Monday, November 17, 2025
Epaper
Home කවි හිමිදිරියහිිමිදිරිය

හිිමිදිරිය

කවි හිත් හමුවන තැන

by Shanaka Lakehouse

ආරාධිත කවිය

නිසල පොකුණේ දියරැලි…

ගල්කැටයක් ගෙන
පොකුණකට
දමා ගැසුවෙමි
එසැණ
ජලතල මත
රැලි විහිදෙමින්
ඇරඹුණු
කැලතීම
නවතන්නට
නොහැකි වී
පොකුණ
නිසල වන තෙක්
බලා සිටියෙමි.

කුමාර ලියනගේ

**********************************************

ලස්සන කොල්ලෙක්

පිරුණු රන්වන් උරහිස
නොරැඳුණොත් සඳක් ළඟ
තාරකාවියන් අතින් අත
රැගෙන යාවී ඒ රුව

අකීකරු දෑස් යුග
සැඟවුණොත් පිනි මලක
හසඟනාවියන් තුඩින් තුඩ
බොඳ කරාවී ඒ නෙත

තුරුලට ගෙන සිහිනයක
ආඩම්බර ඒ රූපය
විසි කර දමමි සුළඟට
සුළඟ මගේ කවිය

සුධර්මා සමරසේකර

**********************************************

හොඳම කවිය

හිලව්වට මුතුකඳුළු රන් මුදුව

අස්ථානගත වුණා
සුදු යකඩ මුදුවක් පැලඳි
සුළැඟිල්ලක්

ගසා‍ෙගනවත් ගියාද
හැමූ සැඩ සුළඟක
දිරාපත් වුණාවත්ද
බිම වැටුණු
කොළ රොඩු ගොඩක

නැතිනම්…
ගුළිවුණා වත්ද
කාගෙ හෝ අතැඟිලි අතර

දිටී නම් කවුරුන් හෝ
වැස්සට පෙරම ඉගිළෙන
ළිහිණි කුරුල්ලකු අත
එවනවාද…

මම ඉන්නම්
සමනල කන්ද පාමුල
කළු ගං මිටියාවතේ
අතැතිව හිලව්වට දෙන්න
මුතු කඳුළකින් හැඩවූ
රත්තරන් මුදුවක්

පවිත්‍රා සෙව්වන්දි උඩුවර ආරච්චි

ප්‍රේමය ප්‍රස්තුත කරගෙන නිර්මාණය කරන ලද කවි ගී දහස් ගණනක් ඇත. ඒ අතරින් බහුතරයක් ඇත්තේ ප්‍රේමයේ විප්‍රයෝගය පාදක කරගත් නිර්මාණයන්ය.

පවිත්‍රා සෙව්වන්දි කිවිඳියගේ ‘ හිලව්වට මුතු කඳුළු රන් මුදුව’ කාව්‍ය නිර්මාණය ද එවැන්නකි. එම කවිය මේ සතියේ හොඳම කවිය ලෙස තෝරා ගත්තෙමි.
කවියක් සාර්ථක වීමට නම් භාවිත කළ යුත්තේ රූපකාර්ථවත් වූ භාෂාවකි. කාව්‍යෝචිත වූ භාෂාවකි.
පවිත්‍රා සෙව්වන්දිගේ කවියේ ‘සුදු යකඩ මුදුව’ සේම ‘රන් මුදුව’ ද කාව්‍යෝචිත වූ සංකේතයන්ය. ඇය රූපකාර්ථවත් වූ භාෂාවක් පරිහරණය කරයි. ‘වැස්සට පෙරම ඉගිළෙන, ළිහිණි කුරුල්ලකු අත එවනවා ද’
සේම ‘මුතු කඳුළකින් හැඩ වූ රත්තරන් මුදුවක්’
නිදසුන් ලෙස දැක්විය හැකිය.

**********************************************

ගිමන් නිවමු අපි

ගිම්හානෙක දැවුණු පැතුම් ..
මඳ සුළඟින් යළි පණ නැඟෙනා…
හිතමිතුරු ඒ වසත් සමයයි
නීල වර්ණ පෙම් වැහි වහිනා….
දිගු වුවත් මේ ගෙවන රෑ යම
හෙට පෙනේ නෙක මල් පිපෙනා…
බලන් සඳ කැන් රශ්මි අතරින්
වැටෙන පිනි බිඳු නොම සැලිලා..
ගිමන් නිවමු අපි අරුණ වැටෙන තුරු
සහස් පැතුම් රැස පොදි බැඳලා…

ටී.ඒ. දිල්ක රවිහාර

**********************************************

පින් සිතුවම් හරි අඩු නොවැ

පිබිදුණු ඇසිල්ලෙහිම
සිත පුරා දුවන සිතිවිලිය
මඟහැරුණු වගකීම්
දුදනන් හා කෙරෙන ගනුදෙනු
මුහුණු පොත ටෙලිවිෂන් මවාලූ
පුවත් රැස
නේකවිධ සිතුම්
සිතුවම් පටයක් සරිව
නින්ද සහ නොනින්ද
අතර සරන
යාමයේ මැවී මැකී යයි
ජීවන වාහනය දිනෙක
ඉන්ධන විරහිතව මගෙක
නැවතී යන දිනෙක අහෝ
මෙබඳුම සිතුවම් පට මැවේලු
මීළඟ භවයට නික්මෙන මාවත ඉන් හෙළි කෙරෙයිලු
පින් සිතුවම් හරි අඩු නොවැ
පින් සිතුවම් හරි අඩු නොවැ

පැතුම් බුද්ධික ලියනගේ

**********************************************

අයිස් ක්‍රීම්

නංවා බයිසිකල් පිට මත
හිම කිරණ විකුණනා වෙළෙන්දෙක්
රෝස පාට
කහ පාට
කොළ පාට..
දිවෙයි දිව අග සැනින් රස වෙත
බිඳින් බිඳ සේදීයයි
නෙක පැහැ හිම කන්ද
මටත් මතක එක් අතීතයක
නුඹ උන්නෙත් ඔය වාගෙම
උසම උස තේක්ක ගසක් යට
පැමිණෙනා තුරු
හිම කන්දෙන් බිඳක් ගෙන මම…

ජගත් ප්‍රසන්න කුරුගම

**********************************************

වැඩිහිටිකම

සිටියා වැඩි කෙනකු වෙද හේ වැඩිහිටිය
පදරුත දොස ඇත ද උවහස දෙන සැටිය
ආ මග දිගුය යාමට ඇති මඟ කෙටි ය
හේ දඬුවකිය දෙලොවට බැඳි සැරයටිය

බොඳ ඇස විය විදැස නුදුටුව ලොව දකින
සවනත වැසිණ දොස දෙන බස මඟ හැරින
ගරු සරු විඳගනුව ඉහ නිකටද පැහින
සැපෙකැයි සිතමි වැඩිහිටි කම අප ලබන

හිස නරකෙසට රිදවා සිත වනට වැද
නොගි⁣යෙමි තපස විඳගමි දුක ගෙතුළ ඉඳ
උගතිමි දහම දිවි නිම වන මොහොතෙ හිඳ
දකිනෙමි නිවන සුතනඹු මුනුපුරු වැලඳ

එදවස නැඟුණු පැන මහමෙර ලෙස දැනුණු
අද අබ ඇටක පමණටවත් ගත නොහුණු
සිතිවිලිවලට නොගැතිව රළ ලෙස නැඟුණු
බල බිඳ නිසල වනයුර සිහියට නඟනු

හප්පාවන රත්නසිරි වලවෙගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?