Monday, November 17, 2025
Epaper
Home නවකතාවඑයා බැඳපු මිනිහෙක්

එයා බැඳපු මිනිහෙක්

by Shanaka Lakehouse

අප ආදරය කරන්නේ අප ඉදිරිපිට අප විසින්ම මවා ගන්නා ලද ප්‍රතිරූපයකටයි. අප ආදරය කරන අය අපට ද එලෙසම ආදරය කරන බව සිතීම මුළාවක් නොවේද? පිටතට නොපෙනෙන අනෙකාගේ සිතැඟි අප වටහා ගන්නේ ඔහුගේ හෝ ඇයගේ හැසිරීම්වලිනි. එහෙත් පහසුවෙන් වටහා ගන්නට නොහැකි තරම් කෙනකුගේ හැසිරීම් වෙනස්වන විට ආදරයෙන් බැඳී සිටින සමීපතමයන් තුළ එය කොතරම් වේදනාවක් ජනිත කරන්නේ ද?

සෙනසුරාදාවකි. උදෑසන යෙදී තිබුණු හමුවීමක් පෙරදා හැන්දෑවේම අවලංගු වී තිබුණු බැවින් අසෙනි විවේකයෙනි. පැන්ට්‍රියත් කෑම මේසයත් අතර දිවානයෙහි ඈ දිගාව හිඳියි. රෝස පැහැති කලිසම් කෙටියත්, වැල් ඇඳී දුහුල් වූ සනීප ටී ශර්ටයත් ඈ ගෙදර හිඳින විට නිල ඇඳුමයි. අම්මා කොස් මදුළු ඇටයෙන් ගලවා, කොස් ඉරි ඉවත් කර කිරිකොස් මාළුවක් උයන්නට සූදානම් කරයි.

අසෙනි දවල් කෑමට ගෙදර නවතින දවස්වලදී අම්මා කෙසේ හෝ කොස් ගෙඩියක් සොයා ගනියි. අසෙනි කිරි කොස් කෑමටත්, තම්බා හෝ මැල්ලුම් සාදා කෑමටත් ප්‍රියයි. කොස් තැම්බූ දවසට ඈ බත් නොකයි. කිරි හොද්දක් ද පොල් සම්බෝලයක් ද සමඟ කාරල්ලන් බැදුම ද ඇගේ මනදොළ වඩයි. එහෙත් අසෙනි වෙනදාට නම් අම්මාට කොස් ගලවා සුද්ද කිරීමට මෙන්ම කොස් ඇට තළා පොතු ඇර සුද්ද කර දීමටත් උදවු වෙයි. ඒ අතර කොස් මදුළක දෙකක ද රස බලයි.

” අමු කොස් කාලා බඩේ අමාරු හදා ගනින්කො..” අම්මාගේ ඒ වචන අසෙනි කුඩා කල පටන් කී වරක් නම් අසා ඇද්ද? ඒත් තවමත් ඈ මදුළු ගලවා සුද්ද කරන අතර කොස් කයි. අම්මා ඒ වචනම ආයෙ ආයෙමත් කියයි.

අසෙනි අද කොස් මදුළක් හෝ කෑමට අම්මා අසලට නොඑයි. ඈ දිවානයෙහි වැතිර බර කල්පනාවක ගිලෙයි. වෙනදා මෙන් ජංගමයේ ඉහළ පහළ යාම පවා නුරුස්සයි. වෙනදා ගේ පුරා ඇසෙන සේ වාදනය වන මිහිරි මියැසි නාදය ද ගොළුයි. ඈ හිස් බැල්මෙන් යුතුව කවුළුවෙන් එපිට අහස් අනන්තය දෙස ඇස් රඳවා ගෙන හිඳියි.

මොන දේ සිදු වුවද හැම මොහොතක්ම තමා තුළ ප්‍රීතිය රඳවාගෙන සිටි අසෙනිගේ මුහුණ අඳුරු වී විඩාබරව ද කල්පනාබරව ද තිබෙයි.

අසෙනිගේ වෙනස අම්මාට ද දැනෙයි. ඒ ගැන ඇගෙන් අහන්නේ කෙසේ දැයි අම්මා සිතයි. කිරිල්ලියක සේ සැහැල්ලුවෙන් සිටි දියණියගේ වෙනස් වීම අම්මාට ද ප්‍රහේලිකාවකි. අසෙනිගේ පෙම් බැඳුම් ලිහී විසිරී ගිය එක් වකවානුවක ඇගේ හිත හදන්නට යෙහෙළියක සේ ඈ ළඟින්ම සිටි අයුරු අම්මාට මතකයි. ඒ දවස්වල අසෙනි වැඩ ඇරී ආ විගස අම්මා සමඟ කැලණි පන්සල් ගොස් මහ රෑ වන තුරු බෝධිය අසල වාඩි වී කවර හෝ හිතේ සැනසීමක් පැතූ අයුරු මතක් වෙයි. පසුව ටිකෙන් ටික ඈ සහනශීලී සිතින් තම දෛනික කටයුතු කිරීමට හුරු වූ අයුරුත්, පසුව නොයෙක් විවාහ යෝජනා ඇය වෙත ඉදිරිපත් වුවත් ඒ සියල්ලක්ම සරදම් සිතින් ප්‍රතික්ෂේප කළ අයුරුත් අම්මාට සිහි වෙයි. මේ සියල්ලෙන් පසු මෑත භාගයේ දී ඈ නිගූ නිසා අප්‍රමාණ සතුටින් පසු වන බව ඈ දනියි. එහෙත් හිටි හැටියේ ඇගේ අඳුරු මුහුණින් පිළිබිඹු වන්නේ කවර විපර්යාසයක්දැයි මව සිතයි.

අසෙනි නිගූ සමඟ පැවැත් වූ ඇසුර කාලයෙන් කාලයට වෙනස් ස්වරූපවලට පරිවර්තනය වූ අයුරු අසෙනිගේ අම්මා දැක තිබෙයි. හොරණ ශ්‍රීපාලියෙහි සිටි කාලය තුළ නිගූ නේත්‍ර ද සිල්වා නම් කථිකාචාර්යවරයකු දේශන පැවැත්වීමට එන බවත් ඔහු ඇඳ පැලඳගෙන එන අමුතු ඇඳුම් විලාසිතාව ගැනත් නිතර ඔහු උර රැඳි අමුතු රෙදි මල්ල ගැනත් ඔහු මුහුණත අතේ ඇතුළු පැත්තට වන සේ පලඳින ලෙදර් පටි ඔරලෝසු ගැනත් අම්මා අසෙනිගෙන් ඕනෑ තරම් අසා තිබෙයි. අසෙනි තිසර මීඩියා නෙට්වර්ක් හි වැඩ කරන්නට පටන් ගත් කාර්යබහුල සමයේ අම්මාට ඈ සමඟ නිදහසේ කතා කරන්නට ඉඩක් නොලැබෙයි.

පසු දවසක අසෙනි ඉයර් ෆෝන් ගසාගෙන දිවානයෙහි දිගා වී තේ බොමින් යමක් අසමින් සිටින බව අම්මා දැන ගන්නේ තමා ඇගෙන් ඇසූ කිසිවකට ඈ උත්තර නොදී සිටීම නිසයි. අම්මාට අවධානය නොදීම ගැන කනස්සල්ල ඈ පිට කරන්නේ එක් කන් ඇබයක් ගලවා අම්මාගේ කනේ ගසා තමා අසමින් සිටින්නේ කුමක්දැයි අසන්නට සැලැස්වීමෙනි.

” අම්මේ මේ අහන්නකෝ… මේ නිගූ සර්ගෙ ප්‍රෝග්‍රෑම් එකක්.. මං ආසයි එයාගේ කතා අහන්න.. ”

අම්මා ද ටික වේලාවක් නිගූ නේත්‍ර ද සිල්වා ගීතයක් විචාරය කරමින් යුග දිවිය පිළිබඳ මොන මොනව දෝ පණ්ඩිත දේවල් වගයක් කියූ අයුරු අසා කන් ඇබය ගලවා ආපසු අසෙනිට දෙයි.

ඉනුත් කලකට පසු, දිනක් වෙනත් හදිසි ගමනක් යන අතරතුර යැයි පවසා නිගූ ගෙදරට ගොඩ වී ගිය අයුරු අසෙනිගේ අම්මාට මතකයි. එදා නිගූව සාලයේ වාඩි කරවාගෙන කතාබහේ ඉද්දී තේ හදන්නට සීනි ඉවර බව දැනගෙන තාත්තා පස්සා දොරෙන්ම කඩේ යැවූ අයුරු අමතක නොවෙයි. අසෙනිට යෝජනා කොට ගෙන්වූ මනමාල තරුණයන්ට නැති වෙනත් මොකක්දෝ ආකර්ෂණයක් ඔහු තුළ ඇති බව අම්මාට ද වැටහී ගොස් තිබෙයි. එහෙත් ඒ කුමක්දැයි සංසන්දනාත්මකව බලා විමසා කීමට නොහැකි වෙයි. එහෙත් ඈ එදා පිටව ගිය පසු “ඔව් එයා අමුතු ලස්සනක් තියෙන මනුස්සයෙක් තමා” යනුවෙන් අම්මා කියන විට අසෙනිගේ ඇතුළතින් ද සිහින් විදුලියක් කෙටෙයි. “ඒත් එයා බැඳපු මිනිහෙක්” යැයි කියන්නට දිව අගටම වචන තෙරපී පැමිණ ඇතත් අසෙනි කිසිවක් නොකියයි.

නිගූ ගැන කිසිවක් අසෙනිලාගේ ගෙදර නොකියවෙන දීර්ඝ කාලයක් ගෙවෙයි. ඒ කාලය පුරා හැම සති අන්තයකම වාගේ අසෙනි බැලීමට නොයෙක් තරාතිරමේ තරුණ මනමාලයන් ද යෝජනා ප්‍රකාරව පැමිණෙයි. සුපුරුදු ලෙස ඒ සෑම යෝජනාවක්ම අසෙනි ප්‍රතික්ෂේප කරයි. ඒ ගැන අම්මාටත්, තාත්තාටත් කොයි දේටත් ඉන්න පවුලේ එකා වන ලොක්කයියාටත් ඇත්තේ අසෙනි සමඟ තරහකි. ලොක්කයියාම කතා කොට හඳුන්වා දුන් සමහර තරුණයකුගේ ඇදකුද කියන අසෙනි ගැන තරහින් ලොක්කයියා මාසයක් හමාරක් අසෙනිලාගේ ගෙවල් පැත්ත පළාතේ නෑවිත් සිටියි.

තම දියණිය කැමැති වන්නේ මොන ජාතියේ පිරිමියකුටදැයි අසෙනිගේ අම්මා පසුව වටහා ගනියි. ඒ නිසාම ඈ අසෙනිට තවදුරටත් මංගල යෝජනා නොසෙවීමට තීරණය කරයි.

තවත් කොටසකින් හමුවෙමු

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?