Monday, November 10, 2025
Epaper
Home Beautyප්‍රවීණයන්ගෙන් ආධුනික දක්ෂ දරුවන්ට කදිම අවස්ථාවක්

ප්‍රවීණයන්ගෙන් ආධුනික දක්ෂ දරුවන්ට කදිම අවස්ථාවක්

16 වැනිදා ලිය අභිමානී සමඟ එක්වන්න ඔබත් එන්න කිරිබත්ගොඩට

by Shanaka Lakehouse

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් විසින් සිදු කරන ලද වැඩමුළු කලකට ඉහත තරමක් සුලබ විය. නමුත් අද වන විට ඒවා විරල වී ඇත. එවැනි අවස්ථාවක දී නොමිලේ රූපලාවණ්‍ය ඉගෙනීමේ අවස්ථාව සලසා දෙමින් වටිනා දවසක් ගත කළ හැකියි. මේ ලංකා කුමාරි ඒ පිළිබඳ පවසන කතාවයි..

ලිය අභිමානී වසර 10කට පමණ පෙර ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී කුසුම්සිරි ජයවීර සමඟින් මම ආරම්භ කළ වැඩසටහනක්. අපි දෙදෙනා වැඩසටහන් 69ක් පමණ සිදු කළා. 70 වැනි වැඩසටහන කරන්න සූදානමින් ඉන්න වෙලාවේ තමයි ඔහුට ජීවිතයෙන් සමුගන්න සිදු වුණේ. ඉන් පසුව කොරෝනා වසංගත තත්ත්වය වගේම රටේ තිබුණ අර්බුදකාරී තත්ත්වයන් එක්ක එය පැවැත්වීමට හැකියාවක් තිබුණේ නැහැ.

ඉන්පසුව තවත් රූපලාවණ්‍ය ශිල්පිනීන් කිහිප දෙනකු එකතු කරගෙන 2023 දෙසැම්බර් මාසයේ දී පැවැත්වුවා. ඒ අතරේ ලිය අභිමානී අවුරුදු කුමර කුමරියෝ ලෙස වැඩසටහනක් කළා. එයට පැමිණි දරුවන් අද වන විට නිරූපණ ක්ෂේත්‍රයේ, රංගන ක්ෂේත්‍රයේ තම දක්ෂතා පෙන්වමින් සිටිනවා. අපි එම වැඩසටහනේ දී ඔවුන්ට නිරූපණය ගැන වගේම නර්තනය ගැන පුහුණුවක් ලබා දීම නිසා මෙන්ම මෙම වැඩසටහනින් ලබා ගත් පන්නරය ඔවුන්ට එය තමාගේ ඉදිරි ගමනට රුකුලක් වූ බව කියන්න පුළුවන්.

ලිය අභිමානී නවතම මුහුණුවරකින් නැවතත් නොවැම්බර් 16 වැනිදා ආරම්භ කරනවා. රූපලාවණ්‍ය ශිල්පීන් එකතුව සිදු කිරීමට හේතුව වුණේ, අපි යම් පළාතකට යනවා නම් එම පළාතේ සිටින ආධුනික දක්ෂ දරුවන්ටත්, ප්‍රවීණයන්ටත් අවස්ථාවක් ලබා දී අපිත් සමඟ අත්වැල් බැඳගෙන යාමට හැකියාව ලැබෙන නිසයි. එයට හොඳම උදාහරණය වන්නේ ලංකාවේ සිටින දක්ෂතම රූපලාවණ්‍ය ශිල්පීන් වන ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින රූපලාවණ්‍ය ශිල්පීන් තිදෙනෙක් අපිත් සමඟින් එකතු වෙනවා.

සමන්ත ප්‍රනාන්දු

සමන්ත ප්‍රනාන්දු

නම කියූ පමණින්ම ඔබ හඳුනන සමන්ත ගුණසේකර, ජොනී ගුණසේකර, සමන්ත ප්‍රනාන්දු යන මේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් කිහිපදෙනා තම දැනුම නිර්ලෝභීව ලිය අභිමානී වැඩසටහනේදී ලබා දීමට සූදානම්. මොවුන් දක්ෂ, ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන්. අපි සියලු දෙනා එකතු වෙලා, මෙවර ලිය අභිමානී වැඩමුළුව වෙනස්ම ආකාරයෙන් පවත්වන්න සුදානම් වෙනවා.

306 D4 දිස්ත්‍රික්කයේ හිටපු සිංහාධිපති මේ වැඩමුළුවට පැමිණෙන රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට අවශ්‍ය ආර්ථික අපහසුතා ඇති අයට ඉගෙනීමට අවශ්‍ය මුදල් ණයක් ලෙස ලබා දීමට කටයුතු කරනවා. නමුත් මේ ණය සඳහා කිසිදු පොලියක් අයකර නොගැනීම විශේෂත්වයක්. පළමුවෙන් රුපියල් 40,000ක්, දෙවනුව රුපියල් 60,000ක්, තෙවැනි වශයෙන් රුපියල් 100,000ක් ලෙස මුදල් ලබා දෙනවා. සිංහ දහම ලිය අභිමානී සමඟ අත්වැල් බැඳගෙන සිදුකරන මේ කර්තව්‍යය වෙනුවෙන් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මම මේ ගෙවන්නේ රූපලාවණ්‍ය දිවියේ 25 වැනි වසරයි. රූපලාවණ්‍ය විෂයට අපි ගොඩක් ආදරය කළා.

අද දරුවො අපි තරම් තමා කරන දේ වෙනුවෙන් කැප වෙන්න අකැමැතියි. මුල් කාලේ මගේ ළඟ හිටිය ළමයි අද හොඳ තැන්වල ඉන්නවා. කිරිබත්ගොඩ නගරයේම මගේ සිසුවියන් හතර පස් දෙනෙක් ඉතාමත් හොඳ තත්ත්වයේ සැලෝන්වල හිමිකරුවන්. හැම නගරයකම වගේ මගේ සිසුන් ඉන්නවා. ඔවුන් ඒ කාලේ ඉතාමත් කැපවීමෙන් ඉගෙනීම් කටයුතු වගේම පුහුණුවීම් කටයුතුත් සිදු කළා.

අපිත් ඒ කාලේ මාසයකට වෙඩින් 20-25ක් කරන කාලෙ නිසා ඉතාමත් කාර්යබහුලයි. මාත් එක්කම ඒ දරුවනුත් දවල් රෑ නැතුව ඉතාමත් මහන්සියෙන් වැඩ කළා. ළමයින් 5-6ක් විතර සැලොන් එකේම නැවතිලා හිටියේ. මේ විදිහට ළමයි 100ක් විතර කාලෙන් කාලෙට මගේ ළඟ නැවතිලා හිටියා. නමුත් ඒ කැපවීම දැන් ශිෂ්‍යයන්ගේ නැහැ. ඔවුන් හිතන්නේ අපි මෙයාලට සල්ලි හොයලා දෙනවා. අපිට මීට, වඩා ලැබෙන්න ඕනේ කියන මානසිකත්වයෙන්.

ලබන පුහුණුව මිල කරන්න බෑ. නමුත් නොමිලේ ලැබෙන පුහුණුව ගැන ඔවුන් හිතන්නේ නැහැ. වෙනත් විෂයකට වඩා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දී වැඩි කාලයක් ලබා ගන්නා පුහුණුව මිල කරන්න බැහැ. එයින් තමයි පරිපූර්ණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් බිහි වෙන්නේ.

අවුරුදු 5-10 පවා පුහුණුව ලබපු දරුවො හිටියා. මම සැලෝන් එක කලින් වහන්න කියලා තිබුණත් සමහර ගනුදෙනුකරුවන් ආපසු හරවා යවන්නෙ නැතිව තමන්ගේ නිවාඩු වෙලාව කැප කරමින් ඔවුන් වැඩ කරලා තිබුණා. මේ එදා සහ අද සිසුන්ගේ වෙනස්කම්. හැබැයි දක්ෂ දරුවන් නැතිව නෙවෙයි. සමහර දරුවන් ඉන්නවා ඉතාමත් දක්ෂයි. මම ඔවුන්ගේ නරක විවේචනය කරනවා වගේම හොඳ අගයන්නත් ඕනේ. ඒ වගේම ඉතාමත් ඉක්මනින් යමක් වටහා ගැනීමටත් ඔවුන්ට හැකියාව තිබෙනවා.

මේ සමහර විට පරම්පරා අතර වෙනස වෙන්නත් පුළුවන්. ඒත් අපිට කොයිතරම් දක්ෂ වුණත් ගමනක් යන්න නම් නිහතමානී බව ගොඩක් වටිනවා. අපි අද මේ තත්ත්වයෙන් ඉන්නේ ඒ නිසයි. මම අද ඉන්න දරුවන්ට කියන්නෙත් හොඳින් ඉගෙන ගන්න. කැප කිරීම් කරන්න. ඒ වගේම නිහතමානී වෙන්න. ඒ වගේ කෙනෙක්ගේ ගමන නවත්වන්න කාටවත් බෑ. ඒ වගේම හැමදාමත් ක්ෂේත්‍රයේ ඉහළින් රැඳී ඉන්නත් පුළුවන්. ඉතිං මෙවර නොමිලයේ පැවැත්වෙන ලිය අභිමානී වැඩමුළුවට ඔබත් පැමිණ අප හා එක්වන ලෙසින් ආරාධනා කරනවා.

TEXT – අයන්ති උඩුගම්පල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?