මේ කතාව මගේ ශිෂ්යාවකගේය. ඇය දක්ෂ ශිෂ්‍යාවකි. පන්තියේ සිටි රූමත්ම ශිෂ්‍යාවයි. පළමු පෙළ සාමාර්ථයක් ලැබුවා. ඇයට යෝජනාවකින් වුවද ඉතා ධනවත් උගත් පෙනුමැති තරුණයකු සමඟ විවාහ වීමට ඕනෑතරම් ඉඩ කඩ තිබිණි. ඉතා හොඳ පවුල් පසුබිමකින් යුක්ත වූ ඇයගේ මවුපියන් ද ගුරුවරුය.
ඇය ද ගුරු පත්වීමක් ලබාගෙන කොළඹ උසස් බාලිකා පාසලක උගන්වන බව නොබෝ දිෙනකින් මට ආරංචි විය. ඒ සමඟම වාගේ ඇගේ ලස්සන මංගල ඡායාරූප මුහුණු පොතෙහි හුවමාරු වනු දුටිමි. තරුණයා ඇයට යස අපූරුවට ගැළපෙන තරම් ලස්සනය. මම හිතින් සතුටු වූවෙමි. ටික දිනකින් ඇය දරුවකු ලැබෙන්නට සූදානම් බව ද සැලවිය.
තවත් ටික දිනෙකින් මෙම ශිෂ්‍යාව මා අමතා කියන්නට කතාවක් ඇති බවත් මගේ උපදෙස් අවශ්‍ය බවත් පැවසුවාය. මම ඇයට මගේ විශ්වවිද්‍යාලයේ කාමරයට පැමිණෙන ලෙස දැන්වූයෙමි.අවාසනාවක මහත. ඇගේ සැමියා මත්කුඩුවලට ඇබ්බැහි වූ අයෙක්ලු.
“බැන්දට පස්සෙ ද?”
“නැහැ. ඊට කලින් ඉඳන්”
“ඔයා නොදැනද බැන්දෙ”
“දැනන් හිටියා. හදාගන්න පුළුවන් වෙයි කියලා හිතුවා.”
දැන් ඇගේ ලස්සන ජීවිතය වැටී තිබුණේ අඳුරු අගාධයකටය. මඟුල් මුද්ද පවා උකස් කරමින් ඔහු මත් කුඩු සොයා යයි. දිනෙන් දින දිරාපත් වෙයි. පුනරුත්ථාපන මධ්‍යස්ථානවල මාසයක්, දෙකක්, තුනක් ගතකර පැමිණෙන ඔහු නැවත කුඩු සොයා යයි.
ඒ අතර ඔවුන්ට දරුවකු ද ලැබිණි.
දැන් ප්‍රශ්න උග්රය.
මෙතරම් උගත් තරුණියක් මෙවැනි මෝඩ තීරණයක් ගත්තේ ඇයි දැයි මට සිතා ගත නොහැකි විය. ආදරය කරන කාලවල ගැහැනු ළමයි සිතන්නේ අපට පිරිමි හදා ගත හැකි බවත්, විවාහයෙන් පසුව ඔවුන් ලෙහෙසියෙන් නිවැරදි මාවතට ගත හැකි බවත්ය. එහෙත් එය යථාර්ථවාදී නොවන රෝමාන්තික අදහස් මාලාවකි.
විවාහයට පෙර මත්ද්‍රව්‍ය, මත්කුඩුවලට ඇබ්බැහි වූවන් විවාහයෙන් පසුව හිතා මතා හැදෙන්නේ නැත. මන්ද එය ශාරීරික ඇබ්බැහියක් බවට පත්ව ඇති නිසාය. ඔවුන්ට එය අවශ්‍යය. එම නිසා කිසිදාක හදාගන්නට සිතා විවාහ වීම අතිශය මෝඩකමක් වන්නා සේම එය තමාගේද නූපන් දරුවන්ගේද ජීවිත විනාශයට ඇද දැමීමකි.
මේ විවාහයෙන් කිසිදා යහපතක් නොවන බව ඇය ද අවබෝධ කරගෙන සිටි නමුදු ඇගේ ආදරය නිසාවෙන් ඔහු තනිකර දමා යෑම ඇයට අසීරු වූවාය. එහෙත් බුද්ධිමත් තීරණය වන්නේ එය බව මා කීවද ඇය තවත් වසර කිහිපයක් ඔහු හදා ගන්නට වෙහෙසුණාය.
එහෙත් දිනෙන් දින දිරාපත් වූ ඔහු කුඩු නැති දාට වෙවුලමින් කුඩු සොයාදෙන ලෙස බෙරිහන් දෙන තරුණයකු බවට පත් විය. අවසානයේ ඇය ඔහු හැරදමා දරුවාද සමඟ පිටව යෑමට තීරණය කළාය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු සමඟ හදාගන්නට සිතා විවාහ වීම ගලක් බෙල්ලේ ගැට ගසාගෙන ගඟක මුහුදට පැනනීමට සමානය. එබැවින් ගැහැනු ළමයෙකු වඩාත් සුපරික්ෂාකාරීව ගත යුත්තේ විවාහය පිළිබඳ තීරණයයි.
