ දෙන්න මං තියන්නම්.”
ඈ එසේ කියද්දී නිගූ සින්ක් එක ළඟින් ඉවත් වී ඇයට ඉඩ දෙයි.
” මෙතැන මාර සනීප තැනක්නෙ.. කොහොමද මේකෙ තනියම ඉන්නෙ..”
සාරදා අසයි. නිගූ නිහඬයි. ෆ්‍රිජ් එක ඇර ඉවීමට අවැසි අනෙකුත් කළමනා එකතු කරගෙන සින්ක් එක ළඟින් තබයි.
ෆ්‍රිජ් එක ඇරීමට පෙර පැන්ට්‍රි මේසය මත තබන ලද නිගූගේ ජංගමය ගැනීමට අත දිගු කරන විට දිනක් අසෙනිට අමතකව ගිය මෙරූන් පාට කොණ්ඩ බූලා දැක වහා එය සුරතට ගෙන මිට මොළවා ගනියි. අන්තිම මොහොතේදී නිගූ යමක් සඟවා ගනු සාරදා දකියි. ඇතැම් විට සාරදා ඒ කොණ්ඩ බූලා පැන්ට්‍රි මේසය මත තිබෙනු මීට පෙර දකින්නට ද ඉඩ ඇත. කෙසේ වෙතත් තමා එය සඟවා ගැනීම මෝඩකමක් යැයි නිගූට සිතෙයි.
කවුරුන් හෝ ගැහැනු පරාණයක් මෙහි ආගිය බවට ඉඟියක් සාරදාගෙන් වසන් කරන්නට තමා උත්සාහ ගන්නේ මක් නිසාදැයි නිගූ තමන්ගෙන්ම අසා ගනියි. ඈ කාංචනාගේ මිතුරියක් වීම නිසා නොවේද? තමා දැන් ඉන්නා තැනත්, ඉන්නා විදිහත් ගැන ඈ කාංචනාට සියලු විස්තර සහිතව කියනු ඇතැයි නිගූට සිතෙයි.
පරිප්පු දමා ඇති බඳුන ගෙන සින්ක් එක ළඟින් තබන්නට ළං වන විට ලූනු කපමින් සිටි සාරදා කියූ වදනින් නිගූ තිගැස්සෙයි.
“අපි හිතුවට තනියම කියලා තනියමත් නෙවෙයි වගේ ඉඳලා තියෙන්නෙ.”
