Monday, November 10, 2025
Epaper
Home විශේෂාංගමාතෘ භූමිය සුරැකීමේ ජාතික ප්‍රතිඥාව

මාතෘ භූමිය සුරැකීමේ ජාතික ප්‍රතිඥාව

by Shanaka Lakehouse

ශ්‍රී ලංකාව ඔබ, මම ආදරය කරන අපගේ ගෞරවනීය මාතෘ භූමියයි. මේ වන විට විෂ මත්ද්‍රව්‍ය උවදුර විසින් අප දේශයේ අනාගතය පිළිබඳ අපේක්ෂාවන්ට බාධා කරවන ජාතික ව්‍යසනයක් නිර්මාණය කරනු ලැබ ඇත. එයින් අපගේ සමාජය පූර්ණ ලෙස මුදා ගැනීම වර්තමානයේ අප හමුවී ඇති විශාලතම අභියෝගයයි. මෙම අභියෝගය ජය ගැනීම සමාජයක් ලෙස අත්හළ නොහැකි වගකීමක් බව අපි පිළිගනිමු.

මෙකී විෂ මත්ද්‍රව්‍ය උවදුර විසින් අප සමාජයේ ආර්ථික පැවැත්මද, සෞඛ්‍ය සම්පන්න ජීවිතයද, පවුලේ ආදරය සහ බැඳීමද, සතුට සහ විනෝදය ද අහිමි කරනු ලැබ ඇත. ඒ හා සමාන ලෙස සංවිධානගත අපරාධවල මූලයක් බවටද එය පත්ව ඇත. මත්ද්‍රව්‍ය උවදුර අප රට දශක ගණනාවක් පුරා මුහුණ දෙන දැවැන්ත සමාජ ගැටලුවකි. මේ විශාල ගැටලුව නිසා මේ වන විට අප රටේ විශාල පාතාල කණ්ඩායම් ප්‍රමාණයක්ද බිහි වී තිබේ. පාතාලය හා මත්ද්‍රව්‍ය වෘත්තීය නිසා අප රට ආර්ථික, සමාජයීය, දේශපාලනික වශයෙන් විශාල ගැටලු රැසක් නිර්මාණය කරමින් වටිනා තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් ගිල ගනිමින් තිබේ.

එබැවින් අපි විෂ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිය, ප්‍රවර්ධනය සහ ඊට අනුබල දීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමටත්, එරෙහි වීමටත්, ඊට සම්බන්ධ පිරිස් නීතිය හමුවට පැමිණ වීම සඳහා සහය වීමටත් ප්‍රතිඥා දෙමු/දිවුරුම් දෙමු. එසේම විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ඉන් මිදීමට උදව් උපකාර කිරීමටත්, ඔවුන් නැවතත් යහපත් සමාජ ජීවිතයක් කරා රැගෙන ඒමට උපකාර කිරීමටත් ප්‍රතිඥා දෙමු/දිවුරුම් දෙමු.

මත්ද්‍රව්‍ය යනු ජාතියේ අනාගතය ගිලගන්නා නිහඬ මාරයෙකි. එය තනි පුද්ගලයකුගේ විපතක් නොවේ. සමස්ත පවුල් ඒකක බිඳ දමන මව්පිය සෙනෙහස කඳුළට හරවන , ළමා අපේක්ෂා අළු කර දමන පිළිලකි. මත්ද්‍රව්‍ය ජාවාරම විසින් මෙහෙයවනු ලබන කළු ආර්ථිකය අපේ සැබෑ ආර්ථික වර්ධනය ගිල දමයි. තරුණයින්ගේ ශක්තිය, නිර්මාණශීලීත්වය සහ ජවය අහිමි කරමින් ඔවුන් අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසුකර ගනියි. මේ විනාශයේ සැබෑ මිල වන්නේ, දත්ත වාර්තාවල සඳහන් නොවන බලාපොරොත්තු අහිමි වූ ජීවිත සහ නොපෙනෙන ලෙස විනාශ වන මාතෘ භූමියේ සාරයයි. එබැවින් මෙම සටන හුදෙක් නීතිය හා සාමය පවත්වා ගැනීමක් නොව, අපේ දේශයේ ආත්මය යළි ගොඩනැගීම සඳහා වූ පරම ජාතික මෙහෙයුමකි.

මේ විශාල විනාශයේ තේරුම් ගනිමින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සඳහා මූලිකත්වය ගනිමින් කටයුතු කිරීම පිළිබඳව සමාජයේ විශාල ප්‍රසාදයක් හා ගෞරවයක් හිමි වී ඇත. පසුගිය දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී “රටම එකට” ජාතික මෙහෙයුම් සමාරම්භක උලෙළේදී මෙම ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරන ලද්දේ එම ජාතික මෙහෙවරේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි . සමාජයක් ජාතියක් ලෙස මෙම උවදුර අප රටෙන් තුරන් කිරීම සඳහා අප රටේ සෑම පුරවැසියෙකුගේම දායකත්වය මේ සඳහා හිමි විය යුතුවේ. ඒ සඳහා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමද ඉතාමත්ම වටිනා කාලෝචිත ක්‍රියාවකි. මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වූ දරුවන්ගේ මවුපියන්ට හෙළන දුක් කඳුළු සහ සුසුම් නිවාලන්නට මේ ගන්නා උත්සාහය වෙනුවෙන් අප සැමගේ දායකත්වය මෙලෙසින් පිරිනමමු.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?