Monday, November 10, 2025
Epaper
Home මනෝ උපදේශනමනසට එල්ල වන නොපෙ‍ෙනන තර්ජනය

මනසට එල්ල වන නොපෙ‍ෙනන තර්ජනය

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10%ක් මානසික රෝගීන්

by Shanaka Lakehouse

බටපොළ, කහටපිටිය ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූ සිදුවීම මුළුමහත් සමාජයේම අවධානයට ලක් වූ සංවේදී ඛේදවාචකයකි . තම අවුරුදු තුනහමාරක් වයසැති දරුවාට පිහියෙන් ඇන මරා දමා පසුව තමා ද ගෙල වැළලාගෙන මිය ගිය විසි හතර හැවිරිදි තරුණ මවකගේ මෙම ඉරණම කිසිසේත්ම පුද්ගලික කාරණයක් ලෙසින් බැහැර කළ නොහැකිය. විදේශගතව සිට මාස කිහිපයකට පෙර මෙරටට පැමිණි ඇය අධි මානසික පීඩනයෙන් පෙළුණු බවට තොරතුරු අනාවරණය විය. එහෙත් මෙතරම් බරපතළ මානසික අර්බුදයක පැටලී සිටි තරුණියක් ගැන සොයා බලන්නට හෝ ඇයට අවශ්‍ය රැකවරණය ලබා දෙන්නට කිසිවකු නොසිටීම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදු වීම මුළුමහත් සමාජයේම වගකීම පැහැර හැරීමක් ලෙසින් දැකිය හැකිය.

සැබවින්ම මෙහිදී අහිමි වූයේ කිසිවක් නොදත් කුඩා අහිංසක ජීවිතයක් මෙන්ම, මානසික පීඩාවෙන් පෙළුණු මවකගේ වටිනා ජීවිතය වේ.

අපේ රටේ ජනගහනයෙන් සියයට දහයක් පමණ මානසික රෝගවලින් පෙළෙන බව හඳුනාගෙන ඇතත් ඉන් තිස් හත් දහසකට වැඩි පිරිසක් කිසිදු ප්‍රතිකාරයක් නොලබන බව වාර්තා වේ. මානසික රෝගවලින් පෙළෙන රෝගීන්ගෙන් සියයට විසි හතරක් වැනි සුළු ප්‍රතිශතයක් පමණක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ඉතිරි පිරිස මේ ආකාරයෙන් නිසි ප්‍රතිකාර යන්ත්‍රණයෙන් බැහැර වී හුදෙකලාව හා නිහඬව දුක් විඳිති.

විෂාදය, කාංසාව සහ පශ්චාත් කම්පන ආතති ආබාධ වැනි මානසික රෝගාබාධ අපේ සමාජයේ කාන්තාවන් අතර සුලබව දැකිය හැකි තත්ත්වයන් වන අතර පවුල් තුළ ඇතිවන ගැටලු, ආර්ථික පීඩාවන් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි කරුණු මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපායි. මෙවැනි රෝගී තත්ත්වයන් නිසි කලට හඳුනාගෙන ප්‍රතිකාර නොකිරීමේ භයානක ප්‍රතිඵලයක් ලෙස කහටපිටියේ ඛේදවාචකය අපට පෙන්වා දෙයි.

මෙම අවාසනාවන්ත තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මානසික රෝගයක් යනු සැඟවිය යුතු කැළැලක් ලෙස සමාජය විසින් සලකනු ලැබීමයි. මෙම සමාජමය ආකල්පය නිසා පීඩාවට පත් කාන්තාවක් තමාගේ ගැටලුව ප්‍රකාශ කිරීමට මැළි වන අතර එමගින් රෝගය තවදුරටත් උත්සන්න වී සියදිවි හානිකර ගැනීමට හෝ දරුවන්ට හානි කිරීමට තරම් භයානක තත්ත්වයකට පත්විය හැකිය. මවුවරුන්ගේ මානසික සෞඛ්‍යය මෙන්ම ළමයින්ගේ මානසික සෞඛ්‍යය ද මේ මොහොතේ අපගේ අවධානයට ලක් විය යුතුය.

දරුවන්ගේ අක්‍රමවත් හැසිරීම, සතුටින් සිටීමට ඇති නොහැකියාව, නින්දට යාමේ අපහසුතා, අධ්‍යාපන කටයුතුවල නිරත වීම අඩුවීම සහ තමාට හෝ අන් අයට හිංසා කිරීමට ඇති පෙළඹවීම ළමා විෂාද රෝග ලක්ෂණ විය හැකිය. මෙවැනි තත්ත්වයන් ඇති දරුවන් සිටින මවුවරුන්ට ද අධික පීඩනයක් දැනිය හැකි අතර දරුවාගේ රෝගය සහ මවගේ මානසික පීඩනය එකිනෙක බැඳී ඛේදජනක ප්‍රතිඵල ගෙන දිය හැකිය.

මෙවැනි ඛේදවාචකයන් වළක්වා ගැනීම සඳහා අපට උපකාර ලබා ගත හැකි ස්ථාන පිළිබඳව නිසි දැනුවත්භාවයක් තිබීම අත්‍යවශ්‍යය. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් ක්‍රියාත්මක කරන 1926 දුරකතන අංකය මෙන්ම 1333 උපදේශන සේවාව සහ ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දුරකතන සේවා පැය විසි හතර පුරා ක්‍රියාත්මක වන අතර ඒවායින් ඕනෑම අවදානම් තත්ත්වයක සිටින පුද්ගලයෙකුට ක්ෂණික සහයෝගයක් ලබා ගත හැකිය. එසේම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා ද මානසික ගැටලු ඇති අය හඳුනාගෙන ඔවුන්ව ප්‍රාදේශීය රෝහල්වල සහ විශේෂඥ වෛද්‍ය සායන වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් පවතී. ඕනෑම මානසික රෝගී තත්ත්වයක් වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කළ හැකි බව සමාජය විසින් වටහා ගත යුතු අතර මානසික පීඩාවෙන් පෙළෙන කාන්තාවන්ට උපදෙස් දීම වෙනුවට සවන් දීමට සහ ඔවුන් නිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අප පුරුදු විය යුතුය.

කහටපිටියේදී අහිමි වූ ඒ වටිනා ජීවිත දෙක අපට කියාපාන්නේ මානසික සෞඛ්‍යය යනු කිසිසේත් නොසලකා හැරිය යුතු දෙයක් නොවන බවයි. රජයේ වගකිවයුතු නිලධාරීන් මෙන්ම සමස්ත සමාජය ද මෙම ඛේදවාචකයෙන් පාඩම් උගෙන, නිහඬව දුක් විඳින මවුවරුන් සහ ළමුන් වෙනුවෙන් හඬක් නැඟීමට සහ සහයෝගය ලබා දීමට කටයුතු කළ යුතුය. අපට අහිමි වූ ජීවිත යළි ලබා ගත නොහැකි වුවද, අපගේ සමාජයේ තවත් ජීවිත මේ ආකාරයෙන් අකාලයේ අහිමි වීම වැළැක්වීමේ වගකීම අප සියලු දෙනා සතුය.

මානසික සෞඛ්‍ය උපකාර සඳහා තවත් වැදගත් සබඳතා

ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව (1926) ට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන තවත් වැදගත් උපකාරක සේවා සහ ආයතන කිහිපයක් මෙසේය.

CCC පදනම (Foundation) – උපදේශන සේවාව (Metal Health Support)

දුරකතන අංකය 1333

මෙය පැය 24 පුරා ක්‍රියාත්මක වන උපදේශන සේවාවක් වන අතර ඕනෑම මානසික පීඩනයකදී හෝ හදිසි අවශ්‍යතාවකදී ඇමතීමේ හැකියාව ඇත.

මෙය කායික හා මානසික ගැටලු සම්බන්ධයෙන් ඉතා රහසිගත උපදෙස් සහ සහයෝගය සපයන අතර බොහෝ විට සියදිවි නසාගැනීමේ සිතිවිලි ඇති පුද්ගලයන්ට ක්ෂණික මැදිහත්වීමක් ලබා දෙයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (National Child Protection Authority – NCPA)

දුරකතන අංකය 1929

ළමා අපචාර, හිංසනය හෝ ඕනෑම ආකාරයකට දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන තත්ත්වයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සහ දුරකතනය ඔස්සේ උපදේශනය ලබා දීම.

ශ්‍රී ලංකා ළමා සංවර්ධන ආයතනය (Child Development Institute of Sri Lanka)

දුරකතන අංකය 0117 490 000

දරුවන්ගේ සහ නව යෞවනයන්ගේ මනෝ වික්ෂිප්තභාවය සහ අනෙකුත් සංවර්ධන හා මානසික ගැටලු සම්බන්ධයෙන් උපදේශන සපයයි.

දරුවන්ට සහ මවුපියන්ට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට අවශ්‍ය මූලික උපදේශන සහ මග පෙන්වීම ලබා දෙයි.

උපකාරක සේවාවල වැදගත්කම

මෙම උපකාරක සේවාවන්වල ප්‍රධාන අරමුණ වන්නේ මානසික පීඩාවට පත් පුද්ගලයාට ක්ෂණිකව සහ රහසිගතව සවන් දීම සහ උපදේශන ලබා දීමයි. සියදිවි නසා ගැනීමට පෙ‍ෙළඹෙන පුද්ගලයෙකුට හෝ අධික මානසික පීඩාවකින් පෙළෙන මවකට තම ගැටලුව කතා කිරීමට කෙනෙකු සිටීම ම ජීවිතය බේරා ගැනීමට හැකි පළමු පියවරයි.

මෙවැනි ඛේදවාචකයන් වළක්වා ගැනීමට නම් මෙම උපකාරක අංක පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සමාජය තුළ සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. පවුලේ හෝ සමාජයේ යම් කෙනෙකු මානසික පීඩාවකින් පෙළෙන බව හඳුනා ගතහොත් ඔවුන් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන සඳහා යොමු කිරීමට අපගේ සමාජය පුරුදු විය යුතුය.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?