Friday, February 6, 2026
Epaper
Home වෛද්‍යස්කොලියෝසිස් සැත්කමකින් තොරව සුව කළ හැකියි

ස්කොලියෝසිස් සැත්කමකින් තොරව සුව කළ හැකියි

by Shanaka Lakehouse

පාසල් යන වියේ දරුවකුගේ පිටුපස සමීපව නිරීක්ෂණය කරන විට, එක උරහිසක් මඳක් උස් වී ඇති බව හෝ ඉණේ එක් පැත්තක් කැපී පෙනෙන ලෙස වෙනස් වී ඇති බව ඔබට දැනෙන්නට පුළුවන. එය ඔබ පාසල් බෑගයේ බර නිසා ඇති වූ සුළු අපහසුතාවක් යැයි සිතා නොසලකා හැරිය හැකිය.

එහෙත්… ඒ අසාමාන්‍ය වක්‍රය, ඔබේ දරුවාගේ කශේරුකාව ‘C’ හෝ ‘S’ අකුරක හැඩයට වෙනස් වන බවට ලකුණක් විය හැකිය. එය සාමාන්‍ය පිටුපස වේදනාවකට වඩා වෙනස්, වඩාත් ගැඹුරු සැලකිලිමත් විය යුතු තත්ත්වයකි. නූතන බටහිර වෛද්‍ය විද්‍යාවේ ‘ස්කෝලියෝසිස්‘ ලෙස හඳුන්වන මේ තත්ත්වය සුව කර ගැනීම සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඇත්තේ කිනම් ප්‍රතිකාර ක්‍රමයක් ද? ඒ පිළිබඳ කතා කරන්නට කැලණිය විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය ළහිරු මදුරංග හමුවුණෙමු.

කොඳුඇටපෙළේ මේ නිහඬ විකෘතිතාව හඳුනාගෙන, ඒ සඳහා ආයුර්වේදයේ ඇති ප්‍රතිකාර මොනවාදැයි සොයා බලමු.

වෛද්‍යතුමනි, මොකද්ද මේ කොඳුඇට පෙළේ වක්‍රය, එහෙමත් නැත්තම් ස්කෝලියෝසිස් කියන්නේ?

ඇත්තටම ස්කෝලියෝසිස් කියන්නේ ලතින් වචනයක්. මෙහි තේරුම වන්නේ නැමුම (bend) කියන එක. මේක අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී පැති කුදය කියලත් හඳුන්වනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කියන්නේ කුබ්ජතාවය කියලා.

සාමාන්‍යයෙන් කෙළින් පිහිටිය යුතු කොඳුඇටපෙළ දෙපසට වක්‍ර වීම හෙවත් ඇද වීම ස්කෝලියෝසිස් විදිහට හඳුන්වනවා. මේ තත්ත්වය සාමාන්‍යයෙන් කොඳුඇටපෙළ ‘C’ හෝ ‘S’ හැඩයෙන් දැක ගන්න හැකි වෙනවා. එය බොහෝ විට ළමා වියේදී හෝ නව යොවුන් වියේදී ඇති වුවත්, වැඩිහිටි වියේදීත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් කාන්තා පාර්ශ්වයට මේ තත්ත්වය ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා. වැඩිවියට පත් වූ ගැහැනු දරුවන්ගේ අස්ථි, පේශි, වේගයෙන් වර්ධනය වීමත් සමඟ මෙවැනි තත්ත්වයන් ඔවුන්ට ඇතිවීමට පුළුවන්. නවීන වෛද්‍ය විද්‍යාවට අනුව හේතුවක් නොමැති බවට පැවසුවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ සඳහා හේතු පෙන්නලා දෙනවා මේ විදියට.

ආයුර්වේදයට අනුව ශරීරයේ සියලුම චලන සහ ව්‍යුහයන් පාලනය කරනු ලබන්නේ වාත දෝෂය මඟින්. වාත දෝෂය අස්ථි සහ මාංශ පේශි සම්බන්ධ ව්‍යුහාත්මක ගැටලු ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ වාත දෝෂය ප්‍රකෝප වීම සහ කප දෝෂය ක්ෂය වීම නිසයි. මේ හේතුවලට අමතරව ස්නායුවල සහ මාංශ පේශිවල ඇති වන ව්‍යාකූලතාවන් නිසාද, ජානමය සම්බන්ධතා නිසාද මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි එදිනෙදා කටයුතු සිදුකිරීමේදී ඇතිවෙන වැරදි ඉරියව් නිසාත් ද මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්.”

සාමාන්‍යයෙන් ස්කෝලියෝසිස් රෝග තත්ත්වයේ ලක්ෂණ මොනවාද?

“බොහෝ විට ස්කෝලියෝසිස් රෝග ලක්ෂණ මුලින්ම දැක ගන්න පුළුවන් වෙන්නෙ දරුවාගේ මවුපියන්ට හෝ ගුරුවරුන්ටයි. එහිදී උරහිස් අසමාන වීම එක් රෝගී ලක්ෂණයක්. සාමාන්‍යයෙන් එක් උරහිසක් අනෙකට වඩා ඉහළින් පිහිටීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම කල්ගත වීමත් සමඟ ඉණේ අසමානතාවක්, ඉණෙහි එක් පැත්තක් කැපී පෙනීම හෝ අසමාන වීමක් දැකගන්න පුළුවන්. තවත් ලක්ෂණයක් තමයි පිටුපස කශේරුකාවේ වක්‍රතාවය වෙනස් වීමේ ස්වභාවයක් දැක ගන්නට ලැබීම පිටුපසින් බලනවිට කශේරුකාවේ ‘C’ හෝ ‘S’ හැඩයට වක්‍රව වී ඇති ස්වභාවයක් දැක ගන්න ලැබෙනවා. ඒ වගේම රෝගී තත්ත්වය තිබෙන අයකු ඇවිදින ස්වාභාවයෙන්, අනෙකුත් ක්‍රියාකාරකම් සිදුකරන විටදීත් හොඳින් නිරීක්ෂණය කිරීමෙන් ද රෝගය හඳුනා ගැනීමට හැකියාවක් පවතිනවා.”

මේ තත්ත්වය නොසලකා හැරියොත් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් සංකූලතා මොනවාද?

මෙවැනි අයකුට එදිනෙදා වැඩකටයුතු සිදු කිරීමේදී යම් අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්. තෙහෙට්ටු බවක්, පපුව මැද ඇතිවෙන වේදනාවක්, ඇතැම් අවස්ථාවලදී හුස්ම ගැනීමේ අපහසුතාවක් වැනි තත්ත්වයන් ඇති විය හැකියි. ඒවගේම කොන්දේ වේදනාව, තද ගතිය හෝ හිරිවැටීමක් ඇති වීමත් මේ රෝගයේ තවත් රෝග ලක්ෂණයක්. ඒ වගේම මේ තත්ත්වය තිබෙන අයකුගේ බාහිර පෙනුම කෙටි කාලයක් තුළ විශාල වශයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා.”

මේ රෝගය නිසියාකාරවම හඳුනා ගැනීමට හැකියාවක් ඇති පරීක්ෂණයක් ගැන කතා කළොත්?

ඔව්. මේ රෝගය අපිට නිසියාකාරවම හඳුනා ගැනීමට මුළු කොන්දෙම X කිරණ ඡායාරූපයක් (full-spin) ලබා ගැනීමට සිද්ධ වෙනවා. ඒ මඟින් මේ රෝගය යම් අයකුට නිසියාකාරවම තිබේද නැද්ද යන්න පැහැදිලිවම හඳුනාගත හැකියි. ඊට අමතරව තවදුරටත් පරීක්ෂණ කරගැනීමට, MRI Scan ලබා ගැනීමට පුළුවන්. එමෙන්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ළඟට ගොස් වැඩිදුර පරීක්ෂණ තුළින් නිසියාකාරවම මේ තත්ත්වය හඳුනා ගන්න බැරිකමක් නැහැ.

මුල් අවස්ථාවේදීම හඳුනා ගත්තොත් ප්‍රතිකාර කිරීම පහසුයි.

මේ රෝගය සඳහා ලබා දෙන ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ගැන සඳහන් කළොත්?

“මේ රෝගය සුව කරන්න අපහසු වූවත් යම් කිසි කාලයක් ප්‍රතිකාර කිරීමෙන් පාලනය කර ගත හැකි රෝගයක්. මේ සඳහා සැලකිය යුතු කාලයක් ගත වෙනවා වගේම රෝගියාගෙනුත් අපිට විශේෂ සහායක් අවශ්‍ය වෙනවා. වෛද්‍යවරයා දෙන උපදෙස් අනිවාර්යයෙන්ම රෝගියා පිළිපදින්න ඕනි. බටහිර වෛද්‍ය විද්‍යාවේදීනම් සැත්කමක් මඟින් මේ සඳහා ප්‍රතිකාර කරනවා.නමුත් කිසිදු සැත්කමක් නොකර ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරහා විශේෂ ප්‍රතිකාර කරමින් මෙම රෝගි තත්ත්වය සුව කර ගැනීමට හැකියාවක් අද වන විට තියෙනවා. ඒ වගේම ස්කෝලියෝසිස් සඳහා සිදු කරන ආයුර්වේද ප්‍රතිකාර මඟින් මූලිකවම වාත දෝෂය සමනය කිරීම අරමුණ කොටගෙන අස්ථි සහ මාංස පේශි ශක්තිමත් කිරීම සහ වේදනාව අඩු කිරීම අරමුණු වෙනවා.

තෛල්‍ය අභ්‍යංග කිරීම් ශරීර ස්වභාවයට ගැළපෙන ඔසු තෙල් වර්ග යොදා ශරීරයේ කොන්ද ආශ්‍රිතව සම්බාහනය කිරීම සිදු කරනවා. මේ ක්‍රමය ඔස්සේ තද වී ඇති මාංස පේශි ලිහිල් කිරීමට, දුර්වල වී ඇති මාංස පේශි ශක්තිමත් කිරීමටත්, රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට සහ වේදනාව අඩු කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම රෝගියාගේ කොන්ද තවදුරටත් වෙනස් වීම වළක්වා ගැනීමට කෘත්‍රිමව නිර්මාණය කළ, මුළු කොන්දම ආවරණය වෙන්න ගාඩ් එකක් හදනවා. ඒකට අපි brace එකක් කියල තමයි කියන්නෙ. සාමාන්‍යයෙන් කොන්ද වෙනස් වීම වළක්වා ගන්න අපි මේ ක්‍රමය සිද්ධ කරනවා.

ඒ වගේම මේ රෝගය සුව කර ගැනීමට නිසියාකාරව නිවැරදි ඉරියව් භාවිත කරන්න ඕනී. ඒ සඳහා ඇතැම් විට යෝගා සහ ව්‍යායාම නිර්දේශ කරනවා. ඒ වගේම රෝගියා වාත දෝෂ වැඩි කරන ආහාර සීමා කළ යුතුයි. හොඳ විවේකයක්, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම සහ ආතතිය කළමනාකරණය කර ගත යුතුයි.

එනිසා මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් වහාම නිසි වෛද්‍ය උපකාර ලබාගැනීමටත් සැත්කමකින් තොරව නිසියාකාරව ක්‍රමයෙන් රෝගය සුව කර ගැනීමටත් ඔබ ළඟම සිටින රජයේ ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත යොමු වී ඔබගේ කොඳුඇටපෙළ පරීක්ෂා කර ආරක්ෂා කර ගැනීමට වගබලා ගන්න.

TEXT – සචිනි දිසානායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?